වමට ගේන සාධනීය විවේචන බාරගත යුතුයි | දිනමිණ

වමට ගේන සාධනීය විවේචන බාරගත යුතුයි

අසංක සායක්කාර

පුවත්පත් කලාවේදියකු, ලේඛකයකු, විචාරකයකු, ටෙලිනාට්‍ය පිටපත් රචකයෙකු මෙන්ම නාට්‍යකරුවකු වන අසංක සායක්කාරගේ නවතම නාට්‍ය 'මං කෙළින් මිනිහෙක්' ඉකුත් ජූනි මස 15/16 යන දෙදින තුළ බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගතවිය. එය , ජූලි 22 වන දින පුංචි තියටර්හිදී 3.30/6.30 ට යළි වේදිකා ගතවීමට නියමිතය. මේ කතා බහ ඒ නිමිත්තෙනි.

l වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ඇල්ම බැල්ම වැටෙන්න ගන්නෙ කොයි කාලෙද? මොන විදිහටද?

90 දශකය තුළ තමයි. නාට්‍ය බලන්න ගියා. ඒ ගැන කතා බහ කරන තැන්වලට එකතුවුණා.

95-96 කාලෙ අ.පොස (සා/පෙ) කරන කාලෙ තමා නාට්‍ය බලන්න පුරුද්දක් ඇතිකර ගත්තෙ. මුල් කාලෙදි ඒකත් විෂය නිර්දේශවල තිබුණු සම්භාව්ය නාට්‍යවලට සීමාවුණා. 'හුනුවටයේ කතාව' 'මනමේ' වගේ ඒවා. 96-97 වගේ කාලෙ රාජ්‍ය නාට්‍ය උළෙලක 'ගුරු තරුව' බැලුවා. මනෝරත්නගේ නාට්‍යවල උච්චතම අවස්ථාවන් දකින්න ලැබුණා. ඒත් මේක පුපුරා යන්නෙ වෙන තැනකින්. ඒකට බලපෑව තුන්දෙනෙක් ඉන්නවා. ඒ රාජිත, බුද්ධික, ධනංජයයි. රාජිත‍ දිසානායකගේ 'වීරයා මැරිලා' මාව වෙනස් විදිහකට හිතන්න පුරුදු කළා. බුද්ධිකගේ 'දවස තාම ගෙවුණේ නෑ' මාව හිරිවැට්ටුවා. ඒකෙ සෞම්‍යගෙයි, ජයනිගෙයි ඇක්ටිං තාමත් මගෙ ඔළුවෙ හොල්මන් කරනවා. ධනංජය කරුණාරත්නගේ ගේ 'ඔබ සාපේක්ෂයි' වගේ එකක් බැලුවම, 'වේදිකාව තුළ ඕන දෙයක් උස්සලා පොළොවෙ ගහන්න පුළුවන්' කියන හැඟීම ආවා. එවායින් තමා මං උත්තේජනය ලැබුවේ.

l. 88-89 කාලයේ සන්නද්ධ ව්‍යාපාරය තුළ ලැබූ දැවැන්ත පරාජයෙන් පසුව ජවිපෙ යළි හිස ඔසවන්නේ 90 දශකයේ මැද 94 වගේ කාලෙක. ඒ කාලයේ සංස්කෘතික කලා භාවිතය තුළ මේ සමාජ ඛණ්ඩනය හා තත්ත්වය ගැන ඔබට යම් සවිඥානක බවක් තිබුණද?

දෙවෙනි වතාවට 94 වගේ කාලෙක ජවිපෙ නැඟිටිද්දී ඒ සිසුන් විදිහට ලොකු හැඟීමක් දැනීමක් තිබ්බෙ නෑ. ඒත් 2000න් පස්සෙ මමත් ජවිපෙට ක්‍රියාකාරීව සම්බන්ධ වෙනවා. ඒ අත්දැකීමත් එක්ක ආපහු හැරී බැලුවම යම් යම් දේවල් පෙනෙන්න ගන්නවා. මං පැති දෙකකින් ජවිපෙට සම්බන්ධ වෙනවා. ඒ විශ්වවිද්‍යාල සිසුවෙක් විදිහට ශිෂ්‍ය දේශපාලනය තුළ. අනෙක් පැත්තෙන් මාධ්‍යවේදියෙකු විදිහට 'සන්නස' වැනි විකල්ප පුවත්පත් හරහා. පසුව ජවිපෙ සහසම්බන්ධයක් පැවති 'ලංකා' පුවත්පත තුළ දිගු කාලයක් වැඩකරනවා. ක්‍රම විරෝධය කියන එක කොහොමත් තිබ්බා. එකේ දේශපාලන හැඩය ගොඩනැඟුනේ ජවිපෙ දෙවෙනි වරට ගොඩනැඟී ස්ථාවර වෙමින් පවතින කාලය සමග ඊට අනන්‍යවීමත් සමගයි. ඒ කියන්නෙ ජවිපෙ නිසා දේශපාලනය පත්තියම් වුණා. ඒක හංගන්න දෙයක් නෑ.

l ඔබ මේ දේශපාලන ව්‍යාපාරයෙන් වෙන් වෙන්නෙ කොහොමද?

