ඇවන්ගාඩ් සමාගමේ කිසිම පුද්ගලයකුට දුරකතන ඇමතුමක් ගත්තේ නැහැ | දිනමිණ

ඇවන්ගාඩ් සමාගමේ කිසිම පුද්ගලයකුට දුරකතන ඇමතුමක් ගත්තේ නැහැ

2015 ජනවාරි 08 සිට මේ දක්වා කාලය තුළ ඇවන්ගාඩ් සමාගමේ කිසිදු කෙනකුට තමාට අයත් කිසියම් දුරකථනයකින් හෝ තමාගේ කාර්ය මණ්ඩලයට අයත් දුරකථනයකින් ඇමතුමක් ගත්තේ යැයි ඔප්පු කරන ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අභියෝග කළේය.

පහුගිය ආණ්ඩුවේ සිටි අය පිරිසුදු දේශපාලනඥයන්ට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී පෙරේදා (18) නාගරික සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරනු ලබූ මහජන ජංගම සේවාව කොළඹ දිස්ත්‍රික්කයේ ගොඩනැඟිලි ඉදිකිරීම්,ඉඩම් අනු බෙදීම් හා ඉඩම් සම්බන්ධ ගැටලුවලට විසඳුම් ලබා දීමේ අවස්ථාවට සහභාගී වීමෙන් පසුව එහි සංවිධානය කර තිබූ මාධ්‍ය සකච්ඡාවකට සහභාගී වෙමිනි.

මේ අවස්ථාවට විද්‍යා,තාක්ෂණ,පර්යේෂණ හා නිපුණතා සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ද සහභාගී විය.

එහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද පැවසී ය.

ඇවන්ගාඩ් ආයතනයේ ප්‍රකාශකයා ෆේස්බුක් අඩවියේ අපට එරෙහිව ඉතාම නින්දිත මඩ ප‍්‍රහාරයක් දියත් කර තිබෙනවා. එකක් තමයි ඔහු මෙයට ප‍්‍රථම 2015 දී ප‍්‍රකාශ කළා දුරකතන ඇමතුම් දීලා මමත්, අර්ජුන රණතුංග ඇමතිතුමත්, ඒ වගේම රාජිත සේනාරත්න ඇමතිතුමත් ඔහුගෙන් මුදල් ඉල්ලූවයි කියලා. ඒ අනුව අපි තුන්දෙනා එකතු වෙලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට 2015.11.23 ලිපියක් ඇරියා. එවැනි දුරකතන ඇමතුම් දුන්නද? ඒ ඇමතුම් මොනවාද කියලා. ඇත්තටම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් කළේ මේක අපරාධයක් නෙමෙයි සිවිල් කාරණයක් කියලා යට ගැසීමයි. කෙසේ නමුත් අපි බොහොම පැහැදිලිව කියනවා ඕන කෙනෙකුට කට හඬවල් ඒ විදිහට පරිගණකයේ නිර්මාණය කළ හැකියි. ඒ වගේ සිදුවීම් පසුගිය කාලයේ ලෝකයේ සෑම තැනකම වගේ වාර්තා උනා. නමුත් අපි ඇවන්ගාඩ් එකේ ප්‍රකාශකයාට කියනවා පුළුවන් නම් 2015 ජනවාරි 08 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මට අයත් දුරකතනයකින් හෝ මගේ කාර්ය මණ්ඩලයට අයත් කිසියම් දුරකතනයකින් ඔහුගේ දුරකතනයකට ආවාය කියන මේ දිනය, දුරකතන අංකය පුළුවන් නම් හෙළි කරන්න කියලා.

කවුද මේ ඇවන්ගාඞ්. අපි යුද්ධය ජයග‍්‍රහණය කළාට පසුව අපේ ආරක්‍ෂක හමුදාවට විශාල කීර්තියක් ආවා ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන. ඒ අවස්ථාවේදී ප‍්‍රශ්නයක් පැන නැගුනා සෝමාලියානු මුහුදේ කොල්ලකරුවන් විසින් නැව් කොල්ල කෑම ගැන. ඒ නිසා මුහුදු ආරක්‍ෂකයන්ගේ සේවය ලබාගැනීම සඳහා යම් යම් රටවල් ඉදිරිපත් වුණා. නාවික හමුදාව රජයට අයිති රක්නා ලංකා ආයතනය සමඟ එකතු වෙලා මේ ව්‍යාපාරයට ඇතුළු වුණා. ඇතුළු වී අපේ නාවික හමුදාව අවි ආයුධ ගබඩාවක් ගාල්ලේ පවත්වාගෙන ගියා. ඒ වගේම මුහුදු ආරක්‍ෂකයන්ට විවිධ රටවලින් පැමිණෙන, ලංකාව ඇතුළෙන්, විවිධ සමාගම් හරහා පැමිණෙන මුහුදු ආරක්‍ෂකයන්ට ඒ අවි ලබාදීලා අදාළ නැව්වලට ආරක්‍ෂාව සැපයීම තමයි සිදු වූ කාර්ය භාරය. එතකොට අනුක‍්‍රමයෙන් මේක මහා බලගතු ව්‍යාපාරයක්ය, ධනය උපයන ධන උල්පතක්ය කියලා එවකට හිටපු බලධාරීන්ට පෙනී ගියා. ඉන්පසු රක්නා ලංකා එකයි නාවික හමුදාවයි කළ ව්‍යාපාරය මේ දූෂිත ඇවන්ගාඞ් කල්ලියට පවරා දුන්නා. එදා ඉඳන් මේ ව්‍යාපාරය ප‍්‍රකෝටි ගණන් ධනය උත්පාදනය කරමින් ඇවන්ගාඞ් ව්‍යාපාරය කරගෙන ගියා.

