කුඩගමින් ඇසුණු කතා | දිනමිණ

කුඩගමින් ඇසුණු කතා

‘ලොරෙන්සු නෝනිස් සේනානායක.’ ඔහු ජීවත්වූයේ අවිස්සාවේල්ලේ කුඩගම ය. ඔහු සටහන් තබා තිබූ පරම්පරා විස්තරයට අනුව ඔහුගේ අත්තා වන ‘නෝනිස් සේනානායක’ බෝතලේ සේනානායක පරපුරේ උපත ලැබූවෙකි. එහෙත් පරම්පරාවට නොගැළපෙන තක්කඩිකම් කළ හෙයින් නෝනිස් සේනානායක බෝතලේ වලව්වෙන් පලවා හැර ඇත. ඉන්පසු ඔහු අවිස්සාවේල්ලේ කුඩගමට පැමිණ ජීවිතය සරි කරගෙන තිබේ. නෝනිස් සේනානායකගේ පරපුරේ හැම දෙනාට ම ‘නෝනිස්’ නම උරුම වී ඇත්තේ මෙකියන ආදිතමයා අනුව ය. ලොරෙන්සු නෝනිස් සේනානායක. ඔහුගේ පුත් ගමේ වෙද මහතා මාටින් නෝනිස් සේනානායක.

කුඩගමට ඉස්කෝලයක් තිබී නැත. ඉතින් ලොරෙන්සු සිය පරම්පරාවේ ඉඩමක් ඉස්කෝලයක් හදන්නට පරිත්‍යාග කළේ ය. කන්දක පිහිටි පාසලට යන්නට පාරක් නොවූ බැවින් ලොරෙන්සු සිය වියදමින් ලොකු පඩිපෙළක් සැදුවේ ය. පඩිපෙළ විවෘත කරන්නට එවකට අගමැති තමන්ට නෑදෑකමක් ඇති ඩී. එස්. සේනානායක මහතා ගෙන්වා ගන්නට ඔහුට අවශ්‍ය විය. ඉතින් ලොරෙන්සු අගමැති ඩී. එස්. ට ලිපියක් ලීවේ ය. “මහ සේනානායක උන්නාන්සේ වෙතටයි” යනුවෙන් ඇරඹුනු නෑදෑකම් සඳහන් ලිපියට ඩී. එස්. සේනානායක පිළිතුරු එවා තිබිණි. එහි මෙසේ සඳහන් වී ලු.

“ නුඹලා මගේ ඥාතීන් නම් තව තවත් රටට වැඩ කරපල්ලා. විවෘත කිරීමට එන්ට මට අවකාශ නැතුවා ය. මං නුඹලාගේ ඩී. ආර්. ඕ. උන්නානාසේට එන්ට නියම කරනවා ය.”

අගමැතිතුමාගෙන් ලියුමක් ලැබීමෙන් අමන්දානන්දයට පත් ලොරෙන්සු ලියුම පෙන්වමින් ගමේ ගෙයක් පාසා ඇවිද්දේ ය. දිවා ආහාරයට නොපැමිණි ඔහු සෙවීම පිණිස මිනිසුන් යවන්නට ඔහුගේ ලේලියට සිදුවිය.

ලොරෙන්සු නෝනිස් සේනානායක යනු පසුගියදා ජීවිතය හැරගිය ප්‍රවීණ ලේඛක ‘සෝමවීර සේනානායකයන්ගේ අත්තා ය. ලොරෙන්සුගේ පුත් බැලවානේ වෙද මහතා නමින් ප්‍රකට මාටින් නෝනිස් සේනානායකගේ දෙටු පුතණුවන් වූයේ සෝමවීර සේනානායක ය.

සෝමවීර සේනානායකයන්ගේ අභාවය නිමිත්තෙන් මේ දිනවල ඔහු අරභයා බොහෝ ලිපි ලියැවේ. ඔහු ලියූ නවකතා ගැන, ටෙලි තිරනාටක ගැන බොහෝ දේ ලියැවේ. එබැවින් වැඩි වශයෙන් කතා බහට ලක් නොවන කාරණා පදනම් කරගෙන සේනානායකයන් පිළිබඳ ලියන්නට කල්පනා කළෙමි. (ඉහතින් සඳහන් කතාව සෝමවීර සේනානායක මහතා ඔහුගේ ‘අපි තවමත් සංසාරේ’ ස්වයං චරිතාපදානයේ ලියා තිබිණි.)

