කාන්තා අයිතිවාසිකම් හා නැවුම් පීඩාව | දිනමිණ

කාන්තා අයිතිවාසිකම් හා නැවුම් පීඩාව

“දැන් ඉස්සර වගේ නෙවෙයි. පුද්ගලික අංශයේ සමහර කම්පැණිවලත් වැටුප් සහිතව මාතෘ නිවාඩු දෙන තැන් තියෙනවා. “ ඉස්කෝලෙ මහත්තයා, එහෙම කියාගෙනම අපේ ගෙදර වැයික්කිය පැන්නා.

“ආහ්. ඒක හොඳ දෙයක් තමයි. එන්න වාඩිවෙන්න“ මං, සාලයේ පැත්තක තිබ්බ පුටුවක් ගෙනත් ඉස්කෝලෙ මහත්තයාට වාඩිවෙන්නට ඉඩ හදලා දුන්නා. කතා බහ ඇහෙද්දී දොර රෙද්ද එහා මෙහා කරලා උළුවස්සෙන් ඔළුව දාලා බැලුව මායියා, 'ආ..මේ ඉස්කෝ‍ලෙ මහත්තයා නොවැ. මං තේ එකක් හදාගෙන එන්නම්' කියලා යන්න ගියා. නිවාඩු දවසක් නිසාම පුංචි කයිවාරුවක් ගහලා යන්න හිතාගෙන එන්න ඇතැයි හිතාගෙන මමත් ඒ වැඩේට සූදානම් වුණා.

“මං මේ කියාගෙන ආවෙ බණ්ඩි. ඉස්සර වගේ නෙවෙයි, දැන් අපේ තරුණියන්ට ඒ කියන්නෙ ස්ත්‍රී පාර්ශවේට පුද්ගලික අංශයේ වුණත් හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ අයගෙ යම් යම් අවශ්‍යතා ගැන එහෙම සලකා බලන හොඳ හාම්පුත්තු ඉන්නවා“ ඉස්කෝලෙ මහත්තයා ආයෙම කියන්න ගත්තා.

“දැන් කවුද ඔය හාම්පුත්තු. කොයි කම්පැණියෙද, පඩි එක්ක මාතෘ නිවාඩු එහෙම දෙන්නේ?“ මං ඇහුවේ නිකමට දැනගන්නයි.

“අපොයි. අපේ ගෙදර හිටපු ලොකු දුව ඉතිං වැඩි දුර ඉගෙන ගෙනත් නෑ නොවැ. ඒ ළමයා මේ ළඟදි ගාමන්ට් රස්සාවකට ගියා. එතැන පඩි නඩි වුණත් නරක නෑ කීවා. ඔය කියන සමහර වරප්‍රසාද ටිකක් එහෙමත් ලැබෙනවා කීවා.“

“ඒක නම් ඉතිං දෝණියන්දැගෙ වාසනාව. එහෙම හොඳ තැනක් ලැබුණු එක. මොකද හැමතැනම එහෙම නෑ“ මං එහෙම කීවම ඉස්කෝලෙ මහත්තයා, බොහොම උනන්දුවෙන් මගෙ මූණ දිහා බැලුවා. මට මතක් වුණේ බැංකුවක රස්සාව කරපු මගේම යාළුවෙක් දැනට මාසෙකට විතර උඩදී කීව කතාවක්. එයා වැඩකරමින් සිටින බැංකුවෙ එයාගෙ බැංකු ශාඛාවටම අලුතෙන් ගෑනු ළමයෙක් ඇවිත්. ටික දවසකින් මේ දැරියට බබෙක් ලැබෙන්න ඉන්න විත්තිය හැමදෙනාටම වගේ දැනෙන්න ගන්නවා. එක දවසක් මේ ළමයා එහා මෙහා වෙනකල් ඉඳලා බැංකුවේ කළමනාකාරවරයා එයාලගෙ ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් අංශයේ බඳවා ගැනීම් හා පිරිස් කළමනාකරණය පිළිබඳ ප්‍රධානියාට දුරකථන ඇමතුක් අරන් නොසෑහෙන්න දොස් කියලා.

'බලන්න සර්. ඉන්ටර්වීව් කරන්නෙ මොකටද? ඒවායෙදි මේ ළමයි බැඳලද? ළමයි ඉන්නවද? මේ අයට තියෙන ප්‍රශ්න මොනවද කියලා අඳුරගන්න බැරිනම් වැඩක් තියෙනවද? කවුද මෙයා ඉන්ටවීව් කරලා තියෙන්නෙ කියලා හොයලා බලලා දඬුවමක් දෙන්න සර්‘ කළමනාකාරවරයා ඉල්ලා තියෙන්නෙ එහෙමයි. මං මේ ගැන ඉස්කෝලෙ මහත්තයාට කීවම එයාට ඒක අදහන්නත් බෑ.

‘එහෙම දේවලුත් වෙනවද?‘ එයා අහනවා.

