ග්‍රාමීය සංවර්ධනයට බ්‍රිතාන්‍යයෙන් අතහිත | දිනමිණ

ග්‍රාමීය සංවර්ධනයට බ්‍රිතාන්‍යයෙන් අතහිත

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍ය යේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවත්වූ සාකච්ඡාවේ දී සඳහන් කළේය.

කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව රාජ්‍ය - පුද්ගලික හවුල්කාරීත්වය ගොඩනැගීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විශේෂඥ දැනුම ලබා දීම පිළිබදව ද රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීය.

පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේ සංචාරයක යෙදුණු අවස්ථාවේ මෙම හමුව පැවැත්විණි.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිරියේ දී වැදගත් වන කොළඹ වරාය නගරයේ, බ්‍රිතාන්‍ය පොදු නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් වන රජයේ යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් නිතීඥයින්ගේ සංගමය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා දැනුවත් කරන ලදී.

ටයිටේනියම් ඩයොක්සයිඩ් වැනි ශ්‍රී ලංකාවේ බහුලව පවතින ඛණිජ සම්පත් ආශ්‍රිතව ආයෝජනය කිරීමේ හැකියාවත්, ශ්‍රී ලංකාව වෙත මූල්‍යමය තාක්ෂණවේදය ලබාදීමට එංගලන්තයට ඇති හැකියාවත් සම්බන්ධයෙන් ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

සිය සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්ත හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීය.

එහි දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීම ඇතුළු දේශපාලන ප්‍රවණතා මෙන්ම, චීන ආයෝජන මත හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවත්, මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත කටයුතු සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ඉන්දියානු සහභාගීත්වය පිළිබඳවත් ඩේවිඩ් කැමරන් මහතා දැනුවත් කළ වික්‍රමසිංහ මහතා, ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසන් අදියරේ පවතිද් දී අවාසනාවන්ත ලෙස අප අතරින් වියෝවුණු ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා මැතිඳුන් සහ සත්‍ය සෙවීම හා යුක්තිය පිළිබඳ කොමිෂන් සභාවේ කටයුතු වෙනුවෙන් එතුමා ඉටු කළ කාර්යභාරය ද සිහිපත් කර සිටියේය.

යාපනයේ ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පැමිණ නොමැති වීම පිළිබඳ සිය අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් විනාශ කරන්නට යෙදුණු එහි සමාජ, ආර්ථික වියමන යළි ගොඩ නැ‍ඟීම අප ඉදිරියේ ඇති අභියෝගය බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය අතරතුර, එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වීය. එහි දී යාපනය - මන්නාරම අතර ඉදිවන දුම්රිය මාර්ගය, පුනරීන් නව නගරය, පළාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබෙන ඉන්දියානු ආයෝජන මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ලැබීමට නියමිත ඉන්දියානු සහ ජපාන ආයෝජන පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කරන ලදී.

ත්‍රිකුණාමලය, මහනුවර, කොළඹ, හම්බන්තොට යන දිස්ත්‍රික්ක යා කරමින් සැපයුම් කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු ද, දෙද්දුව, කොග්ගල, ඉරණවිල හා වාලච්චේන යන නගර ආශ්‍රිතව සංචාරක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් හුවමාරු කර ගැණිනි.

වික්ටෝරියා වේල්ල ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් එවකට එංගලන්ත අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් මැතිණිය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලද බ්‍රිතාන්‍ය ආයෝජන පිළිබඳව සිහිපත් කළ රනිල් ජයවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ පාලම් ඉදි කිරීමේ කටයුතු වෙනුවෙන් තාක්ෂණික දැනුම මෙන්ම සහාය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් සමඟ තමා සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න