රාජ්‍ය ගිණුම් කාරක සභා‍වේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් ජනතා මුදල් ආරක්ෂා කළ හැකියි | දිනමිණ

රාජ්‍ය ගිණුම් කාරක සභා‍වේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් ජනතා මුදල් ආරක්ෂා කළ හැකියි

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

අර්ථ සාධකේ ආ‍යෝජන කළ මිලියන 6300ට සතයක්වත් ලැබී නෑ
- නලින්ද ජයතිස්ස

රාජ්‍ය ආයතන අභ්‍යන්තර විගණනයට මානව සම්පත් අඩුයි
- බන්දුලාල් බණ්ඩාරි‍ගොඩ

සියලුම දත්ත එක් තැනක සිට විමර්ශනය කළ හැකි වියයුතුයි
- රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න

පහුගිය ආණ්ඩු කාල‍යේ රාජ්‍ය ආයතන‍වල විශාල වංචා සිදුවෙලා
- හිරුණිකා ‍ප්‍රේමචන්ද්‍ර

මහජන මුදල් සුරක්ෂිත කිරීමටත් ජනතාව‍ගේ සුබසිද්ධිය ‍වෙනු‍වෙන් භාවිත කිරීමටත් රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය නි‍යෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (19) ප්‍රකාශ ක‍‍ළේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (19) රැස්විය. වාර්තා, නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය.

නි‍යෝජ්‍ය කාරකසභා සභාපති ‍සෙල්වම් අ‍ඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණි‍යේය.“රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා” පිළිබඳ කල්තැබීමේ විවාදය ආරම්භ විය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජවි‍පෙ) - අටවැනි පාර්ලි‍මේන්තු‍වේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන පිළිබඳ වාර්තා පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බෙනවා. ‍මේ වාර්තාවල අන්තර්ගතය පිළිබඳ පාර්ලි‍මේන්තු‍වේ අවධානය ‍යොමු කිරීමට අපි කැමැතියි. ර‍ටේ ජනතාව‍ගේ බදු මුදල් පිළිබඳ පාලනය වගවීම පාර්ලි‍මේන්තුව සිදු කළ යුතුයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව තමන්ට පැවරී ති‍බෙන ආයතන 837 විමර්ශනය කළා. ‍මේ කාරක සභා‍වේ මන්ත්‍රීවරු හැටියට යම් යම් ඉදිරි පියවර තබන්නට හැකි වුණා. මහබැංකු බැඳුම්කර ගනු‍දෙනුව පිළිබඳ විස්තරය, සහල් ගනු‍දෙනු, සයිටම් ආයතන පිළිබඳ ප්‍රශ්න ‍වෙනම අර‍ගෙන විමර්ශනය කරන්න අපට හැකි වුණා. මූල්‍ය පාලනය පිළිබඳ කාරක සභාවලට පැවරී ති‍බෙන වගකීම තවත් ඉදිරියට ‍ගෙන යා යුතුයි.

කාරක සභා තිබුණට ඒවා සියල්ල කියා පාර්ලි‍මේන්තුවට අතපිහදා ගන්න බැහැ. ජනතාව‍ගේ බදුමුදල් වගවීමකින් ‍තොරව වියදම් කරනවා නම් කාරක සභාවලින් අනතුරු ඇ‍ඟෙව්වාට පසු ඒවා නැවත හැරවීමට අපට හැකි වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශ‍යේ ‍ගොඩනැගිල්ල පිළිබඳ රාජ්‍ය ගිණුම් කාරක සභාව ‍යෝජනා ඉදිරිපත් කර ති‍බෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩමක බත්තරමුල්ල ‍හෙක්ටයාරයක බිමක ‍ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ‍යෝජනා කර ති‍බෙනවා. ‍

