ළමයින්ට වෙනස්කම් | දිනමිණ

ළමයින්ට වෙනස්කම්

ඇම්බන් මහත්තයා පාරේ යමින් සිටියේ උන්නැහේත් ඇම්බන් මහත්තයාත් සමඟය. පාර අයිනේ කුඩා දැරියක් හඬමින් සිටියාය.

‘මොකද මේ ළමයා අඬන්නේ?‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය. අඬමින් සිටි දැරිය හිස ඔසවා බැලුවාය.

‘ මං චිත්‍රයක් ඇන්දා... ඒක අර තරගෙට යවන්න බෑ...‘ කියා දැරිය ඉකි ගසමින් කීවාය.

‘ මොන තරගෙටද?‘ කියා ඇසුවේ උන්නැහේය.

‘ ඇයි අර බැංකුවෙන් පවත්තන තරගෙට... ඒකට භාර ගන්නේ ඒකේ ගිණුම් තියෙන ළමයින්ගේ චිත්‍ර විතරයි.‘ කියා දැරිය කියන විට ඇයගේ අම්මාද එතැනට ආවාය. අම්මාගේ අතේ ලොතරැයි ලෑල්ලකි.

‘ මේ දරුවා කියන්නේ ඇත්ත මහත්තයා... මං මේ ලොතරැයි විකුණලා කීයක්කත් හොයා ගන්නේ. මහත්තයාට කියන්ඩ ඔය බැංකුවේ විතරක් නෙවෙයි මොනව බැංකුවකවත් අපේ ගිණුමක් නෑ... කොහේද තියෙන්නේ ගිණුම්වල දාන්න සල්ලි. මේ ලොතරැයි ටික විකුණලා හම්බ වෙන තුට්ටු දෙකෙන් තමයි හැන්දෑවට හාල් කිලෝවක් හරි අර ගන්නේ. මේ දරුවාගේ තාත්තත් නෑ නේ. ගහකින් වැටිලා නැති වුණා. ඉතින් මං තමයි මේ දරුවයි තව බාල දරුවෙකුයි රස්සා කරන්නේ... මහත්තයා ලොතරැයියක් ගන්නවද? කියා අම්මා ඇසුවාය.

‘ එහෙනං දෙන්නකෝ ලොතරැයියකුත්. මේක දැන් ලොතරැයි දිනුම්වලින්ම දුවන රටක් නේ. ඇදුණොත් කොහොමද කෝටි ගණන්. අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු එකතු කරලා එකෙකුට පොදි බැඳලා දෙනවා... ඒකෙ තියෙන්නෙත් මේ බැංකුවේ තියෙන අරමුණුම තමයි. තමන්ගේ වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරනවා මිසක් සමාජය ගැන වගකීමක් නෑ... කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘ දුව චිත්‍ර අඳින්න ආසයිද? කියා උන්නැහේ ඇසුවේය.

‘ ඔව්... මං හැම වෙලාවෙම චිත්‍ර අඳිනවා. ඒ වුණාට අපේ ඉස්කෝලේ චිත්‍ර උගන්නන්නේ බුද්ධාගම උගන්නන ටීචර්.‘ කියා දැරිය කීවේ පැමිණිල්ලක් විලසිනි.

‘ අපි ඔය චිත්‍ර තරගේ පවත්තන බැංකුවට කතා කරලා බලමුද?‘ කියා යෝජනා කළේ ඇම්බන් මහත්තයාය‍

‘ ඔව්. ඒකත් හොඳයි... ‘ කියා ටොම්සන් මහත්තයා බැංකුවට කතා කළේය.

