ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීම ගැන කනගාටුයි | දිනමිණ

ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීම ගැන කනගාටුයි

උපාලි කරුණාරත්න

නීතියට බලපෑම් කරන්න ආණ්ඩුවට බෑ
- සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර කියයි

නීතියේ දෙවඟන තීන්දු දෙන්නේ පුද්ගලයා මත නොවෙයි
- පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ සිදුවීම පිළිබඳව ඉතාම කනගාටුවට පත්වන බවත් එහෙත් නීතියට බලපෑම් කිරීමට ආණ්ඩුවට නොහැකි බවත් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (19) සිරිකොත මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවද මේ අවස්ථාවට සහභාගි වෙමින් පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. මේ නිසා වංචා දූෂණයන්ට සම්බන්ධවූවන් කරන වීර පුරන් අප්පු රඟපෑම ඉදිරියේදී නවතින බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

2004-2013 වර්ෂ තුළ මාධ්‍යවේදීන් 44ක් ඝාතනය වී තිබෙනවා. අතුරුදන් වීම් එකයි. පැහැරගෙන යාම් 15යි. අත්අඩංගුවට ගැනීම් විස්සයි. පහරදීම් 43යි. තර්ජනය කිරීම් දෙකයි, මාධ්‍ය ආයතන නවයකට පහරදී තිබෙනවා. සුදුවෑන් සංස්කෘතියක් එදා පැවැතියා. වත්මන් ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ තනිවම නොවේ. විපක්ෂය ඔවුනුගේ වංචා දූෂණ වසා ගැනීමට බැඳුම්කර සිද්ධිය පිරුවටයක් කරගෙන ඇති බවද අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය. මිනී මැරුම් වැඩියි, පාතාලයේ හිස එසවිම වැඩියි කියා මතයක් මේ දිනවල රාජපක්ෂ මහත්තයාගේ කල්ලිය ප්‍රචාරය කරමින් තිබෙනවා. මෙය අසත්‍යයක්. සංඛ්‍යා ලේඛන බැලීමේදී ඒ බව පෙනී යනවා. වත්මන් ආණ්ඩුව අපරාධ මැඩලීමට විශාල වැඩපිළිවෙළක් ගෙන යනවා. මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් මේ වන විට වැඩි වී තිබෙනවා. අපට පහර දෙන අය මේ පිළිබඳව අවංකව සොයා බලන්න කියා අප ප්‍රකාශ කරනවා. කිරිවෙහෙර සිද්ධිය පලිගැනීමක් බව අද ඔප්පු වෙලා තිබෙනවා. රාජපක්ෂ පාලන සමයේ සිදුවූ කෝට්ටේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ දෙනමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වැලිකඩ ඝාතන සිද්ධියේදී ඝාතනය වුණා. මේකද රාජපක්ෂ පාලනය ස්වාමින් වහන්සේට එදා දුන් ආරක්ෂාව. මේ සිද්ධිය මොකක්ද කියා කවුරුත් දන්නවා. ඒ කාලයේ දුටුගැමුණු රජුගේ කඩුව සොයමින් සිටි බව කවුරුත් දන්නා දෙයක්. කෞතුකාගාරය කොල්ල කාපු අය ජාතික උරුමය පිළිබඳව අද කතා කරනවා. යාපනයේ පසුගිය දින ඇතිවූ සිද්ධියෙන් පසුව අදාළ ප්‍රදේශයේ සාමය ඇතිකර තිබෙනවා. ගලගොඩඅත්තේ හිමියන් පිළිබඳව තීරණය සම්බන්ධයෙන් බෞද්ධයන් ලෙස අප ඉතාම කනගාටු වෙනවා. නීතියට බලපෑම් කරන්න අපට නොහැකියි. නීතියේ දෙවඟන තීන්දු දෙන්නේ පුද්ගලයා මත නොවෙයි. කරුණු කාරණා මතයි. උසාවි තීන්දුවට අපට බලපෑම් කරන්න බැහැ. බොදුබල සේනා ස්වාමින් වහන්සේ කෙනෙක් මේ තීන්දුව පිළිබඳව විවේචනය කරනවා. ඒ ස්වාමීන් වහන්සේයි උසාවියට අපහාස කිරීම යටතේ රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පවරා තිබෙන්නේ.

16 කණ්ඩායම පිළිබඳව මේ දිනවල සෑමදෙනාම කතා කරනවා. අපට නියෝජ්‍ය ඇමැතිකම් ලබා දුන්නේ ඇතිවූ පුරප්පාඩු සඳහායි. 16 කණ්ඩායමේ බහුතරය එදා ක්‍රියා කළේ දෙබිඩි පිළිවෙතක. අපි අවංකව රටට සහයෝගය ලබා දෙනවා. අවංක එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ අපි. 16 දෙනාව බාරගන්න කිසිවෙකු නැහැ. බැසිල් එපා කියනවා. ගම්මන්පිල අවශ්‍යයි කියනවා. මහින්ද රාජපක්ෂ මහතා තවත් එකක් කියනවා. එයින් හොඳ අයව භාර ගන්න අප කැමැතියි.

පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා-

ජනතා සහභාගිත්ව පාලනයක් යහපාලනය තුළින් ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ ජනතාවට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. පසුගිය පාලන කාලයේ ජනතාවට මෙවන් නිදහසක් තිබුණේ නැහැ. පසුගිය පාලනයේදී විවේචනය කරන්නන්ට වෙඩි තැබීම් සහ පැහැරගෙන යාම් සිදුකළා.

වත්මන් රජය තොරතුරු දැන ගැනීමේ පනත වැනි පනත් මගින් ජනතාව බලවත් කර තිබෙනවා. අධිකරණය තුළ ස්වාධීනත්වය අප ඇති කර තිබෙනවා. වරදක් කළ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ටත් එකම නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙනවා. චෝදනා එල්ල වූ රවි කරුණානායක වැනි වත්මන් රජයේ ඇමැතිවරුන් අදාළ පරීක්ෂණ කර ගෙන යාමට ඉල්ලා අස්වුණා. මෙවැනි දේ තුළින් රජය නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ඕනෑම පුද්ගලයෙකුට පෙනී යනවා.

නීතිය කලට වේලාවට ක්‍රියාත්මක නොවීම යහපාලනය ක්‍රියාත්මක කිරීමේදී විශාල බාධාවක් වී තිබෙනවා.

මේ නිසා යුක්තිය පසිඳලීමට බාධා ඇති වෙනවා. යමෙකු දූෂණයක් වංචාවක් කළා නම් ඉතා ඉක්මනින් අදාළ පුද්ගලයාට දඩුවම් ලබාදීමේ ක්‍රම වේදයක් තිබිය යුතුයි. මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට එෆ්. සී. අයි. ඩී එකෙන් සියයකට වැඩිය මහා පරිමාණ දූෂණ වංචා යොමු කර තිබෙනවා. නමුත් දාසයකට ආසන්න ප්‍රමාණයකටයි නඩු පවරා තිබෙන්නෙ. මේ තත්ත්වය ගැටලුවක්. සමහර නඩු නිමා වී යුක්තිය ඉෂ්ඨ වීමට යන කාලය අවුරුදු දාහත හමාරයි. නීතිය අද මකුලු දැලක් බවට පත්වෙලා. ඒ නිසා බලවත් පුද්ගලයෝ නීතිය කඩාගෙන යනවා. පැවැති පාලනය නීතිය අතට ගෙන ක්‍රියා කළ නිසා මේ තත්ත්වය ගැටලුවක් වුණේ නැහැ. එදා පාලකයෝ රටේ නීති පද්ධතිය තමන්ගේ අතට ගෙන ක්‍රියා කළා. ඔවුන් දුරකතන ඇමැතුමකින් නීතියට බලපෑම් කළා. අදාළ පාලකයා දුන් තීන්දුවට විනිසුරුවරයෙකු එකඟ නොවනේ නම් විවිධ බලපෑම් සිදුවුණා. මේ තත්ත්වය වෙනස් කරමින් නීතිමය ක්‍රියාදාම පද්ධතිය කඩිනම් කිරීමට අපට කටයුතු කිරීමට සිදුවුණා.

