පාපන්දුවේ සල්ලි ගහ සෙලවෙයි | දිනමිණ

පාපන්දුවේ සල්ලි ගහ සෙලවෙයි

රුසියාවේ දැන් පැවැත්වෙන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32ක් වෙනුවෙන් වෙන්කරන ලද සමස්ත ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වේ. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 60, 000ක දැවැන්ත මුදලකි. මෙම තරගාවලියේ සහභාගිවන්නන් වෙනුවෙන් වෙන්කරන ලද සම්පූර්ණ දායක මුදල ඩොලර් මිලියන 791 කි. එය වසර 2014දී බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සාපේක්ෂව සමස්ත දායකත්වය 40% කින් වර්ධනය කරන්නක් බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පවසයි. වූ

මෙම ලෝක පාපන්දු තරගාවලියට සමගාමීව දැවැන්ත සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මකවන අතර ඒ සඳහා ඩොලර් මිලියන 209 ක් (ලෝක කුසලානයට තම ක්‍රීඩකයන් මුදා හරින සමාජ සඳහා) භාවිතා කරනු ඇත. ඉතිරි ඩොලර් දශ ලක්ෂ 134 ක් ලෝක කුසලානයේ දී ක්‍රීඩකයන්ට තුවාල සිදු වුවහොත් රක්ෂණය වෙනුවෙන් රක්ෂණ සමාගම් වෙත මුදාහැර ඇති රක්ෂණ ගාස්තු වේ.

සමස්ත ත්‍යාග මුදලවන ඩොලර් මිලියන 400න් සහභාගිවන සෑම කණ්ඩායමක් සදහා ප්‍රසාද දීමනා ලෙස කණ්ඩායම් 32 අතරේ ඩොලර් මිලියන 1.5 ක බැගින් ප්‍රදානය කෙරේ. එය වසර 2014 තරගාවලියේදී ඩොලර් මිලියන 1ක් විය. කණ්ඩායම් 32න් ඉවත්වී ඉතිරිවන කණ්ඩායම් 16වටයේදී එක් පාපන්දු කණ්ඩායමකට ඩොලර් මිලයන 8බැගින් ප්‍රදානය සදහා වෙන්වන අතර එයින් ඉවත්වන සෑම කණ්ඩායමකටම ඩොලර් මිලියන 12ක් බැගින් වෙන්වේ. අර්ධ අවසන් පූර්ව වටයයෙන් ඉවත්වන කණ්ඩායමකට ඩොලර් මිලියන 16 බැගින් ප්‍රදානයවන අතර සිවුවැනි ස්ථානයේ සිට විශාල ධනස්කන්ධයක් ලෝක පාපන්දු සම්මේලනය වෙන්කොට ඇත. හතරවැන ස්ථානයට පැමිණෙන කන්ඩායම වෙනුවෙන් ඩොලර් මිලියන 22 ක්, තෙවැනි ස්ථානයට ඩොලර් මිලියන 24 ක් හා කුසලානය අහිමිවන අනු ශූරයන් වෙත ඩොලර් මිලියන 28 ක් ප්‍රදානය වේ. රටවල් 32ක් අතුරින් රන් ආලේපිත පාපන්දු ලෝක කුසලානය ස්පර්ශ කරන ජයග්‍රාහී කණ්ඩායමට ආමෙරිකානු ඩොලර් මිලියන 38 ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 5700ක්) මෙවර ප්‍රදානය වේ. මෙම ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන ත්‍යාග මුදල වසර 2014දී ඩොලර් මිලියන 35ක් විය.

FIFA ලෝක කුසලානය ත්‍යාග මුදල් ඉතිහාසයේදී සෑම තරගාවලියකදීම මුදල් පිරිනැමීම වැඩි කර ඇත. වර්ෂ 2002 දී ලෝක කුසලානය සඳහා සමස්ත ත්‍යාග මුදල් සංචිතය ඇමෙරිකානු ඩොලර් 154 ක් වූ අතර 2006 දී ලෝක කුසලාන ත්‍යාග මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 262 ක් විය. ඩොලර් මිලියන 420 ක් ලෙස 2010 ලෝක කුසලාන තරඟාවලියේ විශාලතම වර්ධනයක් පෙන්නුම් කළ අතර එහිදී ඩොලර් මිලියන 564 ක් වටිනා ත්‍යාග හා රක්ෂණ කටයුතු සඳහා ගෙවීම් සිදු කරන ඇත.එක් එක් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සඳහා ත්‍යාග මුදල් සංචිතයද පාපන්දු ක්‍රීඩාවේ වර්ධනීය තත්ත්වයන් වෙනුවෙන්ද ලෝක පාපන්දු සම්මේලනය වියදම් වැඩි කරමින් පවතී.