මීට වසර කීපයකට පෙර සෝමවීර සේනානායක මහතා මට දුරකථනයෙන් කතා කළේ ය.

“සිළුමිණ කියවනව ද? මා ගැන ලිපි මාලාවක් සිළුමිණේ පළවෙනවා.” ඔහු කීවේ ය. මම සිළුමිණ කියවූවෙමි. සෝමවීර මහතාගේ ළමා කාලය පිළිබඳ පුවත්පතේ පළව තිබූ එක් කතාවක් වෙසෙසින් මගේ සිත් ගත්තේ ය.

එකල ළමා සෝමවීරගේ තාත්තා සහ බාප්පා විසින් පවත්වා ගෙන යනු ලැබූ කඩයක් තිබිණි. අසල්වැසි පන්සලේ පොඩි හාමුදුරුනමක් නිවස පිටුපස හරක් මඩුවේ සැඟව සිටිමින් සෝමවීර ළමයාට කතා කරයි. ගොම ගොඩේ දණ ඔබා හාමුදුරුවන්ට වඳින සෝමවීරට පොඩි හාමුදුරුවෝ මෙසේ පවසති.

“පොඩි වෙද මහත්තයෝ කාටත් නොපෙනෙන්න මට පීකොක් හරි සීලෝඩ් හරි සිගරැට් එකක් ගෙනත් දෙන්ට.”

හිමියන් දෙන ශත දෙක හෝ තුන ලාච්චුවට දමන සෝමවීර සිගරැට්ටුවක් ගෙන ගොස් හාමුදුරුවන්ට පිළිගන්වා නැවත දණ බිම ඔබා වඳියි. (හාමුදුරුවන්ට කුමක් පිළිගැන්වූවත් වැඳ නමස්කාර කළ යුතු යයි ළමයා අදහයි.) හිමියෝ නැවත ගින්දර ඉල්ලා සිටිති. හොරෙන් කුස්සියෙන් ගන්නා ගිනිපෙනෙල්ල හාමුදුරුවන්ට පිළිගැන්වූ පසු නැවත වඳින්නට ද සෝමවීර ළමයා අමතක නොකරයි. මේ සෙල්ලම මෙසේ සිදුවන විට දවසක් ලාච්චුවෙන් සිගරැට් ගැනීම බාප්පාගේ අතට ම අසුවී ගුටිකන්නට සෝමවීරට සිදුවේ. ඒ සිගරැට් කාටදැයි ඔහු හෙළි නොකරන හෙයිනි. එදවස පොඩි හාමුදුරුවන් පසුව උපැවිදි වී රට පිළිගත් පඬිවරයෙකු වූ බව ද සිළුමිණේ සඳහන් විය.

මම දුරකථනයෙන් සෝමවීර සේනානායකයන් ඇමතීමි. ලිපිය ගැන කතාකරන අතර මෙසේ විමසීමි. “අර පොඩි හාමුදුරුවෝ මහාචාර්ය ..... නේ ද?”

“ඔයා කොහොමද දන්නෙ?” රිසීවරයෙන් විමතියෙන් මෙන් කතාකරන සෝමවීර මහතාගේ හඬ ඇසෙයි.

“ එයා ඇපලපිටියෙ පන්සලේ මහණවෙලා හිටපු බව මම දන්නවා. රට පිළිගත් පඬිවරයෙක් වුණා කියන කොට එයා තමයි කියල මට හිතුණා.”

“දන්නව වුණාට කමක් නෑ. මහානාම කාටවත් කියන්න එපා. එයා පන්සලේ හිටිය කියන්න කැමති නෑ. සභාවකදි මුණගැහුණත් කාටවත් නෑහෙන්න තමයි ‘වෙද මහත්තයට දැන් කොහොමද?’ කියල මගෙන් අහන්නෙ.” සෝමවීර මහත්තයා කීවේ ය. ඒ සෝමවීර සේනානායකයන්ගේ හැටි ය. කෙනෙක් ඔහුගේ පෞද්ගලික තොරතුරක් සඟවා ගෙන සිටින විට ඒ තොරතුරු හෙළි කොට ඔහු අපහසුතාවට පත්කරන්නට සෝමවීර මහත්තයා කැමති නැත. ඔහු උදාර මහත්මයෙකු සේ ඒ රහස රකියි.