පසුගිය පාලනයේදී ධනය තිබූ මිනිසුන් ධන බලය උපයෝගී කර ගනිමින් නීතියෙන් රිංගා ගියා. නිල බලය තිබෙන , දේශපාලන බලය තිබෙන, චීවරය හෝ විවිධ ආගමික ඇඳුම් ඇදගත් පුද්ගලයන්ද තම බලය උපයෝගී කර ගනිමින් නීතියෙන් රිංගුවා. නීතියට පුද්ගලයා කවුරුන්ද යන්න වැඩක් නැහැ. වර්තමානයේ නීතිය ක්‍රියාත්මක වන විට ඇතැමුන්ට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. යහපාලනය තුළ කාටත් සලකන්නේ එක ආකාරකට. කාටත් එකම නීතිය තිබෙන්නේ. 2015 ජනවාරි 08 වැනි දින ජනතාව අපට බලය දුන්නේ මේ තත්ත්වය ඇති කිරීමටයි. හැබැයි පැවැති තත්ත්වය වෙනස් කිරීමත් ලෙහෙසි කාර්යයක් නොවේ. නීතියට තෝරු මෝරු කොටු කර ගැනීම ලෙහෙසි නැහැ. සිංහ හම පොරවා ගත් කොටලුවො සිංහයො ලෙසයි සිතාගෙන සිටින්නේ. 2016 සංඛ්‍යා ලේඛන බැලුවොත් උපරිමාධිකරණයේ නඩු සියයට තිස් පහයි විසඳිලා තිබෙන්නේ. සියයට හැට පහක් ඊළඟ වර්ෂයට එක් වෙලා. අභියාචනාධිකරණයේ විසඳිලා තිබෙන්නේ සියයට දහ නවයයි. මහාධිකරණය ගත්තොත් සියයට තිස් හයයි විසඳිලා තිබෙන්නේ. සිවිල් අභියාචනාධිකරණය ගත්තොත් සියයට තිස් හතරයි නඩු අහල තිබෙන්නේ. ඉතිරි ඒවා ඊළඟ අවුරුද්දට එක් වෙනවා. දිස්ත්‍රික් අධිකරණය ගත්තොත් 2015දී එක් ලක්ෂ හැට එක් දහස් අටසිය අසූ දෙකක් නඩු පැවැතියා. අතීතයේ සිටම මේ තත්ත්වය පැවැතුණා. මෙය අපටද ගැටලුවක් වුණා. ළමා අපචාර දිහා බැලූ විට 2016 අවුරුද්දේ විවෘත කළ ගොනු සංඛ්‍යාව 3651යි. වැඩ අවසන් කළ ගොනු සංඛ්‍යාව 2700යි. අවුරුද්දෙන් අවුරුද්ද නඩු තල්ලු වෙමින් යනවා. මේ තත්ත්වය දූෂණය, වංචාව රජ කරවීමටද බලපානවා. 2012-2014 දී ස්ත්‍රී දූෂණ හා විවිධ අපරාධ සම්බන්ධයෙන් පළාත් පාලන, පළාත් සභා මන්ත්‍රීවරුන්ට තිස් හතක් චෝදනා තිබෙනවා. මොවුන් දේශපාලන බලවතුන්. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කියූ බවට එදා පුවත්පතක පළ වී තිබුණා.

හෙල්පින් හම්බන්තොට නමින් පවත්වාගෙන ගිය ගිණුමෙන් සුනාමි ආධාර වංචා කිරීම සම්බන්ධයෙන් 2005දී පැවරුණ නඩුවේදී එවකට අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිදහස් කිරීම පිළිබඳව තමා ජාතියෙන් සමාව ගන්නා බව. එදා නීතියේ පැවැති තත්ත්වය මෙයයි. බැසිල් රාජපක්ෂ මහතාට, ජොන්ටන් ප්‍රනාන්දු මහතාට, ප්‍රසන්න රණතුංග මහතාගේ බිරියට , නාමල් රාජපක්ෂ මහතාට, නඩු පවරා තිබෙනවා. යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. වංචා කළ ඇතැමුන් වෙනත් රටවලටද පළා ගොස් තිබෙනවා. මොවුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රටවල් විසි පහකින් අප සහාය ඉල්ලා තිබෙනවා. අපරාධ නැති කිරීමට පනත් ගෙනවිත් තිබෙනවා. ජනතාවට සධාරණය ඉෂ්ඨ කිරීමටයි අප කටයුතු කරන්නේ. නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අප වාර්තාවක් ඉදිරිපත් කළා. වංචා දූෂණවලට වෙනම උසාවියක් පිහිටුවා ක්ෂණිකව නඩු ඇසිය යුතු බවට අපේ කමිටුව නිර්දේශ ලබා දුන්නා. ජූලි 15 පමණ වන විට මේ අධිකරණය පිහිටුවන්න සැලසුම් කරගෙන යනවා. මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව අප තවත් වැඩි කළ යුතුයි. ළමා අපචාරයකට නඩු පැවරූ විට ළමයා ආච්චි කෙනෙක් වීමෙන් පසු තීන්දු ඇවිත් වැඩක් නැහැ. අලුත් මහාධිකරණ පිහිටුවීමට කටයුතු කරනවා. ළමා අපචාර සඳහා නඩු අහන බත්තරමුල්ලේ අධිකරණයක් පිහිටුවීමට කටයුතු කරගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කරන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කරමින් තිබෙනවා. රාජපක්ෂ මහත්තයාගේ කාලයේ සිදුවුණේ රට ණය කිරීමයි. සිංහරාජයේ අලි දෙදෙනා පිළිබඳ ගැටලු රජය විසඳමින් සිටිනවා. අලි කොලර් පළඳවා ජී.එස්.පී තාක්ෂණය මෙහිදී ප්‍රයෝජනයට ගන්නවා. මේ තත්ත්වය යටතේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට යහපාලනය ඇති කරන්න විශාල ප්‍රයත්නයක් දරන්න සිදුවී තිබෙනවා.

ඡායාරූප- වාසිත පටබැදිගේ

නව අදහස දක්වන්න