2015 ජනවාරි 8 වෙනිදා ඇතිවූ ජනාධිපතිවරණයෙන් පසු යහපාලන ආණ්ඩුව ආවට පස්සේ මේ ළඟ තිබෙන බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව වටකරලා ඒකෙ තිබූ ස්වයංක‍්‍රීය අවි ගබඩාවක් අල්ල ගත්තා. ඊ ළඟට ගාලූ වරායේ නවතා තිබූ කසිකබල් නැවක් වූ මහනුවර නමැති නැවට ඇතුළු වෙලා එතන තිබූ අවි ගබඩාව අල්ලා ගත්තා. මේ රටේ තිබෙන ගිනි අවි ආඥා පනත යටතේ මේ කිසිම තැනක බලපත‍්‍රයකින් තොරව වෙඩි උණ්ඩයක් ගිනි අවියක් රඳවාගෙන තිබුණා නම් අනිවාර්යයෙන්ම ඔහුව රිමාන්ඞ් බන්ධනාගාරගත කරනවා කිසිම ආකාරයක විමසීමකින් තොරව. එය තමයි රටේ නීතිය. නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිස්ටර් ජෙනරල් වසන්ත බණ්ඩාර මහත්මයා බොහොම පැහැදිලිව මේ පිළිබඳව දැනුම් දුන්නා තමන්ගේ නිර්දේශය. ගිනි අවි ආඥා පනත යටතේ නිසි බලපත‍්‍ර නැතිව තියෙන මේ නිසා මේ පිරිස් අත්අඩංගුවට ගන්න නියෝගයක් නිර්දේශයක් දුන්නා. ඕනම කෙනෙකුට ඇවන්ගාඩ් වසන්ත බණ්ඩාර කියල වෙබ් අඩවිවල ගහල බලන්න ඒ නිර්දේශය තිබෙනවා. මොකද වුණේ මේ දූෂිත කූට ව්‍යාපාරිකයා තමන් සොයා ගත් ප‍්‍රකෝටි සහගත ධනයෙන් ආණ්ඩුවේ නිලධාරීන්, ආණ්ඩුවේ දේශපාලකයන්, ඇමතිවරුන් තිදෙනෙක්, මම නම් කියන්නේ නැහැ. ඒ වගේම තවත් පිරිස් තමන්ගේ අතට ගෙන මේ වසන්ත බණ්ඩාරගේ නිර්දේශය යට ගැහුවා. අපරාධ නඩුවක් වුණේ නැහැ කිව්වා. මොකද මේ විදියට මේ ප‍්‍රශ්නය යට ගහ ගන්න ඔහුට හැකිවුණා.

නමුත් අපේ හිටපු නාවික හමුදාපතිවරයා, ඇතැම් නාවික හමුදාපතිවරුත් මොහු යටතේ වැඩ කරනවා. නාවික හමුදාවේ ගරුත්වය පිරිහුණා එමගින්. නමුත් අපේ හිටපු නාවික හමුදාපතිවරයා දැන් අපේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා ඉන්නේ ත‍්‍රිවිධ හමුදාවටම අපේ රවීන්ද්‍ර ගුණරත්න සහ ධර්මේන්ද්‍ර වෑත්තෑව කියන මේ නිලධාරීන් දෙදෙනා එකතු වෙලා මොහුට අයත්ව තිබූ තවත් වංචනික ගිනි අවි නැවක් 2015 ඔක්තොම්බර් මාසෙදි අල්ල ගත්තා ගාල්ල මුහුදෙදි. ඊට පසුව මේ සිද්ධිය නැවත මතු වුණා මේ අවි කාගෙද කියන ගැටලුළුව. මේ අවි කොහෙන්ද ගෙනාවේ කියන ගැටලුව ආවා. එම අවස්ථාවේදී මමත්, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග වගේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා අපි තදින් හිටියා. ආණ්ඩුවට තදින් කරුණු කියලා එවකට හිටපු පොලිස්පතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම ඉදිරියේ මේ පිළිබඳව දැඩිව කරුණු ඉදිරිපත් කරලා ජනාධිපතිතුමා අවසානයේ එම ව්‍යාපාරය බාරදුන්නා ශ‍්‍රී ලංකා නාවික හමුදාවට 2015. 2016,2017 සහ 2018 මේ පසුගිය වසර 3 ට දශලක්‍ෂ පන්දහස් හයසීයයක් රටට හම්බකර තිබෙනවා. මෙය දූෂිත විදිහට ගෝඨාභයයි ඇවන්ගාඞ් කල්ලියයි කරගෙන ගියා නම් මෙය කා අතටද යන්නේ ඒ අයගේ පුද්ගලික ගිණුම්වලට. මෙය රටට අරන් දුන්නේ අපි. මෙන්න මේ කෝපය වහගන්න තමයි අපට මේ චෝදනා නගන්නේ.

