අලංකාර හැඩයෙන් යුතු සත්තු දීසි | දිනමිණ

අලංකාර හැඩයෙන් යුතු සත්තු දීසි

නිවෙසේ පුංචි සාදයක්. නම් කෑම මේසය කොහොමද සරසන්නේ කියලා අපි හිතනවා. විවිධාකාර කෑම වර්ග හදලා අමුත්තන්ට සංග්‍රහ කරනවා වගේම, ඒවා සිත්ගන්නා සුළු ආකාරයට සරසලා තිබුණොත්, අමුත්තන්ගේ කෑම රුචියත් වැඩි වේවි. දරුවන්ගේ උපන් දින සාදයකට නම්, මේ කියන්න යන සැරසිලි ක්‍රමය හරි ම අලංකාරවත්. කුඩා දරු දැරියන් ඇතුළු අමුත්තන් එය වර්ණනා කරාවි.

ඩෝනට්, කප් කේක්, මාෂ් මෙලෝ, බිස්කට්, කේක් වර්ග, පලතුරු, ටොෆි, තලගුලි, පැටිස්, රෝල්ස්, පුඩිං වගේ ඕනෑම කෑම වර්ගයක් දීසිවලට බෙදලා, කෑම මේසයෙන් තියද්දී, අපි සෙල්ලම් සතකුගේ පිටේ තිබ්බොත් වෙනසක් නේද? මේ සෙල්ලම් බඩු වෙළෙඳ පොළේ අඩු මිලට ගන්න තිබෙනවා.මේ නිර්මාණය දිහා බැලු බැල්මට පෙනෙන්නේ, දීසි මැදින් හිල් කරලා, සතාගේ කඳ කොටසට යනතුරු බස්සලා වගේ. ඒක කරන්නේ මෙහෙමයි.

මුලින්ම සතුන් කිහිප දෙනෙක් අරගෙන සායම් තවරා හෝ තමන් කැමැති ආකාරයකට සරසා ගන්න. මේ සඳහා ගෝනා, මුවා, ජිරා‍ෆ්, සිංහයා, කොටියා, බල්ලා, පූසා වගේ සත්තු ගැළපෙනවා. දැන් ඔවුන්ගේ කඳ මැදින් කපා ගන්න. සතාගේ පෙනුම අනුව කපන ස්ථානය තෝරා ගන්න. දැන් යට කොටස කෙළින් සිටුවා, ඒ මත දීසියක් තබා අලවා ගන්න. පතුලේ හොඳින් ගම් ආලේප කළා නම්, අලවා ගන්න පුළුවන්. දැන් කරන්න තියෙන්නේ, අනෙක් කොටස දීසියේ උඩ කොටසේ අලවා ගැනීමයි. මෙහිදී, සතා අසම්පූර්ණයෙන් නැවත නිර්මාණය වන පරිදි සියුම්ව අලවා ගත යුතුයි. දැන් ඔබ කැමැති කෑම වර්ගයක්, මේ සත්තු දීසිවලට බහා, කෑම මේසයට යවන්න. බලන්න දැන් ඔබේ සාදයට අමුතුම අංලකාරයක් එක්වෙලා නේද?

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න