ඊ-චැනලින්-ICTA එක්ව සේවාවක් හඳුන්වා දෙයි | දිනමිණ

ඊ-චැනලින්-ICTA එක්ව සේවාවක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් චැනල් කිරීමේ විශලතම ජාලය වන ඊ-චැනලින් පීඑල්සී, සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සිය (ICTA) හා එක්ව රජයේ රෝහල් සඳහා ඊ-චැනලින් සේවාව” නමින් රජයේ රෝහල්වල බාහිර රෝගීන් සඳහා වේලාව වෙන්කර දීමේ ජාතික වැඩසටහනක් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින සෞඛ්‍ය සේවා පද්ධතිය දියුණු කිරීමත් එහි තත්ත්වය ගෝලීය වශයෙන් නංවාලීමත් අරමුණු කර ගත් මේ ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ඒජන්සියෙහි මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබේ. මේ ඓතිහාසික හවුල්කාරීත්වය මගින් රජයේ රෝහල් කරා එන රෝගීන්ට පහසුවෙන්ම සිය වෛද්‍ය සේවාවන් ඉටුකර ගැනීමට පහසුකම් සපයනු ඇත.

රජයේ රෝහල් කරා එන රෝගීන්, පෝලිම්වල ගතකරන කාලය සහ ශ්‍රමය ඉතිරිකර ඔවුන්ගේ පහසුව මේ සේවාව මගින් ලැබෙනු ඇතැයි ඊ-චැනලින් ආයතනයේ විශ්වාසයයි. ඊ-චැනලින් සේවාව ක්‍රියාත්මක වීම නිසා ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ 0715 225 225 අමතා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ලබාගන්නා ප්‍රතිකාර සඳහා, පෝලිම්වල කාලය ගත නොකර, නියමිත වෙලාවක් වෙන්කර ගත හැකිය.

මේ සේවාව නොමිලයේ ලබාගත හැකි සේවාවකි. භාවිත කරන්නන්ට තව දුරටත් පහසුකම් සලසා දීම සඳහා නවීන තාක්‍ෂණය භාවිත කිරිමේ පියවරක් ලෙස, මෙසේ වේලාව වෙන්කර ගැනීමේ පහසුකම අන්තර්ජාලය හරහා (www.echannelling.com) සහ ස්මාර්ට් ෆෝන් හරහා (eChannelling App) ලබාගැනීමේ හැකියාව ද ඇත. පොදු ජනතාව සඳහා නව තාක්‍ෂණය භාවිත කරමින් නොමිලයේ නවීන සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදීමට හැකියාව ලැබීම නිසා මේ සේවාව රෝහල්වලට මහත් පහසුවක් වෙයි. මෙමගින් රෝහල්වල භෞතික යටිතල පහසුකම් මෙන්ම මානව සම්පත් වඩාත් කාර්යක්‍ෂමව සහ ඵලදායකව යොදා ගැනීමේ හැකියාව රෝහල්වලට ලැබේ.

 බාහිර රෝගී අංශවල ගතකිරීමට සිදුවන කාලය ඉතිරිකර ගැනීමටත් ඔවුන්ට අවශ්‍ය සේවාවන් පිළිබඳ කලින්ම රෝහල දැනුම්වත් කිරීමේ හැකියාව ලැබීමත් නිසා රෝගීන්ට මෙමගින් ඉමහත් පහසුවක් සැලසෙනු ඇත. සෞඛ්‍ය සේවා අංශය විප්ලවීය පරිවර්තනයකට ලක්කරමින් සහ සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩ නැඟීමේ කාර්යයට උර දෙමින් අරඹන මේ සේවාව අනාගතයේ දී ජාතික වශයෙන් දිවයින පුරා ව්‍යාප්ත කෙරනු ඇත.

නව අදහස දක්වන්න