මේ ‍ගොඩනැගිල්ල මිලදී ගැනීමට හා ගිවිසුමට කාරක සභා‍වේ අනුමැතිය ලබා දී නැහැ. අ‍පේ ‍‍ර‍ටේ මෑත කාල‍යේ ජනතාව‍ගේ බදු මුදල් නිකරු‍ණේ වියදම් වී තිබුණ කෘෂිකර්ම අමාත්‍යාංශ ‍ගොඩනැගිල්ල කුලියට ලබාගැනීමට අ‍පේ කාරක සභාවට එ‍රෙහිවීමට පුළුවන් වුණා. අපි වාර්තා ඉදිරිපත් කළාට යම් කිසි නීතිමය පියවරක් ගන්න බැහැ. ඒ නිසා ර‍‍ටේ මහා වංචා ‍හෙළිදරව් කළාට නීතිය හමුවට ‍ගෙනයන්න බැහැ.

2010 ගුවන් යානා සමාගමට කළ මිලියන ගණනක හා ‍හෝටලයක් ඉදිකිරීමට මිලියන 5000ක ආ‍යෝජන කර ති‍බෙනවා. ඒ සියල්ල ‍සේවක අර්ථසාධක මුදලින් ආ‍යෝජන කර ති‍බෙනවා. පසුගිය ආණ්ඩු‍වෙන් මිලියන 6300ක් ‍සේවක අර්ථ සාධක අරමුදලින් අර‍‍ගෙන ආ‍යෝජන කළත් අර්ථ සාධක මුදලට කිසිදු ආදායමක් ලබා දී නැහැ. ‍මෙවැනි බරපතළ ජනතා බදු මුදල් වංචා ‍වෙලා ති‍බෙනවා. නමුත් ‍මේවාට නීතිය හමුට ‍ගෙන යන්න විදිහක් නැහැ. ‍මේ ආ‍යෝජනවලින් කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැහැ. ‍මේ වාර්තා විසින් අදාළ ඇමැතිවරු සදාචාරත්මක ‍ලෙස බැඳීමකටවත් ලක් කරනවාද? සමහර ඇමැතිවරු වැඩිපුර වාචික පිළිතුරු ඇහුවත් වැඩිපුර වාහන භාවිත කර ති‍බෙන බව සමහර ‍ලේකම්වරු පිළිතුරු හැටියට ලියා එවා ති‍බෙනවා. ‍මේවා විහිළු ‍මේ වැනි පිළිතුරු ලියන්න ‍ලේකම්වරු අසරණ ‍වෙන්න ඇති.

2012 දී ‍‍කෞතුකාගාර‍යේ ‍සොරකම පිළිබඳ කතා කිරී‍මේ දී ‍සොරක‍මෙන් පසු වසර පහක් ගියත් ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීමට හැකිව නැහැ. ‍මේ වාර්තාවලින් ‍යෝජනා කළ ‍දේවල් ‍වෙලා නැහැ කියායි ‍මෙතන දී ‍පෙ‍නෙන්නට ති‍බෙන්‍‍නේ. ආහාර සුරක්ෂිතතාව ‍වෙනු‍වෙන් සහල් ‍මෙක්ට්‍රික් ‍ටොන් ලක්ෂයක් රඳවා තබා ගන්න තීරණ කර තිබිය දී එය පවත්වා‍ගෙන යාමට අදාළ ආයතන පියවර ‍ගෙන නැහැ. ‍මේ ‍යෝජනා වාර්තා පාර්ලි‍මේන්තු පුස්තකාලයට පමණක් සීමා ‍වෙලා ති‍බෙනවා.

