කර්නල් රත්නප්‍රියට මල් මිටක්... | දිනමිණ

කර්නල් රත්නප්‍රියට මල් මිටක්...

මනුෂ්‍යත්වයට ප්‍රේම කිරීම රමණීය ලෙස කුළුගන්වන රබීන්ද්‍රනාථ ඨාකුරයන්ගේ ගෝරා කියන විශිෂ්ට නවකතාව බද්දරමල්ලේ පාඨකයන් වැඩි දෙනෙක් කියවා ඇතැයි මම හිතනවා. ඒ නවකතාව නිමා වන්නේ එහි ප්‍රධාන චරිතය වන ගෝරාගේ සිත තුළ කාලාන්තරයක් මුළුල්ලේ පැසවමින් තිබුණු ජාතිවාදයේ, ආගම්වාදයේ හා කුලවාදයේ අන්තවාදි සිතුවිලි සියල්ල සුනුවිසුණු කරමින්. මනුෂ්‍යත්වය පිළිබඳ සත්‍ය දහම වටහා ගත් සැණින් ගෝරා ඔහුගේ පෙම්වතියගේ පියා වන පරේෂ්බාබු ළඟට ඇවිත් මෙහෙම කියනවා.

”අද මං නිදහස ලැබුණ හැටියෙම ඉස්සෙල්ලම පරේෂ්බාබුව මුණගැහෙන්න ආවෙ ඇයි කියල දන්නවද? තමුන්නාන්සෙ ළඟ තමයි විමුක්තියෙ දිව වතුර තියෙන්නෙ. ඒ නිසයි තමුන්නාන්සෙට අද මොන සමාජයකවත් තැනක් ලැබිල නැත්තෙ. මාව පරේෂ්බාබුගෙ ශිෂ්‍යයෙක් කරගන්න. හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි, බ්‍රහ්ම සමාජවල ඉන්න සියල්ලන්ටම අයිති තමන්ගෙ දේවාලයේ දොර කිසිම කුලයක කෙනකුට, කිසිම පුද්ගලයකුට කවදාවත් වහන්නෙ නැති , හින්දු අයට විතරක් අයිති නොවන භාරත වර්ෂයට අයිති ඒ දේව මන්ත්‍රය මට දෙන්න.”

කලකට පෙර අප අතරින් සමුගත් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි ලේඛිකාවගේ රමණීය බස්වහරින් සිංහලට නැගී ඇති ගෝරා නවකතාවේ මේ ඡේදය මගේ මතකයට නැගුණේ මිට දෙතුන් දවසකට පෙර මාධ්‍යයේ පළ වූ අපූරු පුවතක් නිසයි. ලංකාවේ පමණක් නොව එතෙර මාධ්‍යවල පවා අවධානයට ලක්වූ ඒ පුවතින් කියවුණේ උතුරේ සේවය කළ එක්තරා හමුදා නිලධාරියෙක් ගැනයි. රත්නප්‍රිය බන්දු නම් මේ කර්නල්වරයා සේවය කළේ යාපනයේ මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි විශ්වමඩු සිවිල් ආරක්ෂක කඳවුරේ අණ දෙන නිලධාරි හැටියට. ඔහුට පැවරී තිබුණ රාජකාරිය වූයේ හමුදාවට යටත් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමයි. කර්නල් රත්නප්‍රිය බන්දු වසර පහමාරක් පුරා තමාට පැවරුණු රාජකාරිය මැනවින් ඉටු කළා. මේ වගකීම මොනතරම් කැපවීමකින් ඉටු කළාද කීවොත් ඔහු විශ්වමඩුවලට රපෝර්තු කර වැඩි කලක් යන්නට කලින් මුළු ප්‍රදේශයේම කර්නල් රත්නප්‍රිය කියන නාමය ලොකු කුඩා කාගෙත් මුවග නිතර රැව් දෙන වචනයක් බවට පත් වුණා.

