ඉකුත් රජය 40%ක වැඩි මිලට ගුවන් යානා අරන් | දිනමිණ

ඉකුත් රජය 40%ක වැඩි මිලට ගුවන් යානා අරන්

සිරන්ජනි කුමාරි

ඉකුත් රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන්යානා බදු පදනම යටතේ මිලදී ගෙන ඇත්තේ වෙළෙඳපළ මිලට වඩා 40% පමණ වැඩි මුදලකට බවත් ඉන් එම සමාගමට සිදුවූ පාඩුව අතිවිශාල බවත් ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් රුවන් විතානගේ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සෙවීමට පත්කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (18) සාක්කි දෙමින් පැවසීය.

ගුවන් සමාගමට ගුවන් යානා බදු පදනම යටතේ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 22 වැය කරන අතර තවත් බිලියන 17ක් නඩත්තු කටයුතු වෙනුවෙන් වාර්ෂිකව වැය කරන බවත් හෙතෙම ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ සම්බන්ධව එවකට සිටි ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතාගෙන් ද විමසීමක් කළ බවත් 2015ට පෙර ඇති කරගෙන තිබෙන මෙම බදු ගිවිසුම්වල විනිවිදභාවයක් නොමැති බවටද හෙතෙම ලේඛන ද ඉදිරිපත් කරමින් කොමිසම වෙත දන්වා සිටියේය.

තවද මෙම බදු ගිවිසුම්වල වලංගුභාවය සම්බන්ධව ගැටලු සහිත බව පෙන්වා දුන් සාක්කිකරු එම මිලදී ගැනීම් නිසි ක්‍රමවේදයෙන් ‍බැහැරව සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

මීට අමතරව ගුවන් නියමු යෝග්‍යතා පරීක්ෂණයේ අඩුපාඩු හා අක්‍රමිකතා ඇති බව පැවසූ සාක්කිකරු ගුවන්සේවා වැඩමුරය පරිගණකගත කර ඇතිමුත් එම පද්ධතිය තවමත් නිසිලෙස ක්‍රියාත්මක නොමැති බවට සඳහන් කළේය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරන විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. හැරල්ඩ් මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. ජී. කේ. ගීගනගේ මෙනවියගෙන් යුත් පංචපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ මෙම සාක්කි විභාගය පැවැත්විණි.

අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව මහතාගේ මෙහෙයවීම මත සාක්කිකරු විසින් සාක්කි ලබා දුන්නේය.

මෙහිදී ඉදිරියට කොමිසම හමුවේ සාක්කි දීමට බලාපොරොත්තු වන සාක්කිකරුවන් හා සාක්කි ලබාදුන් සාක්කිකරුවන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ ක්‍රියා කරන ලෙසත් ඔවුන්ට කුමන හෝ බලපෑමක් ඇතිවුවහොත් එය කොමිසම වෙත දැනුම් දෙන ලෙසට සභාපතිවරයා විසින් ඊයේ (18) ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා වෙත නියෝගයක් ද නිකුත් කළේය.

මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම යළි මේ මස 20 රැස්වීමට නියමිතය.

 

නව අදහස දක්වන්න