දෙවියෝ සහ දරුවෝ | දිනමිණ

දෙවියෝ සහ දරුවෝ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිළිනොච්චියේදී ප්‍රකාශයට පත් කළ කතාවකින් මේ තීරුව ආරම්භ කරන්නට කැමැත්තෙමු. එම කතාවෙන් කියැවෙන්නේ දෙවියන් මෙන් දරුවන් රැකගත යුතු බව ය. දරුවන් ගැන දෙවියන්ට කීමෙන් පමණක් ප්‍රශ්න විසැ‍ඳෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. දෙවියන්ට කීමෙන් ප්‍රශ්න විසැ‍ඳෙන්නේ නැති බව ඇත්තකි. ප්‍රශ්න විසැඳීම සඳහා සමාජය සංවිධානය වී වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. රජය හා ආයතන ඒවාට සහයෝගය ලබා දිය යුතුය. මේ අනුව ‘දරුවන් සුරකිමු’ යනුවෙන් ජාතික වැඩසටහනක් දැන් ආරම්භ වී ඇත.

මේ වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉතා වැදගත් අදහසක් සමාජ ගත කළේය. එනම්; පන්තියේදී බින්දුව ලබාගන්නා දරුවා ගැන ද සලකා බැලීම ගුරුවරයාගේ යුතුකම යන්න ය. දරුවන්ගේ හැකියාවන් විවිධ ය. එම හැකියාවන් හඳුනාගැනීම ගුරුවරයාගේ කාර්යයක් වන්නේ ය. එහෙත් අ‍ෙප් බොහෝ ගුරුවරු දරුවන් අදක්ෂ යැයි ලේබල් ගසති. ඇතැම්විට මෝඩයා යැයි අපහාස කරති. කිසිදු දරුවකු මෝඩ නැතැ’යි කතාවක් ජපානයේ තිබේ. උපතින් ම දරුවන්ට විවිධ හැකියාවන් එන බව ද ගුරුවරයා එය හඳුනාගත යුතු බව ද ජපානය විශ්වාස කරයි.

දරුවන් උදෙසා හොඳ ම දේවල් ලබා දෙමු යැයි කියුවද බොහෝ දෙනකුට හොඳම දේවල් ලබාදී‍ෙම් හැකියාවක් නැත. කෙනෙකුට හොඳම දේ තබා අවම දේවල්වත් ලබාදීමේ හැකියාවක් නැත. සංවර්ධිත රටවල් දරුවන් උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඊට විශාල වියදමක්ද දරයි. දුප්පත් රටවලට එබඳු හැකියාවක් නැත. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටින්නේ සෑම රටක් ම දරුවන් උදෙසා සිය විශේෂ සැලැකිල්ල දැක්විය යුතු බව ය. ළමයින් සඳහා වෙන් වූ ලෝක දිනයක් නම් කර ඇත්තේ ද එහි වැදගත්ම සලකාගෙන ය.

අපේ රටේ දරුවන් දෙස ආපසු හැරී බැලුවහොත් කනගාටුදායක අවස්ථා ගණනාවක් දැකගත හැකි ය. එක්තරා සමාජ විද්‍යාඥයෙක් මෑතක දී දක්වා තිබුණේ සෑම දිනයකම දරුවන් විශාල ප්‍රමාණයක් අපයෝජනයට ලක්වන බව ය. ඇතැම් දරුවන් අපයෝජනයට ලක්වන්නේ නිවසේ දී ය. තව දරුවන් අපයෝජනයට ලක්වන්නේ පාසලේදීය. ආගමික සිද්ධස්ථානවලදී අපයෝජනයට ලක්වන දරුවෝ ද සිටිති. දරුවන්ට අවශ්‍ය රැකවරණය, ආරක්ෂාව, ආදරය නිසි අයුරින් නොලැබෙන බව පෙනී යන සත්‍යයෙකි. මීට හේතුව කුමක් ද?

ඇතැම් මාපියන් සිය වගකීම් හා යුතුකම් ඉටුකරනු වෙනුවට ඒවා මඟහැර යන බවක් පෙනෙන්නට තිබේ. නිවසේදීම දරුවන් අපයෝජනයට ලක්වන්නේ එම හේතුව නිසා ය. මීට දින දෙකකට ඉහත දී පුවත්පත් වාර්තා මඟින් පෙන්වා දී තිබුණේ එක්තරා මවක් තම ළාබාල දියණියන් දෙදෙනාම සල්ලාලයන්ට විකුණා ඇති බව ය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ ගැටලුව දරුවන් අපහරණයට ලක්වීම යැයි එක්තරා සමාජ ක්‍රියාකාරිනියක දක්වා තිබිණි. පියා අතින්, බාප්පා අතින්, සහෝදරයා අතින් අතවරයට පත්වන දැරියෝ සිටිති. එක අතෙකින් සමාජයේ ශිෂ්ටත්වය කෙළෙසී ඇත. තව අතෙකින් මානුෂික සබඳතා බිඳ වැටී ඇත.