‘ දැන් මේ නෝනා අපිට මේ දුක්ගැනවිල්ලක් ලැබිලා තියෙනවා. මේ ළමයෙක් ඉන්නවා චිත්‍ර අඳින.. එයාට රේඩියෝ එකෙන් ඇහිලා තියෙනවා. චිත්‍ර තරගෙකට චිත්‍ර භාර ගන්නවා කියලා. හැබැයි ඒ ළමයාට ගිණුමක් නම් නෑ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ ඒක තමයි අපි මේ චිත්‍ර වැඩ සටහන කරන්නේ අපේ ප්‍රවර්ධන වැඩ සටහනක් විදිහට නේ. ඉතින් ගිණුම් හිමියන් ප්‍රවර්ධනය කිරිම තමයි අපේ අරමුණ. එතකොට ගිණුමක් නැති ළමයෙකුට වුණත් අලුතින් ගිණුමක් ආරම්භ කරලා චිත්‍ර තරගෙට ඇතුළත් වෙන්න පුළුවන්.‘ කියා බැංකු නෝනා කීවාය.

‘ එතකොට නෝනා අලුතින් ගිණුමක් ආරම්භ කරනවා කියන්නේ ඒත් ගිණුම් හිමියන්ටම නේ.. දැන් ඔය තරගේ දැන්වීම බැංකුවක් ඇතුළේ ප්‍රදර්ශනය කරලා තරගෙට අයදුම් පත් කැඳෙව්වාට වරදක් නෑ... මොකද ඒ බැංකුවට එන්නේ ඒ බැංකුවේ ගිණුම් හිමියෝ නේ. එතකොට මේ විදිහට ජනමාධ්‍යයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළාම ඒක මේ රටේ ඉන්න හැම ළමයාටම ඇහෙන්න දකින්න පුළුවන් නේ. මං අහන්නේ එතකොට මේ විදිහට ළමයින් කොටසක් වෙන් කිරීම පොදුවේ ළමයින්ට කරන බරපතළ වෙනස්කමක් වෙන්නේ නැද්ද?‘ කියා ටොම්සන් මහත්තයා බොහොම බරසාර විදිහට ඇසුවේය.

‘ ඒ වුණාට ඔය දුරකථන සමාගම්වලිනුත් ඔය වගේ තරග පවත්තනවානේ...‘ කියා නෝනා උත්තර බැන්දාය.

‘ ඒක වෙනම කතාවක් නේ නෝනා.. දැන් මං අහන්නේ බැංකුවෙන් කරන මේ වැඩේ ගැන. වැඩිහිටියන්ට තියෙන තරග ගැන නම් මේකේ ප්‍රශ්නයක් නෑ නෝනා... මං කියන්නේ මේ ළමයි සම්බන්ධ නිසයි. යම් ළමයි කොටසකට මේ විදිහට වෙනස්කමක් කිරීම ගැන අපට එකඟ වෙන්න නම් බෑ කියා ටොම්සන් මහත්තයා අන්තිමට කීවේය.

ඒ සැරේ බැංකු නෝනා ඒ කාරණේ බරපතළෙට ගත්තාය.

‘ ඒකේ ඇත්තක් තියෙනවා තමයි. මං මේක අපේ ලොකු මහත්තයා එක්ක කතා කරන්නම්.‘ කියා බැංකු නෝනා කීවාය.

‘ අපි අර ළමා ආරක්ෂාව භාර නෝනලාටත් කතා කරලා බලමුද ටොම්සන් මහත්තයා.?‘ කියා උන්නැහේ යෝජනා කළේය.

‘ වැඩක් නෑ උන්නැහේ. ඒ නෝනලාට රටේ වෙන දේවල් දැනෙන්නේ කවුරු හරි පැමිණිලි කළොත් විතරයි. නැත්නම් ළමයින්ට මොන මොන විදිහේ වෙනස්කම් වෙනවාද කියලා ඒ නෝනලා කොහොමත් දන්නේ නෑ.‘ යැයි කියූ ටොම්සන් මහත්තයා අර කුඩා දැරිය වෙත හැරුණේය.

‘ දුව දිගටම චිත්‍ර අඳින්න. ඔය තරගෙට දැම්මේ නෑ කියලා චිත්‍ර අඳින එක නවත්තන්න එපා.. කවදා හරි දුවට චිත්‍රයක් යවන්න පුළුවන් තරගෙකුත් එයි නේ...‘ කියු ටොම්සන් මහත්තයා දැරියගේ හිස අත ගෑවේය. දැරිය අහිංසක ලෙස සිනහසුණාය.

බන්දුල පී දයාරත්න
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...