මේ සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසමේ නඩුවක් පවරා තිබෙනවා. නමුත් අර ඉහළ අධිකරණ අල්ලාගෙන නඩු කල් දැමීමේ ක‍්‍රමවේදය රටේ තිබෙනවා. බලය තිබෙන, ධනය තිබෙන අයට නීතිය කි‍්‍රයාත්මක නොවන කරුමයක් මේ රටේ කි‍්‍රයාත්මක වෙනවා. ඒ නිසා තවමත් මේ නඩු විභාගය කළේ නැහැ. නමුත් පැහැදිලිව අල්ලස් නඩුව පවරලා තිබෙනවා ගෝඨාභයටයි, ඇවන්ගාඩ් ප්‍රකාශකයටයි. මේක මේ රටේ ජනතාව ලබපු ජයග‍්‍රහණයක්. කවදා හරි යුක්තිය ඉටු වෙනකන් අපි සටන් කරනවා. රටේ නාවික හමුදාවට ලැබෙන්න තිබුණු, රක්නා ලංකා කියන රාජ්‍ය ආයතනයට ලැබෙන්න තිබූ මුදලක් තමයි රජය සතු මොවුන් මේ කොල්ලකාගෙන තමන්ගේ පෞද්ගලික ධනය බවට පත්කරගෙන මේ අරමුදල් පාවිච්චි කරේ.

ඒ නිසා නාවික හමුදාවට ලැබෙන්න තිබූ අරමුදල්වලින් පසුගිය ජනාධිපතිවරණයේදී, පසුගිය මහ මැතිවරණයේදී ඇවන්ගාඩ්වලින් මුදල් ලබාගත්ත අය වහාම හෙළි කළ යුතුයි. ඒක ඇලෝසියස් කළා වගේම ජාතික අපරාධයක්. මොකද මේ කෙටි කාලයේදී අපි බිලියන 5.6 ක් හෙව්වනම්, දැන් සෑහෙන දුරට සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවෝ මර්දනය වෙලා තිබෙනවා. ඒ සිදුවිම් සිදුවෙන්නේ නැහැ. නමුත් ඒ කාලයේ ඒක ප‍්‍රධාන ව්‍යාපාරයක්. රටට අඩුම ගණනේ බිලියන 5 -6 ක් නැති වුණා මේ ගෝඨාභයගෙත් ඇවන්ගාඩ් කුක්කගෙත් දූෂිත ගනුදෙනුව නිසා.

ලංකා විදුලි බල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, තෙල් සංස්ථාව මේ හැම තැනක්ම මූල්‍යමය වශයෙන් ශක්තිමත් කළේ අපි. පුළුවන්නම් අපි රාජපක්ෂවරුන්ට අභියෝග කරනවා තමන් ලාබ උපයන්න හදපු එක ආයතනයක් පෙන්වන්න කියලා. නොයෙක් අය දාලා අභියෝග කරනවා අරවා කරනවා මේවා කරනවා කියලා. එක රාජ්‍ය ආයතනයක්වත් හැදුවේ නැහැ. සේරම ආයතන කාබාසිනියා කළා . මෙය හොඳ අවස්ථාවක් වනවා ඇවන්ගාඩ් වංචාව රට ඉදිරියට ගෙන ඒමට, ඒ හරහා නාවික හමුදාවටත් රටටත් සිදු වූ අප කීර්තියත්, මූල්‍ය පාඩුවත් අය කරගැනීමට කටයුතු කළ යුතුයි. තවදුරටත් මේ ආකාරයට මොහුට නිදැල්ලේ සිටිමින් සල්ලි වීසි කර නොයෙක් ආකාරයේ අධිකරණ නියෝග ගෙන කටයුතු කිරීමට ඉඩ දිය යුතු නැහැ. එහෙම නොවුණ හොත් මෙරට ජනතාව නීතිය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳ වැටී බරපතළ අනතුරුදායක තත්වයකට රට ගමන් කරන්න පුළුවන්. අපේ ඊළඟ ජනාධිපතිවරණයේදී තේමාව වන්නේ යුක්ති සහගත රටක්, නීතිය ශක්තිමත්ව, කඩිනමින් නීතිය කි‍්‍රයාත්මක වන රටක් ඇති කර ගැනීම සඳහා අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ බලගතු ප‍්‍රතිසංස්කරණයක් ගෙන ඒමත්, පවුල්වාදය, පවුල්වලට ගැති ජාවාරම්කාර ව්‍යපාරික පන්තියට නෙමෙයි වෘත්තීයවේදී සැබෑ වියතුන්ට රට ඉදිරියට ගෙන යෑමට රටක් හදා ගැනීමට අප කැපවනවා.

චන්දිමා කරුණාරත්න

 

නව අදහස දක්වන්න