වත්මන් ශූර ජර්මනිය මෙක්සිකෝවට පරදියි | දිනමිණ

වත්මන් ශූර ජර්මනිය මෙක්සිකෝවට පරදියි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනකුගේ අවධානයට ලක්වූ තරග තුනක් පෙරේදා පැවැත් විය. ඒ අතුරින් වත්මන් ලෝක ශූර ජර්මනිය හා මෙක්සිකෝව අතර තරගය හා මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වඩාත්ම ආසන්න යැයි බොහෝ දෙනා මත පළකරන බ්‍රසීලය සමග ස්විස්ටර්ලන්තය අතර තරග වැදගත් විය. එමෙන්ම කොස්ටරිකා හා සර්බියා තරගය ද බොහෝ දෙනා නැරඹූ බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

මෙහිදී ජර්මනිය - මෙක්සිකෝව අතර තරගයේදී ප්‍රබල ජර්මනිය පරාජයට පත් වීම කාගේත් කුතුහලයට හේතු විය. මෙම තරගයෙන් වත්මන් ලෝක ශූර ජර්මනිය තරගය පහසුවෙන් ජය ගනු ඇති බවට මත පළ වුවද ඒ සියල්ල බොරු ජර්මනිය පරදා ගෝල් 1-0ක් ලෙස ජය ලබා ගැනීමට මෙක්සිකෝව සමත් විය.

තරගයේ 35වැනි මිනිත්තුවේදි ක්‍රියාත්මක වූ මෙක්සිකෝවේ හර්වින් ලොසානෝ තරගයේ එකම ගෝලය රැස් කළේය. මෙක්සිකෝවේ දැල් රකින ක්‍රීඩකයාගේ දක්ෂතා තරගය පුරාවටම කැපි පෙනුනු අතර මේ නිසාම ජර්මනියේ සුපිරි තරුව ලෙස සැලකෙන තෝමස් මුලර්ට දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

බ්‍රසීලය හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1ක් ලෙස සමවීමෙන් අවසන් වූ අතර බ්‍රසීල කණ්ඩායමේ සුපිරි තරුව නේමාර් ස්ව්ස්ටර්ලන්තයේ ඉලක්කයක් වූ බැවින් ඔහු වටා ආරක්ෂක වලලක් ක්‍රියාත්මකවී තිබුණි. බ්‍රසීලයේ තවත් සුපිරි ක්‍රීඩකයකු වූ පිලිප් කුටීනියෝ බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය දැකුම්කලු අයුරින් වාර්තා කිරීමට සමත්වූ අතර ස්විට්සර්ලන්ත කණ්ඩායමට 50වැනි මිනිත්තුවේදී සුබෝර් ගෝලයක් වාර්තා කර දුනි.

මෙම තරගාවලියේ ‘ඊ’ කාණ්ඩය යටතේ පැවැති මූලික වටයේ තවත් තරගයකදී ගෝල 1-0 ක් ලෙස කොස්ටාරිකාව පරාජය කිරීමට සර්බියානු කණ්ඩායම සමත් විය. තරගයේ පළමු භාගය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි අතර දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 11 ක් ගතවෙද්දී සර්බියාවේ ඇලෙක්සැන්ඩර් කොලරොව් අගනා ගෝලයක් ලබා ගත්තේය.

සර්බියාව වූයේ වසර 20 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම ජය ගැනීට සමත්වීම විශේෂත්වයකි. මෙම පරාජයත් සමග කොස්ටාරිකාව පිට පිටම ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 3 කදී තමන් සහභාගි වූ පළමු තරගය පරාජයට පත් වී ඇති අතර අවසන් වරට ඔවුන් සහභාගි වූ පළමු තරගය ජයගෙන ඇත්තේ 2006 වසරේ ජර්මනියේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදීය.

ප්‍රින්ස්


නව අදහස දක්වන්න

Or log in with...