සුන්දර හැන්දෑවක්... | දිනමිණ

සුන්දර හැන්දෑවක්...

දවසේ වෙහෙස තුනී කරන්නට තරම් ඒ හඬ මෘදු මොළොක්ය. එහෙත් ඒ ආරාධනාව මා අවුල් ජාලවක ඇද හෙළයි. කලකින් කොළඹ නොගිය බැවින් මේ ආරාධනාව සොම්නසින් ඉවසන්නට බැරි මන්දැයි මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.

‘අක්කා කොහොම හරි එන බව මම දන්නවා’යි අජිත් මල්ලි මහත් විශ්වාසයෙන් කී කල මම තවත් අසරණ වීමි.

ශ්‍රියා පුංචි අම්මා මේ විශාල කුටුම්බ‍ෙයහි බර දවසකට දරන්නට කැමති වූයෙන් මම ඒ දීර්ඝ හා වෙහෙසකර ගමනාන්තයෙහි, අරුණාගේ ආදරයෙන් සැනසෙන්නට තරම් භාග්‍යමත් වීමි. මගේ පාඨකයකු වන ඇය මගේ සත්කාරිකාව ලෙසද සහෝදරත්වයේ උණුසුම් ළෙන්ගතුකමින් මා පිළිගන්නට සැදී පැහැදී සිටින්නීය.

ලංකාදීප දිනපතා පුවත්පතේ උප කර්තෘ ලෙස සේවය කරන තරුණ මාධ්‍යවේදී සුජිත් ප්‍රසංග විසින් රචනා කරන ලද ‘මැදියම අග’ නවකතාව හා ‘අත්තාපල්’ යොවුන් නවකතාව දොරට වැඩුම නිමිත්තෙන් පසුගිය මැයි 31 වන බ්‍රහස්පතින්දා හැන්දෑවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති චාම් හා සොඳුරු උළෙල සැබැවින්ම අරුත්බර විය.

මුලසුන හෙබවූ ප්‍රවීණ රංගවේදිනී අනෝජා වීරසිංහ මේ තරුණ ලේඛකයාගේ නිර්මාණ අගය කළ අතර අද්‍යතන සමාජ ඛේදවාදකයේ අන්ධකාරයෙන් මිදී ආලෝකය දකින්නටද අයුක්තියට, අසාධාරණයට හා දූෂණයට එරෙහිව අරගල කරන්නටද ආරාධනා කළාය.

මේ දොරට වැඩුමේ කෙටි දෙසුම් පැවැත්වූ ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා හා ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර සාරගර්භ අදහස් පමණක් නොව ජීවිතයද ගෙනහැර පෑ වග ගෞරවාදරයෙන් සිහිපත් කළ යුතුය.

තුෂාරි අබේසේකර ලේඛිකාව අතිශය සංවේදී කතාවක් ළගන්නා අයුරින් කියා පාමින් මේ විෂම සමාජ ක්‍රමය තුළ අන්ත අසරණ වන ස්ත්‍රීන් හා දරුවන් පිළිබඳව සිතන්නට, තැවෙන්නට, දැවෙන්නට අපට බල කළාය. අත පය ගසා සිටින බිම්කඩ රුධිරයෙන් හා ලෙයින් කඳුලින් දිගින් දිගටම තෙත්ව යන බවද මල් පුබුදින්නට කල් ගතවන බවද ඒ සඳහා ළතෙත් හදවත් පමණක් නොසෑහෙන බවද ඇය අවධාරණය කළ වග මට හැඟිණි.

තුෂාරි අබේසේකර සහෝදර ලේඛිකාව හමුවන්නට ඉඩ ප්‍රස්ථාව ලබා දීම පිළිබඳව සුජිත් ප්‍රසංග ලේඛකයා හට නැවත නැවතත් ස්තූතිවන්ත වෙමි. ඇගේ නිර්මාණ මෙන්ම ඇයද අපූරු බව සෙනෙහසින් සඳහන් කළ යුතුය.