අපේ දරුවන්ගේ ගැටලු පිළිබඳ විවරණයක යෙදෙන විට පරිපූරණය කළ යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇති බව පෙනී යයි. පළමු ක්ෂේත්‍රය වන්නේ දරුවන්ගේ සෞඛ්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමය. දෙවන ක්ෂේත්‍රය වන්නේ දරුවන්ට හිමිවිය යුතු ආදරය සමඟින් අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමය. තුන්වන ක්ෂේත්‍රය වන්නේ සමස්ත දරු පරපුරටම සාමයෙන් හා සහයෝගයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් හා පසුබිමක් නිර්මාණය කිරීම ය. සමහරුන්ගේ මතයට අනුව දකුණු ආසියාවේ මන්දපෝෂණය වැඩිම රට ශ්‍රී ලංකාව ය. තවත් මතයකට අනුව ලෝකයේ දරුවන්ගේ මන්දපෝෂණය අතින් හතරවන ස්ථානය අපේ රටට හිමිවන්නේය.

දරුවන් ලෙස ගණන් ගැනෙන්නේ වයස අවුරුදු 17 ට අඩු පිරිස යැයි පිළිගැනීමක් තිබේ. මේ වයසේ පසුවන අය ශ්‍රමිකයන් ලෙස වැඩෙහි යොදාගැනීම නීතියෙන් තහනම් ය. එහෙත් විවිධ වාර්තාවලින් පෙනී යන්නේ ළමා ශ්‍රමිකයන් විශාල පිරිසක් රට තුළ සිටින බව ය. අපේ රටේ නීතියට අනුව දරුවන් අනිවාර්යයෙන්ම පාසල් යැවිය යුතු ය. එහෙත් කිසිදා පාසලකට නොගිය දරුවෝ පිරිසක්ද රටේ සිටිති. දුප්පත්කම, නූගත්කම, අනවබෝධය හා සමාජයේ ඇතැම් ආකල්පද මීට බලපා ඇති බව පෙනී යයි. මේවා වෙනස් කිරීම සඳහා රජය මැදිහත්වීම ඉතා වැදගත් සාධකයකි.

දරුවන් පිළිබඳ සම්පූර්ණ වගකීම වැඩිහිටි සමාජය හා රජය දැරිය යුතු යැයි කියන්නට පුළුවන. ආර්ථික අතින් දුර්වල රාජ්‍යයන් වුව දරුවන් සම්බන්ධයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද, වෙන ම ආයතන පවත්වාගෙන යන බව ද පෙනෙන්නට ඇති සත්‍යයෙකි අපේ රටේ ද දරුවන් උදෙසා වෙන් වූ ආයතන තිබේ. සංවිධාන තිබේ. සහන වැඩසටහන් ද තිබේ. එහෙත් සමස්ත දරු පරපුර ඒවායින් ආවරණය වන බවක් පෙනෙන්නට නැත. ළමා ශ්‍රමිකයන්, පාසල් නොයන දරුවන්, හිරිහැරයට පත්වන දරුවන් ගැන සිද්ධි නිතර වාර්තාවන්නේ ඒ නිසාය.

අවධානය යොමු කළ යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුර ය. පාසල් දරුවන් ඉතා ශීඝ්‍රයෙන් මතට ගොදුරු වෙමින් සිටින බවට පිළිගත හැකි සාක්ෂි තිබේ. මත්ද්‍රව්‍ය පිළිබඳ ජාවාරම්කරුවෝ පාසල් අසල සිට සිය ජාවාරම මෙහෙයවති. තැරැව්කරුවෝ පාසල්වලද සිටිති. මතට හුරුවන දරුවෝ අපරාධවලට ‍යොමු වෙති. සිය අනාගතය ද විනාශ කර ගනිති. ‘දරුවන් සුරකිමු’ වැඩසටහනෙහි සැලැකිය යුතු කාර්යභාරයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටුකළ යුතුව තිබේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් දරු පරපුර බේරාගත හැකිනම් දරුවන් පිළිබඳ ගැටලුවෙන් සැලැකිය යුතු කොටසක් විස‍ඳෙනු ඇත.

ජනාධිපතිවරයා පෙන්වා දෙන පිළිවෙළටම ගතහොත් දෙවියන් නො ව, මිනිසා ඉදිරිපත් වී දරුවන් රැකගත යුතු ය. එය අප කවුරුත් පිළිගත යුතු සත්‍යයෙකි.

නව අදහස දක්වන්න