රසට කාපු මී කිරි | දිනමිණ

රසට කාපු මී කිරි

 ඔහු දැන් වයස 74 ක මිනිසෙකි. කලෙක ඔහු ක්‍රම විරෝධී සටන් පෙරමුණක සන්නද්ධ සටන් කරුවෙක් විය. සමකාලීන සටන් සගයන්ගෙන් සමහරකුට ඔහු විරුවකු වෙද්දී සමහරකුට ඔහු ද්‍රෝහියෙකි. පසුකාලීන පරපුකට ඔහු පුරාවෘත්තයකි. ඔහු උපන්නේ මාතර. සාමාන්‍ය පවුලක දරුවකු ලෙසය. 1971 දී මෙරට අවූළුවාලූ පළමු සන්නද්ධ අරගලයෙහි ඔහු කැපී පෙනුණ සටන්කරුවෙක් විය. අරගලයට එරෙහිව එවකට පැවති ආණ්ඩුව පැවරූ නඩුව හෙවත් මහ නඩුවේ ඔහු දෙවැනි විත්තිකරුය. ජ.වි.පෙ. නිර්මාතෘ රෝහණ විජේවීර එහි 13 වන විත්තිකරු විය. කලෙක ඔහු ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්වරයා විය. බොහෝ සමකාලීනයන් මෙන්ම ඔහුගේ දේශපාලන මිතුරන් අතර ඔහු ජනප්‍රියව ඇත්තේ “ලයියා” නමිනි. මේ එක්තරා දුරකට ඔහුගේත් 75 වසරක ලාංකීය ඉතිහාසයේත් කතාව විය හැකිය. නොඑසේ නම් එය අපට මග හැරුණු මිනිසකුගේ කතාව විය හැකිය. ඔහු නමින් ලයනල් බෝපගේය. මේ ඔහුගේ අද්දැකීම් පුවත්පතක පළවන පළමු වතාවයි.

“1950 අග වන විට එක්සත් ජාතික පක්ෂයේ බලය පිරිහෙමින් පැවතුණා. වමේ බලවේගයන් ශක්තිමත් වෙමින් තිබූ නිසා වැඩ කරන ජනතාවගේ සහයෝගය ඕනෑම අලුත් දේශපාලන හැඩගැස්මක් වෙත ලබා ගැනීමට නම් වමටත් එහි බලපෑමටත් එරෙහිව ක්‍රියා කළ යුතු බව බණ්ඩාරනායක මහතාට අවබෝධයක් තියෙන්න ඇති. 1951 ජූලි මාසයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවා. මෙතැන දී තමයි, රටේ දේශපාලන දේහය තුළ ජාතිකවාදී බලවේගයක් නිර්මාණය කරන ලද්දේ.”

1950 ගණන්වල පැවැති තත්ත්වය නිරීක්ෂණය කරන බෝපගේ පවසන්නේ ප්‍රභූ පැළැන්තියේ ප්‍රපංචයක් වූ ශ්‍රී ලංකාවේ ජාතිකවාදය මල් ඵල ගැන්වීමට තරම් සාරවත් පසුබිමක් ඒ කාලයේ බහුජනයා අතර නො තිබුණු බවයි. ශ්‍රී ලංකාවට නාම මාත්‍රික නිදහසක් ලබා දී තිබුණ ද ආර්ථික සහ පංති විෂමතාවයන් එලෙසින් ම පැවතුණි. බණ්ඩාරනායක මහතා විසින් හඳුන්වා දෙන ලද එකම නව්‍ය අංගය වූයේ ජනතාවාදී ජාතිකවාදය බව බෝපගේ ගේ අදහසයි.

‘50 දශකයේ අග භාගයේ සිදු වූ මෙකී සිදුවීම් පිළිබඳ ව ලයනල් බෝපගේ අදත් සිහි කරන්නේ කනස්සල්ලෙන් යුතුවය.

“ ඒ මොහොතේ ලංකා සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය යන දෙකම භාෂා සමානත්වය උදෙසා සහාය දුන්නා. ඒත් ඊට පරස්පර විරෝධී ලෙස, ඔවුන් මෙම සමානත්වය විනාශ කිරීමට සැ දී පැහැ දී සිටි බලවේග සමඟම නිතරග ගිවිසුමක් ඇති කර ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගන්නා ලද සිංහල ජනතාවගේ නොරිස්සීම ද ඒ අය අධික ලෙස අවතක්සේරු කළා.