කුසුම්සිරි විජයවර්ධන, දයා ද අල්විස් , නෙරංජලා සරෝජිනී ප්‍රවීණ කලාකරුවන් සමඟ පිළිසඳර ඉක්මනින් හමාර කරන්නට සිදු වූයේ කාල වේලාව හරස්වීම හේතු කොටගෙනය.

සුජිත් ප්‍රසංග සහෝදර ලේඛකයාගේ කෘතීන් ද්විත්වය දොරට වැඩි මංගල්ලය මෙහෙය වූ ප්‍රවීණ නිවේදිකා රසාදරී පීරිස් දැක්වූ කුසලතාව හා හද ඇද බැඳගන්නා ස්වභාවය ද මිහිරි හඬද කෙනකුට කලකට අමතක නොවන අත්දැකීමක් බවද වෙසෙසින් සඳහන් කළ යුතුව තිබේ. ඉතා සැහැල්ලුවෙන් ද නොවියැකෙන ප්‍රබෝධයෙන්ද මෘදු මොළොක් බවින්ද ඇය නිවේදන භූමිකාවේ නව මානයන් පළ කළ බවක් මට හැඟිණ. දුෂ්කර අවස්ථාවන්හීදි පවා සුමටව සොඳුරුව ප්‍රේක්ෂකාගාරය විඩාපත් නොකළ බව නොකියන්නේ නම් මහත් වරදකි.

සුජිත් ප්‍රසංග තරුණ ලේඛකයාගේ කෘතීන් ප්‍රකාශයට පත්කරමින්ද මෙකී දොරට වැඩුමේදී මහත් සහයෝගයක් ලබා දෙමින්ද සරසවි ප්‍රකාශකයෝ සහ ගොඩගේ ප්‍රකාශකයෝ සිදු කළ මෙහෙවර අගය කළ යුතුය. ප්‍රවීණ හා ආධුනික වෙනසකින් තොරව නිර්මාණකරුවන් ධෛර්යමත් කිරීම සැබැවින්ම සත්කාර්යයකි.

ගීපද රචනයෙන්ද සමත්කම් දක්වන සුජිත් ප්‍රසංග ලේඛකයා ‘මැදියම අග’ නවකතාව හා ‘අත්තාපල්’ යොවුන් නවකතාව රචනා කරමින් සිය නිර්මාණ කෞෂල්‍යය නැවත වරක් මනාව පළ කරයි. සෙමින් පියවර තබන ඔහු දිගු ගමනක් යන බව දැනටමත් තමාගේ නිර්මාණ තුළින් අපූරුවට කියාපායි. ඔහුට සුබ පතා කොළොම්පුරවරයෙන්ද ආදරණීය අරුණාගෙන්ද සමුගත් මම පැය පහ, හයක් ගතවන දීර්ඝ ගමනකට යළිත් මුල පිරුවෙමි‍. පිරිමි හයදෙනෙක් එක්ක ශ්‍රියා පුංචි අම්මාට මේ එක දවස සුමානයක් හමාරක් තරමට දිගුව දැනුණේදැයි අසා දැනගන්නාතුරු මට ඉවසුමක් නැත්තේය.

‘අදවත් නැවතිලා යන්නකෝ’

අරුණාගේ ආදරණීය කන්කරච්චලය පිළිකෙව් කරන්නට සිදුවන්නේ නිවුන් පුතුන් පාසල් යැවිය යුතු බැවිනි.

දීර්ඝ ගමනක වෙහෙසත් විඩාපත් වෙනවා වෙනුවට අරුත්බර නිර්මාණයකින් යළිත් පාඨකයන් ආමන්ත්‍රණය කරන සුජිත් ප්‍රසංග ලේඛකයා තිළිණ කළ සොඳුරු සන්ධ්‍යාව ආවර්ජනය කළෙමි.

ශාන්ති දිසානායක
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...