සෝමවීර සේනානායක මහතා වර්ෂ 2000 ගෙවෙන කාලයේ පෞද්ගලිකව ම දැන හඳුනා ගත්තත් ලේඛකයෙකු හැටියට මා ඔහු දැනගත්තේ අප පාසල් දරුවන් වූ හැත්තෑව දශකයේ මුල් භාගයේ දී ය. එදවස මාසයේ 12 වනදාටත්, 26 වනදාටත් නිකුත්වන නවයුගය මිලදී ගන්නටත් එකතු කරන්නටත් පුරුදුව සිටියෙමි. සේනානායක මහතා නවයුගයේ ‘නවමගක කතාවක්’ යටතේ කෙටිකතා ලීවේ ය. ලිපි ලීවේ ය. ඔහු ලියූ ‘රන්බණ්ඩ පුතේ’ කාලයක් මතකයේ රැඳුණු කෙටිකතාවකි. (සුද්දා පරාදයි කෙටිකතා සංග්‍රහයට ඇතුළු වන විට මෙම කෙටිකතාවේ නම ‘ඉක්මන් ගමන්’ යනුවෙන් වෙනස්ව තිබිණි.) සෝමවීරයන්ගේ නවකතා කියවන්නට ලැබුණේ ද මේ යුගයේ ය. ඔහුගේ නිර්මාණ බෙහෙවින් අපට සමීප විය.

සෝමවීර සේනානායක ලේක්හවුස් ආයතනයේ සේවය කරන යුගයේ අපූරු අත්දැකීමක් ‘අපි තවමත් සංසාරේ’ කෘතියේ ලියා දක්වයි. එක් දවසක් පුවත්පතේ පළ විය යුතු සතියේ ලග්න පලාපල ලිපිය නැති වී තිබේ. වහාම ලිපියේ පිටපතක් එවන්නැයි පලාපල ලියන්නාට දන්වා තිබේ. පුවත්පත මුද්‍රණයට යවන අවස්ථාව වන විට ද ලිපිය ලැබී නොතිබිණි. ඒ අද මෙන් ඕෆ්සෙට් තාක්ෂණයෙන් මුද්‍රණය කරන යුගය නො වේ. ලෙටර්ප්‍රෙස් යුගයයි. බැරිම තැන සෝමවීර මහත්තයා මාස හයක් පමණ පැරණි පුවත්පතක පලාපල තීරයක් ඉරා මැෂින් ඔපරේටර් කෙනකුට දුන්නේ ය. අකුරු ඇමිණී පරණ පලාපල විස්තරය මුද්‍රණයට ගියේ ය. පුවත්පත නිමවෙමින් පවතින විට ජ්‍යොතීර්වේදීයා ලිපිය එව්වේ ය. අස්ථානගතව තිබුණු ලිපිය ද පසුව හමුවිය. සෝමවීර මහතා මෙසේ කියයි. “එකම සතිය සඳහා ජ්‍යොති ශාස්ත්‍රඥයා ලියා තිබූ පලාපල විස්තර දෙක අහසට පොළව මෙන් වෙනස් ව තිබිණි. පත්තරවල ඇතැම් ජ්‍යොතිෂ ලිපි කෙරුවාව එසේ ය.” (අපි තවමත් සංසාරේ පිට 89)

සෝමවීර සේනානායක මහතා අරභයා තවත් මෙවැනි කතා පුවත් ඇති තරම් සඳහන් කළ හැක. එවැනි කතා මෙවන් කුඩා ලිපියකට නොව සෑහෙන තරමේ පොතකට වුවත් සෑහෙයි. සෝමවීර සේනානායක යනු අපේ කාලයේ පෙරමග පෙන්වූ නවකතාකරුවෙකි. අපෙන් පසු පරපුරට මාලා නාටක පිටපත් රචකයෙකි. කොයි ආකාරයෙන් සඳහන් කළත් විශිෂ්ටයෙකි. ඒ සියල්ලටමත් වඩා ඔහු කනිටු පරපුර දෙස දයාවේ ඇසින් බැලූ යහපත් මිනිසෙකි.

මහානාම දුනුමාල
[email protected]


නව අදහස දක්වන්න

Or log in with...