“අවසන් වරට 2014දී බ්‍රසීලයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ රූපවාහිනී අයිතිය පිරිනැමීමෙන් පමණක් ඩොලර් බිලියන 2.4 ක ආදායමක් ලෝක පාපන්දු සම්මේලනය ලබා තිබුණි. එහිදී ලෝක කුසලාන තරඟාවලියේ අනුග්‍රාහකත්වය හා වානිජ ක්‍රියාකාරකම් මත ඩොලර් බිලියන 1.5 ක් ආදයමක් ද, ටිකට් අලෙවියෙන් තවත් ඩොලර් පනස් දහසක් ද ඉපැයීමට සමත් විය.

වසර 2018 වෙද්දී මෙම ආදායම් තව තවත් ඉහළ යනු නො අනුමානය. ලෝක පාපන්දු තරගාවලිය ලොව සෑම ක්‍රීඩා උළෙලකින්ම වෙනස් විශාලතම ක්‍රීඩා තරඟාවලිය වන බැවින් කීර්තිය සමගින් ත්‍යාග මුදල වරින් වර වැඩි කොට ගැලපීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් වන්නේ එබැවිනි.

2014 ලෝක කුසලාන තරගාවලියේදී ලෝක පාපන්දු සම්මේලනය ඩොලර් බිලියන 4.8 ක ආදයමක් ලබද්දී මුළු වියදම් ඩොලර් බිලියන 2.7 ක් විය. එහිදී ලෝක පාපන්දු සම්මේලනය ලැබූ සමස්ත ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1 කි. මෙවැනි තත්ත්වයකදී ලෝක පාපන්දු සම්මේලනයේ විධායක සභා තීරණය වූයේ 2018 තරගාවලියේදී වියදම සාදාරණ ලෙස විස්තාරණය කිරීමය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ සමස්ත වියදමෙන් කුඩා දරුවන් තුල පාපන්දු ක්‍රීඩාවට වැඩි ඇල්මක් ඇතිවන වැඩසටහන් සැලසුම් කිරීමය.

රටවල් 202ක පාපන්දු ක්‍රීඩාවේ නිරත දරුවන් 1000ක් පමණ රුසියාවට ගෙන්වා කණ්ඩායම් නිර්මාණය කොට ලෝක කුසලාන තරගාවලියට පෙර පාපන්දු තරගයක් පැවැත්වූ අතර ඇතැම් දරුවන්ට පාපන්දු ක්‍රීඩාව හා මාධ්‍ය සබඳතා පිලිබද වෙනම වැඩමුලුද සංවිධානය විය. ඒ සදහා ලෝක පාපන්දු සම්මේලනය අති විශාල මුදලක් වැය කළ අතර ඉන්දීය සමාගමකට එම කටයුතු සැලසුම් කිරීම භාරව තිබුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නුගේගොඩ සාන්ත ජෝෂප් විදුහලේ දිනුක බණ්ඩාර ‘ගෝල් කීපර්‘ ලෙස ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබූ අතර කොළඹ රාජකීය විදුහලේ 8වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මොහොමඩ් අයාන් සදාත් මොස්කව් නුවරදී යොවුන් මාධ්‍යවේදියෙකු ලෙස පුහුණුව ලැබීය.

රුසියාවේ පැවැති මේ ලෝක යොවුන් මිත්‍රත්ව පාපන්දු තරගාවලිය පළමුවරට සංවිධානය වූ අතර මෙවැනි වැඩසටහන් රාශියක් ලෝක පාපන්දු තරගාවලියට සමගාමීව සංවිධානයවී තිබුණි.

සටහන - ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න