පෙරහර කිරීමට අලි-ඇතුන් 80ක් පමණ ඕනෑ | දිනමිණ

පෙරහර කිරීමට අලි-ඇතුන් 80ක් පමණ ඕනෑ

මානෙල් පුෂ්ප කුමාරි
තරුණ ලේඛක තාරක උමයංග දිල්ෂාන් මහතා විසින් රචිත “හස්ති රාජ වංශය“ පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම තිරසර සංවර්ධන ,වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. එහිදී ඇමැතිවරයාට එම කෘතිය පිළිගැන්වූ අවස්ථාව. ඡයාරූපය - රොෂාන් පිටිපන

ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි -ඇතුන් සම්බන්ධයෙන් ඇත්තේ සුවිශේෂී සබැඳියාවක් බවත් අප රට පිළිබඳව ලෝකයට පණිවිඩයක් ලබා දී ඇත්තේ හීලෑ අලි -ඇතුන් සහ වනාන්තරවල ජීවත් වන අලි - ඇතුන් පිළිබඳව බවත් පානදුර දළදාවත්ත පුරාණ රජමහා විහාරාධිපති තල්පිටියේ චන්ද්‍රරතන නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ පෙරේදා (18) කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී තරුණ ලේඛක තාරක උමයංග දිල්ෂාන් මහතා විසින් රචිත “හස්ති රාජ වංශය“ පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සව අවස්ථාවේදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියෝ මේ බව ද කියා සිටියහ.

භද්‍ර යෞවනයේ පසුවන තාරක උමයංග දිල්ෂාන් මහතා රචනා කළ “හස්ති රාජ වංශය“ පර්යේෂණ ග්‍රන්ථය පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා.

වසර 15 ක 20 ක කාලයක සිට දළදා පෙරහරේ අලි ඇතුන් සීමිත වී තිබෙනවා. නමුත් ඒ අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමේ තත්ත්වයක් පේන්න නැහැ. කොළඹ ජීවත් වෙන අයට ජනප්‍රියම දේ තමයි සංස්කෘතික ස්වභාවයක් හැටියට පෙරහරේ අලි ගමන් කළ යුතු බව. මේ වසරේ මා දන්නා විධියට පෙරහරේ අලි 30 කට අඩු ප්‍රමාණයක් ගමන් කළා කියා තමයි වාර්තා වන්නේ. පෙරහර කිරීමට අලි - ඇතුන් 80ක් පමණ අවශ්‍යයි. නමුත් වර්තමානයේ එය ප්‍රමාණවත් නැහැ. පෙරහර සමඟ ජීවත් වෙන සෑම කෙනෙක්ටම මේක බලපානවා.

අලි -ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කරන ලෙසින්ම මිනිස් ජීවිත ආරක්ෂා කිරීමත් වගකීම බව තිරසර සංවර්ධන ,වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

මේ උත්සව අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මේ බවද කියා සිටියේ ය.

පන්සල්වල ගෙවල්වල ඇති කරන අලි-ඇතුන්ට නිදහස ආරක්ෂාව ඇති වන සේ කටයුතු කරන්න ඕන.

රටක් හැටියට අපිට හුදකලාව ජීවත් වෙන්න බැහැ. සමාන්තරව ගමන් කිරීමේ දී මත භේදවලට ඇහුම්කන් දෙන්න සිදු වෙනවා. පාරම්පරිකව හීලෑ අලි ඇතුන් සිටියා. අතීතයේ දී අලින් පාවිච්චි කළේ අලි කර්මාන්තවලට. කොටන් ඇදිම වගේ දේවල්වලට. අලියකු බැදලා එක තැනක තියෙන එක සිර දඬුවමක් දීලා හිරේ දැම්මා වගේ වැඩක්. අපේ රටේ උග්‍රම ප්‍රශ්නය අලි- මිනිස් ගැටුම. මේක හරියට උණ හෙම්බිරිස්සාව වගේ වැඩක්. මිනිසා මැරුණහම වන්දි ලැබෙනවා. නමුත් අලියා මැරුණහම කිසිම වන්දියක් නැහැ. මැරුණු අලින්ගෙන් සියයට පනහක් ම මැරුණේ වෙඩි වැදීමෙන්. දඩයක්කරුවන් විසින් බදින ලද තුවක්කු නිසා.

සතුන්ගේ ආරක්ෂාවට ක්‍රමවේදයක් මේ රටේ තියෙන්න ඕන. සිංහරාජයේ වෙසෙන සියලු ගම්වාසීන් කිව්වා මේ අලි දෙදෙනා ඉවත් කරන්න කියලා. මේ නිසා මට පියවරක් ගන්න වෙලා තියෙනවා මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. අපිට වැඩක් කරන්න පනතක් තියෙනවා. පනතට විරුද්ධව වැඩ කළොත් මාව හිරේට දාන්න පුළුවන්.

නව අදහස දක්වන්න