වේග පන්දුවෙන් රටක් දිනූ යොවුන් තරුව නිපුන් රංසික | දිනමිණ

වේග පන්දුවෙන් රටක් දිනූ යොවුන් තරුව නිපුන් රංසික

ෆවුස් මොහොමඩ්

සන්ඩේ ඔබ්සර්වර් මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල

පාසල් ක්‍රිකට් තරග බිමේ විශිෂ්ටතම සම්මාන උළෙල ලෙස දශක හතරක කාලයක් පුරා ජාතික තලයේ ක්‍රීඩකයන් බිහිකිරිමට උරදුන් ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන ඉතිහාසයේ අලුත්ම තරුව කරළිය ආලෝකමත් කිරීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි.

සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් එක්ව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් තරු බවට පත්කරන මේ සුන්දර පාසල් සම්මාන රාත්‍රියේ දී ජාතික ක්‍රිකට් අඹරේ දිදුලන යොවුන් තරුව බවට පත්වන වාසනාවන්තයා තවත් දින කිහිපයකින් මේ කිර්තිමත් සම්මානය සියතට ගනු ඇත. එය මෙරට සෑම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයකුගේම ජිවිතයට කදිම පන්නරයක් ලබාදෙන ස්වර්ණමය මතක සටහනකි.

එවැනි සුන්දර සැමරුමකින් සිය ක්‍රිකට් ජිවිතය දීප්තිමත් කරගත් අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විදුහලේ නිපුන් රංසික මේ සම්මානයට හිමිකම් කීවේ පසුගිය වසරේදීය. හෙතෙම එම විදුහලෙන් බිහිවූ මුල්ම සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ද විය.

තවමත් 19 වැනි වියෙහි පසුවන දකුණතින් වේගපන්දු යවන නිපුන් රංසික මේ ගෞරවයට පාත්‍රවූයේ ජාත්‍යන්තර තරගබිමේ විශිෂ්ට වේගපන්දු යවන්නකු බවට පත්වීමේ පෙරනිමිති පහළ කරමින් ශ්‍රී ලංකාවට යොවුන් ක්‍රිකට් ශූරතාවක් දිනාගැනීමට පෙරළිකාර දායකත්වයක් ලබාදීමෙන් පසුවය.

පසුගිය වසරේ ජනවාරියේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකානු පිලේ සහභාගීත්වයෙන් දකුණු අප්‍රිකාවේ පැවති අවුරුදු 19න් පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ලකුණු 19කට කඩුලු 5ක් දවාලමින් තුන්කොන් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට හිමිකර දුන් නිපුන් රංසික තරගාවලියේ වීරයා සහ අවසන් තරගයේ වීරයා බවට පත්විය.

ජාතික කණ්ඩායමේ අනාගත වේගපන්දු තරුව බවට පත්වීමේ පෙරනිමිති පහළ කරමින් සිටින නිපුන්ට ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය අපූරු උත්තේජනයක් වනු ඇත. පැයට සැතපුම් 140ක වේගයෙන් පන්දු යැවීමේ හැකියාව ඇති ඔහුගේ විශිෂ්ට ක්‍රීඩා දස්කම් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය දිග්විජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත.

නව අදහස දක්වන්න