“ඇත්තටම මේ ප්‍රශ්න කිසිදාක ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ ලංකා සම සමාජ පක්ෂයේ ඒ වනවිට හිටපු දහස් ගණන් සාමාජිකයින්ගේ දේශපාලන සාකච්ඡාවල කොටසක් බවට පත් වූයේ නෑ. කළ කෝලාහල, දාමරික මිනීමැරුම්, දෙමළ ජනයා සතු දේවල් පැහැර ගැනීම් යනාදිය අපි නිතර ගැවසුනු වාම කවවල කතාබහට ලක් වුණේ කලාතුරකින්. දෙමළ ජනයා මුහුණ දෙන ලද ප්‍රශ්න ගැන සම්ප්‍රදායික වම දැනුවත්ව නොසිටීම මට අදටත් විශ්වාස කරන්න අමාරුයි. අපේ පාසැල්වල භාෂාව, ආගම සහ ඉතිහාස පංතිවල දී වක්‍රව උගන්වන ලද අපකීර්තිමත් වර්ගවාදය විසින් මගේත් අපේ සහෝදරයින්ගේත් දේශපාලන ආකල්ප බොඳ කර දැමුවා කියලා මට හිතෙනවා.”

බෝපගේට අනුව 20 වැනි සියවසේ අගභාගයේ දී සහ 21 වැනි සිය වසේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ යළි රඟ දැක්වුණු ඛේදවාචකයේ පෙරහුරුවක් බඳු වූයේ 50 දශකයයි.

“දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැරණි වමට තිබුණේ තේරුම් ගැනීමට දුෂ්කර ආකල්පයක්. එක් අතකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය භාෂා පනතට ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් පෙන්නුම් කළ වම, අනෙක් අතට ඒ පනත ඉදිරිපත් කළ පක්ෂය සමගම පාර්ලිමේන්තු ආසන සම්බන්ධයෙන් නිතරඟ ගිවිසුමකට ඇතුළත් වුණා. නාගරික සහ ග්‍රාමීය නිර්ධන පංතිය එක්සත්ත්ව පුළුල්ව ඔවුන්ගේ පැත්තේ සිටිය දී පවා ලංකා සම සමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය පෙන්නුවේ බයාදුකමක්. රටේ පංතිමය සහ ආර්ථික සීමා මායිම් වෙනස් කරන්න වමට තිබූ අවස්ථාව ඒ අය අත්හැරියා. ඊට අමතරව වමේ ඇතැම් කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආධිපත්‍යය උසුලන සභාගයක කොටස්කරුවන් වුණා.”

එලෙසම ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධානතම අසමත්කම වනුයේ ද තමන් වෙත දෙමළ ජනතාව විශාල ලෙස ආකර්ෂණය කර ගැනීමට තිබූ නොහැකියාව බව බෝපගේ ගේ අදහසයි. ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දෙමළ ශිෂ්‍යයකු ආකර්ෂණය කර නොගැනීමට ප්‍රධාන හේතුව ලෙස ඔහු සිතනුයේ එවකට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව තුළ ශීඝ්‍රයෙන් වැඩෙමින් තිබූ ජාතිකවාදයයි. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි එකගතාවක් දැක්වූ බොහෝ මා ඕ වාදී දෙමළ ශිෂ්‍යයින් ඔහු දැන සිටියේය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සමඟ බැඳීමට හෝ ඒ සමඟ සම්බන්ධ වීමට ඒ දෙමළ ශිෂ්‍යයන්ට අවශ්‍ය නොවීය.

එහි කිසිදු අසාමාන්‍යතාවක් ඒ කාලයේ දී බෝපගේ ට නොපෙනුණි. ප්‍රජාවන් දෙකටම තම තමන්ගේ ජාතික සහ පංති ළැදිකම්වලට අනුව නියෝජනය කිරීමට වෙනස් පක්ෂ එකළ තිබුණි. බෝපගේ ට මෙය විස්තර කළ හැකි එකම මග 60 දශකයේ දෙමළ සහෝදරයින් සමඟ තිබූ තමාගේ සම්බන්ධකම් නිසා පැන නැගුණු ප්‍රශ්න පිළිබඳ අත්දැකීම් පමණි.