ඒක ඇතුළේ ඉන්නකොට ඒ විදිහටම පෙනුනේ නැතත්, ක්‍රම ක්‍රමයෙන් ඒකෙ ආන්තික දේවල් පෙනෙන්න ගන්නවා. විශේෂයෙන්ම කලාව භාවිතයේදී තිබුණු අන්තවාදී, පටු ආකල්ප පෙනෙන්න ගන්නවා. ලංකා පත්තරේ වැඩකරද්දී 'සඳකඩපහණ' කලා අතිරේකයට, එක් ලිපියක් කථන භාෂාවෙන් ලියද්දී ඒක සම්පූර්ණයෙන්ම කපලා ආයෙම ලිඛිත භාෂාවෙන් ලියන්න කියලා පවා බලකරනවා. එහෙව් පුංචි වෙනස්වීමකටවත් ඉඩක් තිබුණේ නෑ. එදා වගේම අදත් කිසිදු අයුරකින් අලුත් විදිහකට හිතන්න හෝ වැඩකරන්න ලියන්න ජවිපෙ තුළ ඉඩක් නෑ. ඒක ඇත්ත වම නෙවෙයි කියන එක තේරෙන්න ගන්නවා. ඒකත් එක්ක තමා මං එතැනින් අයින්වෙන්නෙ.

l ඔබගේ 'ශ්‍රී-මත් සූ-මන' වගේ කෙටි නාට්‍යයකත්, සංඝදාසගේ චූටි කලිසම' වගේ නාට්‍යයකත් ක්‍රම විරෝධී දේශපාලනය ‍යම් පමණකට හෝ ජෝක් කරනවා. ඒක එන්නෙ එතැනින්ද?

'සංඝදාසගේ චූටි කලිසම' ඇතුළේ වුණත් වෘත්තීය සමිති දේශපාලන තුළ පවත්නා වාම නියෝජනයේ විහිළුව හා ආන්තික ස්ථාවරයන් ගැන සාකච්ඡා වෙනවා. ශ්‍රී-මත් සු-මන ඇතුළෙත් යම් විදිහකට වාමාංශිකයෙකුගේ හැඩය ගැන කියවෙනවා. මාධ්‍ය ඇතුළේ, වෘත්තීය සමිති තුළ, මේ මොහොතේ වම‍ ක්‍රියාත්මක වෙන විදිහ ගැන මගේ ප්‍රසාදයක් නෑ. ජවිපෙ නියෝජනයක් ලෙස ශිෂ්‍ය ව්‍යාපාරයේ හා ලංකා පත්තරේ වැඩකරන කාලයෙයි, එතැනින් එළියට ආවම ඒක පේන්න ගන්න විදිහයි මට අදියර දෙකක දැනුමක් හා අත්දැකීමක්. මගේ ප්‍රකාශනය ඇතුළේ ඒක එක එක විදිහට මතුවෙන්න පුළුවන්. මේක වමට ගේන විරෝධයක් නෙවෙයි. සාධනීය විවේචනයක්.

l ඔබේ සාධනීය විවේචනය වම සාධනීය ලෙසම බාරගනියිද?

එහෙම බවක් පෙනෙන්න නෑ. වම ප්‍රශ්න කරන සාධනීය මැදිහත්වීමක් කරන කෘති පවා ධනපතියන්ටම සේවය කරන බවට පටු කියවීමක් තමා එයාලට තියෙන්නෙ. ලොකුම හෙණය ඒකයි. ජවිපෙ ඇතුළු වමේ එදා ඉඳලම තියෙන පොදු ධර්මතාවක් තමා විවේචන දරා ගැනීමට බැරිකම. සාධනීය විවේචන තුළින් දෙයක් ඉගෙන ගත්තෙ නෑ. කිසි දෙයක් සාධනීයව බාරගත්තෙ නෑ. ඒ වෙනුවට ව්‍යාපාරය ඇතුළෙන් විවේචනයක් අ‍ාවොත්, ඒක ගෙනාව කෙනා දහස් චෝදනා නඟලා එළියට ඇදලා දානවා.