කර්නල් රත්නප්‍රියට මේ හපන්කම කරන්න පුළුවන් වුණේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල උදව්වෙන් හෝ වෙනත් විදිහේ ඉන්ද්‍රජාලික බලයකින්වත් නෙවේ. ඔහු කළ එකම වැදගත් කාර්යය තමා මනුෂ්‍යත්වයේ භාෂාවෙන් ඒ ජනතාව ඇමතීම... මිනිසත්බවේ අරුමය ඔවුන්ට කියා දිම...ගෝරා නවකතාවේ කතානායක ගෝරා කළා වගේ ජාති ආගම් හා කුල විසමතා බැහැර කිරීම..කර්නල් රත්නප්‍රියගෙ අධ්‍යාපන හෝ සමාජ පසුබිම ගැන කිසිම තොරතුරක් අප සතුව නැහැ. ඔහු ගැටුම් නිරාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලද හෝ විශ්වවිද්‍යාල උපාධියක් සහිත කෙනෙක්ද කියා අප දන්නෙ නැහැ. එසේම ඔහු කවර ආගමකට සමාජ පන්තියකට අයත් කෙනෙක්ද කියලත් අපි සොයා බැලුවෙ නැහැ. මොකද ඒ සියල්ලටම වඩා වැදගත් වෙන්නෙ රත්නප්‍රිය බන්දු නමැති හමුදා නිලධාරියා ප්‍රගුණ කරගෙන සිටි මනුෂ්‍යත්වයේ දහමයි. එහිදී වැදගත් වුණේ ඔහු අව්‍යාජ මානවහිතවාදියෙක්ද නැද්ද කියන කාරණයයි. ඔහු සිය ක්‍රියා කලාපය මගින් තමා මානවහිතවාදි සොල්දාදුවකු බව පෙන්වා දී තිබෙනවා. එය තමා මිනිසකුට තම ජිවිතය තුළ ලබාගත හැකි ඉහළම ජයග්‍රහණය. එය මිල මුදලින්, පදවි තානාන්තරවලින් නැතිනම් ආයුධ බලයෙන් දිනාගන්න පුළුවන් දෙයක් නෙමේ.

කර්නල් රත්නප්‍රිය සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඔහුට පැවරී තිබුණ වගකීම වුණේ ආයුධ හරඹ කරපු තරුණ අත්වලට ජීවන කර්මාන්තයක් පුහුණු කිරීම. ඊටත් වඩා බරපතළ කාරණය තමා යුද මානසිකත්වයෙන් විකෘති කර තිබුණු ඒ තරුණයන්ගේ සිත්සතන් තුළට සාමයේ හා සහජීවනයේ ඔසුව එන්නත් කර ඔවුන් සමාජගත කිරීම. කර්නල්වරයා ඒ කාර්යයන් දෙකම මනා ලෙස ඉටු කළ බව එදා ඔහු ස්ථාන මාරුවක් ලබා විශ්වමඩුවලින් නික්ම එන දවසේ මොනවට ප්‍රදර්ශනය වුණා. කර්නල්ට සමුදීමේ උත්සවයක් සංවිධානය කර තිබුණේ පුනරුත්ථාපනය වූ තරුණ කරුණියන් හා ඔවුන්ගේ වැඩිහිටියන් එකතුවෙලයි. තමන්ට මිනිසත්බවේ වටිනාකම පෙන්වා දුන් ඒ උදාර මිනිසාව ඔවුන් උත්සව ශාලාව වෙත කැඳවාගෙන ගියේ හිස වැසෙන තරමට මල්මාල පලඳවමින්. තරුණ වැඩිහිටි බේදයකින් තොරව කර්නල්වරයා වට කරගත් සිය ගණනක් ජනයා හඬා වැලපුණු හැටි දැක්කහම රූපවාහිනී තිරය දෙස බලා සිටි අපි විස්මයට පත් වුණා. මේ අපි නරඹන්නේ චිත්‍රපටි දර්ශනයක්ද කියා සැක හිතෙන තරමට ඒ අවස්ථාව අතිශයින් අප සිත් කම්පා කළා.