ඊට පස්සෙ මං අපේ මායියට වෙච්චි ඇබැද්දියක් කීවා. අපේ උන්දැත් මාව බඳින්න ඉස්සරලා රජයේ සුදුසු රස්සාවක් කළා. ඊට පස්සෙ නගරයෙන් දුර ඈත ගමනාගමනය අපහසු නිසා වෙනත් රස්සාවකට යන්න හිතාගෙන එයා රස්සාවෙන් ඉල්ලා අස්වුණා. ඊළඟට තියෙන අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය අත්දැකීම් ඔක්කොම එකතු කරලා රස්සාවලට ඇප්ලිකේෂන් දාගෙන දාගෙන ගියා. සම්මුඛ පරීක්ෂණ සිය ගණනකට යන්න ඇති. ඒත් කොතනකින්වත් මොකුත් ලැබුණෙ නෑ. අන්තිමට උන්දැගෙම දන්නා හඳුනන බොස් කෙනෙක් මේ ගැන විවෘතවම කතා කරලා තිබුණා.

‘මෙයා ගන්න කතා කෙරුවම එච්.ආර් ලොක්කො කියන්නෙ. ඇවිල්ලා ටික දවසකින් ළමයි හදන්න ගත්තම එක දිගට නිවාඩු. එතකොට තව කෙනෙක් අරන් පුහුණු කරන්න වෙනවා. බැඳලා නැති අය හරි, බැඳල‍ා ළමයි හදලා ඉවර අය හරි ගන්න කියලා තමා ඒ අය කියන්නෙ කියලා‘ කියලා තිබුණා. ඒ කියන්නෙ 'මාතෘ නිවාඩු' දෙන එක නෙවෙයි. දෙන්න වෙන එකම කල් තියා නවත්වා ගන්න තරම් මේ කාරණය දැන් ආයතන ඇතුළේ නිර්මාණශීලි උපක්‍රමයක් වෙලා. මේ විතරක්ම නෙවෙයි, ඉස්සර නම් ස්ත්‍රී පාර්ශ්වයේ උදවිය වැඩබිම් ඇතුළේ, කාර්යාල ඇතුළේ ලිංගික අකරතැබ්බවලට ලක්වෙනවා. දැන් එහෙම වෙන්නෙ නෑ. එහෙම නොදෙන අය රාජකාරි තුළම අනවශ්‍ය පරිදි පීඩාවට ලක්කරනවා. තමන්ගෙ බලාපොරොත්තු ඉටුකරන අයට රැකියාවෙ උසස්වීම්, වැටුප් වර්ධක ආදිය දීලා දිරිමත් කරනවා. මේ වගේ දේවල් නීතියට අල්ලන්න ටිකක් අමාරුයි. මොකද ගන්න අයත්, දෙන අයත් දෙගොල්ලම අතර යම් රහස් එකඟතාවක් තියෙනවා. ඒ නිසාම වැඩේ හිතනවට වඩා බරපතළයි.

‘මේ කාරණා ගැන විවෘතව කතා බහ කරන වැඩපිළිවෙළක් හදන්න විදිහක් නැද්ද? මං කියන්නෙ අපේ ගම් මට්ටමින්, ඉස්කෝල මට්ටමින්, පොලිසි, ග්‍රාමසේවා වසම්, ප්‍රා.ලේ කෙට්ඨාස මට්ටමින්‘ ඉස්කෝලෙ මහත්තයා යෝජනාවක් දැම්මා.

‘පුළුවන් පුළුවන් කාලෙකට ඉස්සර මෙයත් ඒ වගේ දේකට අත ගැහුවා‘ අපේ මායියා, ඉස්කෝලෙ මහත්තයට ගෙනාව තේ කෝප්පය ටීපෝව උඩින් තිබ්බා.

‘ඇත්ත නේන්නම්. අපි සම්මන්ත්‍රණයක් සූදානම් කළා. 'නූතන කම්කරු ස්ත්‍රීයගේ ශ්‍රම දායකත්වය හා නැවුම් පීඩාව' කියලා.‘

‘ඉතිං‘ ඉස්කෝලෙ මහත්තයා අහනවා.

‘කම්කරු හා ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන සිවිල් සංවිධානයකින් තමා වැඩේ සංවිධානය කරන්න වියදම් දන්න පොරොන්දු වුණේ‘

‘ඉතිං‘

‘වැඩේට දින නියම කරගෙන තියෙද්දී ඒකෙ කාන්තා අයිතිවාසිකම් ගැන ක්‍රියාකාරිණියක් කතා කරලා 'නැවුම් පීඩාව' කියන එක තේරෙන්නෙ නැති නිසා ඒ වැඩේ අවලංගු කළා කියලා දැනුම් දුන්නා.‘ කතාව සම්පූර්ණ කළේ අපේ මායියා. එයා එහෙම කියාගෙන ආයෙම කුස්සියට ගියා.

බණ්ඩි රාල

නව අදහස දක්වන්න