එළියෙ කෙනෙක් ගෙනාවොත් ඒ අදහස, ආන්තික කරලා පැත්තකට දානවා. ඉහළ ඉඳලා පහලටම හැදුව සියලු සංස්ථාවන්ට ඒක අදාළයි. ශිෂ්‍ය දේශපාලනය තුළ, පත්තරවල, මෙන්ම කලා මණ්ඩලවලත් ඒ තත්ත්වය එහෙමම තමයි. වම සාධනීයව විවේචනය කරමින් හෝ වමට ආමන්ත්‍රණය කරපු දේවල් බිහි නොවුණේ ඒකයි. වම සම්බන්ධ විවේචනයට ඉඩ දිය යුතුයි. ඒක මැනවින් ස්ථානගතකළ යුතුයි. ඒක කතිකාවට ගත යුතුයි. සෝවියට් රුසියාව වගේ සියලු විවේචකයන් මර්දනය කරමින් මේ ගමන යන්න බෑ. මේ වෙලාවෙ සාධනීය විවේචන සමග වම ඉදිරියට යා යුතුයි. මගේ විවේචනය හරි හෝ වැරදි වෙන්න පුළුවන්. ඒත් සංවාදයට නිමිත්තක් මෙතන තියෙනවා. ඒකට ගහල බිඳලා දාන එක වෙනම කාරණයක්. ගත යුතු දේ මොකක්ද, නොගත යුතු දේ මොකක්ද කියලා කතා බහ කරලා තීරණය කළ හැකියි. ඒත් ඒක කතා බහට හෝ නොගැනීම තමා ලොකුම හෙණය.

l වම විවේචනය කිරීමෙන් එහි වාසිය දක්ෂිණාංශිකයින් හෝ පාලකයින් ලබාගන්නා බවට ප්‍රසිද්ධ මතයක් තියෙනවා. ඒකට ඔබ දක්වන්නෙ කෙබඳු ප්‍රතිචාරයක්ද?

ඒ මතය වැරදියි. වම්මුන් එ් වගේ ආගමික ශික්ෂිතභාවයක් අපේක්ෂා කරනවා. අවුරුදු පහෙන් පහට මැතිවරණ එක්ක වම ගැන හිතලා වැඩක් නෑ. 'මේ වෙලාවෙ ගැහුවොත් වමට අවාසියි', එහෙමත් නැත්නම් 'මේ ඒකට වෙලාව නෙවෙයි' කියලා කල්දාන වැඩේ හරියන්නෙ නෑ. වැරදි ඒ මොහොත්ම ඒ වැරැද්ද නිවරදි කරගත යුතුයි. වම හිතිය යුත්තේ මොහොත ගැන විතරක් නෙවෙයි. යුගයක් විදිහටත් සිතිය යුතුයි. තව අවුරුදු පහකින් දහයකින් මේ සමාජ ක්‍රමය වෙනස් වෙන්නේත් නෑ. වෙනස් කරන්නත් බෑ. ඒක හොඳටම විශ්වාසයි.

එහෙව් තැනකදී 2020 දි ත් වෙන පාලකයෙක් එයි. ඒ කවුරු ආවත් ධනවාදී කඳවුරටම තමා සේවය කරන්නෙ. සමාජවාදයක් එන්නෙ නෑ. ඒත් අපි යුගයක් විදිහට කල්පනා කරලා වැඩකරනවානම් ඒ යුගයට යන්න පිරිසිදු විවේචනයක් එක්ක යන්න ඕන. එහෙම නොහිතුවොත් කවදාවත් ඕක හදන්න වෙන්නෙ නෑ. ඒත් වම හැමදාම හිතුවෙ වැරදි විදිහටමයි. චන්ද්‍රිකා එක්ක, මහින්ද එක්ක සන්ධාන ගහද්දි කීවෙත් 'මේ වෙලාවෙ මේක ආරක්ෂා කරන්න ඕන' කියලා. දහසක් විවේචන තියෙද්දී ආරක්ෂා කිරීම කළ යුතු බවට නියෝග ලැබුණා. ඒත් ඒක එහෙමම තිබුණේ නෑ. කාලයත් එක්ක අළු යට ගිනි තිබිලා ව්‍යාපාරය තුළම ඒක පුපුරා ගියේ ඊට අවුරුදු ගාණකට පස්සෙ කුමාර් සහෝදරා ඇතුළු දැවැන්ත පිරිසක් එළියට ඇවිත්. ඒත් එදා ඒ වෙලාවෙ ඒ විවේචන සාධනීයව බාරගත්තනම් ප්‍රතිඵල වෙනස් වෙන්න තිබ්බා. ඒ නිසා ආගමික සංස්ථාවල වගේ භක්තිය පැත්තක තියලා මේ වෙලාවෙ විවේචන සාධනීය බාරගත යුතුයි.

l ඔබ තාමත් වමේද? නැත්නම් අද වෙද්දි දකුණේද?

