මහජනතාවට එපාම වුණු පරිසරවේදීන් ඕනෑ කියන කලවානේ අලි | දිනමිණ

මහජනතාවට එපාම වුණු පරිසරවේදීන් ඕනෑ කියන කලවානේ අලි

එක් පැත්තකින් කලවාන මැතිවරණ කොට්ඨාසයටත් අනෙක් පැත්තෙන් රක්වාන මැතිවරණ කොට්ඨාසය මායිමටත් ආසන්නයේ පිහිටි සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සැරිසරන වන අලියන්ගෙන් අවට ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් එල්ල වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. පොතුපිටිය රක්වාන යාකරන ප්‍රධාන මහා මාර්ගය ආසන්නයේ පිහිටි ගම්මානවල වාසය කරන ජනතාව වන අලීන්ගේ හැසිරීමෙන් බලවත් සේ පීඩාවට පත්ව සිටිති. කජු ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි වී සිටි අට දරු පියෙක්වූ පී. ඒ. පොඩිමහත්‍තයා මහතා ඔහුගේ නිවෙස අසලදීම මධ්‍යම රාත්‍රියේ ඝාතනයකර තවමත් මසක් ඉක්ම ගොස් නැත. ඒ වන අලින් විසින් ගනු ලැබූ 14 වන මිනිස් බිල්ලයි. එම නිවෙස පොතුපිටිය රක්වාන ප්‍රධාන මාර්ගයට මුහුණ ලා ඉදිකොට ඇත. එයට පෙර දිනයකදී උපකාරක පන්ති ගොස් ආපසු එන දියණියක් බැලීමට ගිය මවක්ද වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත.

අලින්ගෙන් තම වගා ද නිරන්තරයෙන් විනාශ වන බව ගම්මු පවසති. සයිප්‍රස් වත්ත , දොලේකන්ද, රජවත්ත, මාහික්කවත්ත, කෝපිකෑල්ල, වැනි ගම්මානවල ජනතාව සෘජුවම මේ ගැටලුවට ලක්ව සිටිති. ජනතාවට බලපාන මේ ගැටලුව නිසා පීඩාවට පත් ජනතාව ඉන් ගළවා ගැනීමට විවිධ යෝජනා විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ අතර පසුගිය සතිය වන විට වනජීවී අමාත්‍යංශය සූදානම් වූයේ අලීන් දෙදෙනා අල්ලා වෙනත් ප්‍රදේශයකට ගොස් දැමීමටයි. එහෙත් පරිසරය සංවිධානවලින් එල්ල වූ බලවත් විරෝධය මත එය වහාම නතර කරන ලෙස ජනාධිපති තුමා නියෝග කර ඇත. වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන්නේ තමා උත්සාහය අතහැර නැති බවයි. වන අලි ගැටලුව නිසා මහත් පීඩාවට පත් ප්‍රදේශවාසීන්ගෙන් කිහිප දෙනෙක් අප හා මෙසේ අදහස් දැක්වීය.

වී. ලොකු මැණිකේ මිය -

“මගේ ස්වාමි පුරුෂයා තමයි පසුගිය දවසක ගේ දොරකඩදී මහ රෑ අලියා ගහලා මැරුවේ. අවුරුදු අසූ හතරක් වෙනවා. අලින්ගෙන් අපිට හරි කරදරයි. දැං හවස් වෙන කොට එළියට බහින්නත් බයයි. ඒත් මේ කරදරය ඉවරයක් වෙන්න හොඳ විසදුමක් ඕන මහත්තයෝ.

කලවාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එම්. ගුණරත්න මහතා -

“ඇත්තටම මේක විශාල ප්‍රශ්නයක්. එහෙත් තවමත් සාර්ථක විසදුමක් නැහැ. සම්බන්ධීකරණ කමිටුවෙදිත් දින ගණනාවක් කතා කරලා තියෙනවා. ජනතාවට ඉක්මන් විසදුමක් අවශ්‍යයි. නැත්නම් අලීන්ට කරදරයක් කරන්නත් මිනිසුන් පෙළඹෙන්න පුළුවන්.

කලවාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමාරගේ ප්‍රමිල් පුෂ්ප මහතා -

ඇත්තම කියනව නම් මේක ලොකු ප්‍රශ්නයක්. අලි දෙන්නා සිංහරාජෙන් එළියට ඇවිත් වලන්කන්ද හා බෙරගල වනාන්තරවලට එනවා.එතකොට ජනතාවට ආරක්ෂාව මදි. එහෙම කියලා අලි දෙන්නා උන්ගේ පදිංචි ප්‍රදේශයෙන් පිට කරන එක සුදුසු නැහැ. මේ ප්‍රදේශයේ තියනවා ඉලුඹ කන්ද හා වලන්කන්ද කියලා විශාල රක්ෂිත වනාන්තර දෙකක්. අලි දෙන්නා ඒ වනාන්තර දෙක ට කොටු කරලා ආරක්ෂිත විදුලි වැටක් දාලා කොලර් එකක් පලඳවලා තිබුණොත් අලි කිට්ටුවට එන කොට දැන ගන්න පුළුවන්. අලින් වගේම ජනතාවත් රැක ගත යුතුයි.

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ද කොටස් දෙකකට බෙදී ඇති සෙයක් අපට අවබෝධ විය. එහෙයින් මේ සම්බන්ධයෙන් තමා මාධ්‍යයට අදහස් දැක්වීමට අකමැති බව රඹුක ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍ය අඹේවෙල පියරතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේය.

සේන වේරගම
කලවාන සමූහ

නව අදහස දක්වන්න