“අනේ අපේ දෙයියා. අපිව දාලා යන්න එපා.” “මෙතුමා තමයි දෙවියෙක් වගේ අපිට පිහිට වුණේ.”මෙන්න මේ වගේ දුක්ගැනවිලි කියමින් විශ්වමඩු ජනතාව වැලපුණු හැටි අපි රූපවාහිනියෙන් දැක්කා. කොහොමද මෙවැනි වෙනසක් ජනතාවකගේ ජීවිත තුළ ඇති කළ හැක්කේ. එසේ කළ හැක්කේ මහජන සේවයකට අවංකව කැපවීමට කැමැත්තක් තියෙන අව්‍යාජ ජනතා පුත්‍රයකුට පමණයි. සාමය හා සහජීවනය වෙනුවෙන්ය කියල රුපියල් මිලියන ගණන් වැය කරන නානාප්‍රකාර ව්‍යාපෘති දියත් කරනඑක යුද්ධය පැවතුණු කාලයේ වගේම ඊට පස්සෙත් බලයේ හිටපු ආණ්ඩු තරගෙට වගේ කරපු නාස්තිකාර වැඩක් බව අපි දන්නවා. කොළඹ සීතල කාමරවලට වෙලා මනෝරාජික සාම නාටක නිෂ්පාදනය කිරීම හැර ලක්ෂ ගණනින් වැටුප් ලැබූ ඒ නිලධාරීන් අතින් සිද්ද වුණු ඉටිගෙඩියක් නැහැ. මොකද ඔවුන්ට යුද්ධය වගේම සාමය ගැනත් කිසිම ප්‍රායෝගික දැනීමක් නෙතිබුණු නිසයි. යුද බිමේ අත්දැකීම් සහිත, යුද්ධයට මැදි වූ ජනතාවගේ හෘදය ස්පන්දනය හඳුනන කර්නල් රත්නප්‍රිය වැනි සොල්දාදුවකු හා හුදු සාම සිහින දකින්නන් අතර වෙනස එයයි.

කර්නල් රත්නප්‍රිය බන්දු විශ්වමඩු වලින් සමුගෙන එන්නේ මෑතකදී විශ්‍රාම යාමට නියමිත නිසා බවත් අසන්න ලැබුණා. ඒ පුවත සත්‍යයක්නම් එවැනි විශ‍්‍රාම ගැන්වීමකින් ඇති වන හිදැස අපෙ රටේ සැබෑ සහජීවනයක් ගොඩනැගීමේ ව්‍යාපාරයට ලෙහෙසියෙන් පිරවිය නොහැකි එකක් කියලයි මටනන් හිතෙන්නෙ. මොකද කර්නල් රත්නප්‍රිය බඳු නිලධාරියෙක් ආවාට ගියාට බිහි කරගන්න බැරි නිසයි. එවැන්නෙක් බිහි වන්නේ කලාතුරකින්. ඔහු සතු අත්දැකීම් සම්භාරය වගේම ඔහුගේ සමාජ දෘෂ්ටිය වැනි ගුණාංග වෙනත් නිලධාරියකුගෙන් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ඇත්තටම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වගකිවයුත්තන් කළ යුත්තේ කර්නල් රත්නප්‍රියගේ සේවා කාලය දිගු කර ඔහුගේ දැනීමෙන් හා අත්දැකීම්වලින් තවදුරටත් රටට සේවය ලබාගැනීමයි. එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ සඳහා බලයක් නැත්නම් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීම මගින් හෝ මෙවන් නිලධාරියකුගේ සේවය රටට ලබාගැනීම තමා කළ යුතු ප්‍රඥාගෝචරම කාර්යය වන්නේ.

යුද්ධයක් මතුපිටින් පෙනෙන්න නැති නිසා සාමය හෝ වාර්ගික සුහදත්වය ගැන කතාබස් කිරීම හෝ ඒ වෙනුවෙන් සම්පත් වැය කිිරීම අවශ්‍ය නැතැයි සිතන පිරිසකුත් රටේ දේශපාලනඥයන් අතර වගේම නිලධාරීන් අතරත් ඉන්න බව අපි දන්නවා. ආයුධ හරඹයකින් රටේ භූමිය ඒකාබද්ධ කරන්න යුද හමුදාවකට පුළුවන් වුණත් විරසක වූ ජන කණ්ඩායම්වල හදවත් ඒකාබද්ධ කිරීම එසේ පහසුවෙන් කළ හැක්කක් නෙවේ. ඒ සඳහා ඊට අවංකව කැපවිය හැකි මානවහිතවාදි මිනිසුන් අවශ්‍යයි. කර්නල් රත්නප්‍රිය කියන්නෙ එවන් දුර්ලභ ගනයේ නිලධාරියෙක්. ඔහු සතුව තිබෙන ඒ උතුම් මිනිස් ගුණයට ගරු කරන ගමන්ම ඔහු දුන් ආදර්ශය පිළිපදින ලෙස රටේ සියලුම දේශපාලනඥයන්ගෙන් වගේම රාජ්‍ය නිලධාරින්ගෙනුත් ඉල්ලා සිටින්න කැමතියි.

කමල් පෙරේරා
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...