“ඒ කාලයේ උගත් දෙමළ සමාජය තුළ සිංහල සමාජයට සාපේක්ෂව විරැකියාව වඩා පහත් මට්ටමක තිබුණේ. ඒකට හේතුව දෙමළ ජනතාව බහුතරයක් දිවයිනේ වියළි කලාපයේ වාසය කිරීම. ඒ ප්‍රදේශවල රැකියා අවස්ථාවන් බැ දී තිබුණේ කෘෂි කර්මාන්තය සමග. එහි ජීවත් වීම දකුණේ තෙත් කලාපවලට සාපේක්ෂව දුෂ්කරයි. එම ප්‍රදේශයෙන් ඉවත්ව රටේ වෙනත් ප්‍රදේශයක රැකියාවක් ලබා ගැනීම උදෙසා හොඳ අධ්‍යාපනයක් ලැබීමට ඒ අයට දැඩි පෙලඹීමක් තිබුණා. ඒ වගේම උගත් දෙමළ ජනතාවගෙන් බොහොමයක් රැකියාව කළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ.”

“සිංහල ප්‍රජාවේ හැඟීම වුණේ උගත් දෙමළ තරුණයන්ට රැකියා ලබා දීමට දෙමළ ජනයාගේ උගතුන්, වෘත්තිය වේදීන් පක්ෂග්‍රාහිව උදව් කරන බවයි. මේ කරුණ ඇත්තද නැද්ද කියන්න මට තොරතුරු නැහැ. ඒත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල ශිෂ්‍යයින් අතර පවා විද්‍යා පීඨයේ දෙමළ කථිකාචාර්යවරු දෙමළ සිසුන්ට උදව් කරන බවට අදහසක් පැවතුණා.

“ඒත් අපි දන්න, එහෙම වුණත් අපි කියන්නේ නැති ඇත්ත තමයි දෙමළ ජනතාව රැකියා වෙළඳපොළේ වඩාත් සාර්ථක වීමට හේතුව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බොහෝ මිෂනාරි පාසල් පිහිටුවා තිබීම කියන එක. ඒ කාලයේ මේ ගැන මටත් අදහසක් තිබුණේ නැහැ. සිංහල ශිෂ්‍යයින්ගේ මැසිවිලි කතා ඇසුණු මම කිව්වේ, විශ්ව විද්‍යාලය රජයෙන් පාලනය වන නිසා විභාග පැවැත්වීමට ස්වාධීන මණ්ඩලයක් පත් නොකරන්නේ ඇයි කියා විමසන ලෙසයි. මම හිතන්නේ ඇතැම් විට සිංහල කථිකාචාර්යවරුන් සිංහල ශිෂ්‍යයින්ටත් එවැනි උදව් කරන්නට ඇති.

“මේ කාරණයට අදාළ සිද්ධියක් 1964 මම අම්පාර හාඩි කාර්මික විද්‍යාලයට ඇතුල්වීමේ දී දැක ගන්නට ලැබුණා. ඇතුල්වීමට පෙර සියලු අයදුම්කරුවන්ට මූලික සම්මුඛ පරීක්ෂණයක් තිබුණා. මට පෙනී ඉන්න ලැබුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිකම දැරුවෙ ප්‍රනාන්දු කියලා මහත්මයෙක්. ඔහු ඉහළම සුදුසුකම් සහිත ඉංජිනේරුවරයෙක් වගේම එවකට රජයේ මහා සංවර්ධන යෝජනා ක්‍රමයක් වුණ ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කළමනාකාරවරයා. සම්මුඛ පරීක්ෂණය පැවැත්වුණේ ඉංග්‍රීසියෙන්. ප්‍රනාන්දු මහත්මයා ආගම ගැන කතා කළ බව මට හොදටම මතකයි. හිටි ගමන් ඔහු මාතෘකාව වෙනස් කරමින් සිංහල සිසුන්ට වඩා වැඩි ප්‍රමාණයක් දෙමළ සිසුන් උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වන බව කිව්වා.”

ප්‍රනාන්දු මහතා කතා කළ ස්වරයෙන් සහ ඔහුගේ කතා විලාසයෙන් දෙමළ සිසුන් කෙරෙහි දැක්වූ සිංහල සතුරු බවක් බෝපගේ ට දැනුණි. 22 කින් යුත් බෝපගේ ගේ කණ්ඩායමෙහි 14 දෙනෙක් දෙමළ සිසුන්ය. ඔවුන් තමන්ගේ පෞද්ගලික කුසලතාව අනුව ඇතුළු වී සිටි හෙයින් බෝපගේට ඒ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණේ නැත. මුලූ ආයතනයේම සිටි සිසුන් 45 දෙනාගෙන් 30 දෙනෙක් පමණ දෙමළ වූහ. හාඩි ආයතනය තුළ වාර්ගික පීඩනය සැගවී තිබූ බව අදත් බෝපගේ ට ප්‍රතික්ෂේප කළ නොහැක. ඉංජිනේරු සැලසුම් සහ ඇඳීම් පිළිබඳ කථිකාචාර්යවරයා දෙමළ බර්ගර් ජාතිකයෙක් බව ද ඔහුගේ නම ඩි ලාමා බව ද ඔහුට මතකය. හාඩි ආයතනය පිහිටි ප්‍රදේශය පිළිබඳව ඔහු විසංවාදී අදහසක් ඉදිරිපත් කළේය. සිංහල සිසුන් එම ප්‍රදේශය හැඳින්වූයේ ‘අම්පාර’ යනුවෙනි. දමිළ සිසුවෝ ‘අම්පාරෙයි’ යනුවෙන් හැඳින්වූහ. අම්පාර යන නම පිළිබඳව කැමැත්තක් නොදැක්වූ ඩි ලාමා එම ප්‍රදේශය අම්පාරෙයි යනුවෙන් හැඳින්වීමට උපදෙස් දුන්නේය.පංතිය තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමට මෙය හේතු වුණි.

