යුද හමුදා සාමාජිකයන් සමාජ විරෝධී ක්‍රියාවලට යොදාගන්න එපා | දිනමිණ

යුද හමුදා සාමාජිකයන් සමාජ විරෝධී ක්‍රියාවලට යොදාගන්න එපා

යුද්ධ හමුදා ප්‍රතිරූපයට හානිවන පරිදි සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරතවන යුද්ධ හමුදාවෙන් පැනගොස් හෝ නිවාඩු නොලබා රාජකාරියට නොපැමිණ සිටින හමුදා සාමාජිකයන් හට ආධාර හෝ අනුබල ලබාදීමෙන් හෝ ඔවුන් රැකබලා ගැනීමෙන් හෝ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා ඔවුන් භාවිත නොකරන ලෙස යුද්ධ හමුදා මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් යුද්ධ හමුදා මූලස්ථානය මඟින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

යුද්ධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවළුන්ට රැකවරණයදීම දඬුවම් ලැබිය හැකි වරදකි.

යුද්ධ හමුදාවෙන් පැනගිය හෝ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අයවළුන්ගෙන් කොටසක් තවමත් සැඟව සිටින අතර, දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුකරනු ලබන අපරාධ, මංකොල්ලකෑම් සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට මොවුන් සම්බන්ධවන බවට ද වාර්තා වී ඇත.

බොහෝ අවස්ථාවලදී, ව්‍යාපාරිකයන්, පාතාල කල්ලි නායකයන්, සේවායෝජකයන් සහ වෙනත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබමින් විවිධ සමාජ විරෝධී ක්‍රියාවල මොවුන් නිරතවන බව පොලිස් වාර්තා හෙළි කරයි. තවද මොවුන්ගෙන් සමහරක් ඇතැම් පූජ්‍ය පක්ෂයේ ‍හෝ දේශපාලන බලවතුන්ගේ රැකවල් මත මෙවැනි වූ විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධව සිටිති.

එබැවින් යුද්ධ හමුදාවෙන් පැනගොස් හෝ නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්හට රැකියා ඉඩප්‍රස්ථා හෝ රැකවරණය සැලසීම දණ්ඩ නීති සංග්‍රහයේ 133 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බැව් පෙන්වා දෙනු ලැබේ.

එමෙන්ම අදාළ පොලිස් ස්ථාන මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා භටයන් රාජ්‍ය ආයතනයන්හි සහය ඇතිව ඔවුන් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ලෙස අස්කිරීම ලබාදීමට හෝ නැවත කඳවුරු වෙත භාරදීමේ අරමුණින් දිවයින පුරා දැනටමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.

නව අදහස දක්වන්න