වමේ.

l තමන්ගෙ ප්‍රකාශනය වේදිකාවෙන් ආරම්භ කරන ගොඩක් දෙනෙක් පසුව ඒක හැරයනවා. ඔබටත් එහෙම වෙයිද?

මට වේදිකා නාට්‍ය ඇතුළේ පවතින්න පුළුවන්. මමත් මේක අල්ලන තැනක් තියෙනවා. මටත් මේ සමාජ ක්‍රමය ගැන විවේචනයක් හා විරෝධයක් තියෙනවා. ඒ විරෝධය, අවංකවම කලා මාධ්‍යයක් ඇතුළේ ප්‍රකාශ කරන්න පුළුවන් මාදිලිය තමා වේදිකාව. ප්‍රාග්ධනයේ ප්‍රශ්නයත් එක්ක අනිත් මාදිලිවල ඒක කරන්න අමාරුයි. ටෙලි නාට්‍යයකින් ඒක කරන්න මං කැමතියි. ඒත් බෑ. එතැන ලොකු ප්‍රාග්ධනයක් එක්ක යන වැඩක් තියෙන්නෙ. ඒකෙදි නිෂ්පාදකයෝ‍ රේටිං ඉල්ලනවා. චැනල්වලින් එන බලපෑම් තියෙනවා. ඒක සංකීර්ණයි. දරාගන්න අමාරුයි. පොතක් ලියලා කරන්නත් කැමතියි. ඒත් ඒ වගේ පොත් ගහන්න ප්‍රකාශකයෝ කැමති නෑ. විකුණගන්න බෑ. ඒත් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේදී ප්‍රාග්ධනය කියන්නෙ මට ණයක් වෙලා හරි දරාගන්න පුළුවන් මට්ටමක්. මං මෙතන පාඩු ලැබුවද, ලාභ ලැබුවද කියලා මොකෙක්වත් ඇවිත් හොයන්නෙ නෑ. නිදහසේ මගේ ප්‍රකාශනය කරන්න පුළුවන්.

l මේ මොහොතේ වේදිකාව ගැනත්, බිහිවන නිර්මාණ ගැනත් ඔබට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?

මේ වෙලාවෙ ප්‍රධාන වශයෙන් නාට්‍ය ධාරාවන් තුනක් වැඩකරනවා. විශ්වවිද්‍යාලවල නාට්‍ය හා රංග කලාව හදාරන අය එක කොටසක්. ඒ අය විභාගය ඉහළින් සමත්වෙන්න, පර්යේෂණ නිබන්ධන කරන්න නාට්‍ය කරනවා. දීලා තියෙන සිලබස් එකක්, කාල රාමුවක් ඇතුළේ වැඩකරනවා. අනිත් අය නම් 'දුවන නාට්‍ය' හදන අය. ඒ අය කතාවක් ඇතත් නැතත්, ප්‍රේක්ෂකයා විනෝදයට පත් කරලා කීයක් හරි හොයාගන්න නාට්‍ය කරනවා. ඒවට මිනිස්සු කැමතියි. ඒවා ඇත්තටම දුවනවා. ඒ අතරේ කලාතුරකින් අපි වගේ උණට නාට්‍ය කරන අයත් ඉන්නවා. මේ ධාරාවන් තුන තැන් පැත්තක තියෙනවා. ඒත් අපේ වැඩ එච්චර දුවන්නෙ නෑ. අපි කරන නාට්‍යයත් දුවන ක්‍රමේකට හැදුවොත් තමා වැඩේ යන්නෙ.

මොකද මෙයින් වෙනත් පිරිසකට, ප්‍රේක්ෂාගාරයකට ආමන්ත්‍රණය කළ යුතුයි. උණකුත් හදාගෙන වැඩෙත් දුවන්න පුළුවන් නම් වෙන තැනකට මේක ගෙනියන්න පුළුවන්. ලංකාවෙ තාමත් නාට්‍ය ප්‍රේක්ෂාගාරය කියන්නෙ කොළඹ. ඒත් මේක ගමට යන්න ඕන. ඒකට උත්සාහයක් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ නිසා මේ තැන් තුනම එකතු වෙන්න ඕන. ගොවියා, කම්කරුවා, කුලී ශ්‍රමිකයා නාට්‍ය බලන යුගයක් එළඹෙනවා කියන්නෙ මේ සමාජය මීට වඩා වෙනස් වෙනවා කියන එක.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර


නව අදහස දක්වන්න

Or log in with...