හාඩි ආයතනය පිහිටියේ දිවයිනේ වියළි කලාපයේ අම්පාර දිස්ත්‍රික්කයේ හුදකලාවය. ඒ අසල කුඩා නගරයකි. නගරය අද්දර අහිගුණ්ඨික ගොපළු ප්‍රජාවක් විසූ අතර ‘මට්ටයින්’ ලෙස හැඳින්වුණු ඔවුහු මී කිරි මිදවූහ. ලඳු මැද ඇවිදින අතර ඔවුන්ගෙන් මුදවපු මී කිරි මිල දී ගෙන කෑ අයුරු බෝපගේ ට මෙකලද සිහිපත් වෙයි. ඔහුට ඒවා අතිශයින් මිහිරි විය.

හාඩි ආයතනය තුළ ‘නවක වදය’ ක්‍රියාත්මක වුණි. දෙමළ සිසුන් තම සහෝදර දෙමළ සිසුනට නවකවදය දුන් අතර සිංහල සිසුහු තම සොයුරු සිංහල සිසුනට නවකවදය පැමිණවූහ. ලයනල් බෝපගේ වරක් තම සිංහල සහ දෙමළ මිතුරන් කිහිප දෙනෙක් සමඟ ඇවිද යමින් සිටිය දී එක් දෙමළ මිතුරකු ඔහු ඇළට තල්ලූ කළේය. ඔහු එසේ කළේ තමා සිංහලයකු වූ නිසා ද නැතහොත් විනෝදයට දැයි බෝපගේ නොදනියි. එම සිදුවීම සහ එහි අභිප්‍රාය තවමත් රහසකි.

අම්පාරේ මෙන්ම රට තුළ ද වැඩෙමින් පැවැති මෙම තත්ත්වයට බලපෑවේ රටේ පාලක දේශපාලනය ඇති කර තිබුණු ක්‍රමවේදයයි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු මද කලකට දේශපාලනික ව්‍යාකූලත්වයක් රට තුළ හට ගැනුණි. ඔහු මරා දැමුවේ ඔහුම උදව්කොට මුදාහළ සිංහල ජාතිවාදී බලවේග විසිනි. එවකට සිටි නව-යටත්විජිතවාදී ප්‍රභූන්ගේ සම්ප්‍රදායට අනුව ඔහුගේ බිරිය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ බෑනා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා වෙත බලය පවරන ලදි. පවුල් වාදයේ උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින් බණ්ඩාරනායක මහත්මියගේ ඥාති සොහොයුරු විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදි.

“1960 ජුලි 21 බණ්ඩාරනායක මහත්මිය අගමැති ධුරයේ දිව්රුම් දුන්නා. දිව්රුම් දුන්නේ අග්‍රාණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා ඉදිරියේ. ඇය තමයි මෙරට මෙන්ම ලෝකයේ ම අගමැතිධුරයක් දරපු පළමු කාන්තාව. අග්‍රාණ්ඩුකාරවර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ධුර කාලයෙන් පසුව 1962 මාර්තු 02 දා විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දුන්නා. නිවැරදිව ම කිව්වොත් 62 මාර්තු 02 දා පෙ.ව. 8.57ට යි. දිව්රුම් දුන්නේ මෙරට අග විනිසුරු එච්. එච්. බස්නායක මහතා සහ අගමැතිනි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ. ගොපල්ලව මහතාට අග්‍රාණ්ඩුකාර පත්වීම දුන්නේ දෙවන එලිසබත් මහ රැජිනගේ අනුමැතිය ඇතිවයි.”

හෙට - සිංහල පමණයි අතුරු ප්‍රතිළුල

සිසිර යාපා


නව අදහස දක්වන්න

Or log in with...