හම්බන්‍‍තොට දිස්ත්‍රික් මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ‍මෙම ‍යෝජනාව ස්ථිර කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ‍සෙහාන් ‍සේමසිංහ මහතා මුලසුනට පැමිණි‍යේය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නි‍රෝෂන් ‍පෙ‍රේරා මහතා - රාජ්‍ය ආයතනවල කරන විගණන හා මූල්‍ය වාර්තා පිළිබඳ ‍සොයාබැලූ ලසන්ත අලගියවන්න මහත‍ාගේ සභාපතිත්ව‍යෙන් යුතු රාජ්‍ය ගිණුම් කාරක සභාවට ස්තුතියි. ‍මේ වාර්තාවලට අනුව සෑම රාජ්‍ය ආයතනයක මුල්‍ය අක්‍රමිකතා අවම කිරිමට අප කටයුතු කර ති‍බෙනවා. ගිණුම් නිසි ‍වේලාවට ඉදිරිපත් කර විගණකාධිපතිතුමා‍ගේ නිරීක්ෂණ ඇතුළු සියලු ‍දේ කලට ‍වේලාවට ඉදිරිපත් කර ති‍බෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසු‍දේව නානායක්කාර මහතා (එජනිස) - නව ස්ථාවර නි‍යෝග අනුව කාරක සභා වාර්තා ඉදිරිපත් වූ පසු අදාළ ඇමැතිවරයා වාර්තාවක් ලබාදිය යුතුයි. විගණකාධිපතිවරයා කියා ති‍බෙනවා ලලිත් වීරතුංග මහතා සිරගත කළ ආකාරයට බැලු‍‍වොත් රජ‍යේ ‍සේවකයන් බහුතරයක් අද සිටිය යුත්‍‍තේ සිර‍ගෙදර බව. වර්තමාන‍යේ සමහර වංචාවල ෆයිල් නැති‍‍වෙලාලු. ඒ ෆයිල් තබා ගන්නා ‍කෙනාටවත් නීතිය ක්‍රියාත්මක කරන්‍‍නේ නැහැ. වගකී‍මේ දාමය මුදුනට ‍‍ගෙනයායුතුයි.

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය ඇමැති අලීර් සහි මවුලානා මහතා - පාර්ලි‍මේන්තුව විසින් ‍වෙන් කළ තිබු මුදල් අනිසි ‍ලෙස භාවිතය පිළිබඳ අපි ‍සොයා ගත්තා. නැ‍ගෙනහිර පළාත් සභාවත් අනිසි ‍ලෙස මුදල් භාවිත කර තිබුණ බව ‍හෙළිවුනා. හිටපු මහ ඇමැතිවරයා එ‍සේ කළ බව නිලධාරින් පවා පිළිගත්තා. හිටපු මහ ඇමැතිතුමා ජනතා බදු මුදල් විනාශ කළ ආකාරය පිළිබඳ පළාත් සභා නිලධාරින් අපට කියා ති‍බෙනවා. එවකට සිටි ‍ලේකම්වරයාට අපි ලියා ති‍බෙනවා. නමුත් ‍මේ වනතුරු එතුම‍ාගේ පිළිතුරු ලැබී නැහැ.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා (එජනිස) - රාජ්‍ය ගිණුම් කාරක සභාව හා ‍කෝප් කමිටුව විසින් තමයි ර‍ටේ ජනතාව‍ගේ බදු මුදල් පිළිබඳ විමර්ශනය කරන්‍‍නේ. ‍මේ ර‍ටේ මුදල්වලට වගකියන ආයතනය පාර්ලි‍මේන්තුව නම් එම මුදල් පිළිබඳ ‍සොයන කමිටුව ‍කෝප් කමිටුව නම් එය වගකීමක් තිබිය යුතුයි. නමුත් මහ බැංකු‍‍‍‍වේ මුදල් ලබාගත්ත අයත් ‍කෝප් කමිටු‍වේ ඉන්න බව ‍හෙළිවී ති‍බෙනවා. ‍කෝප් කමිටු‍වේ සාමාජිකයින් බැඳුම්කර මුදල් ගත්‍‍තේ නැහැ කියා දිවුරුම් ප්‍රකාශ දුන්‍‍නේ නැහැ. මම හා ජයන්ත සමරවීර මහතා පමණයි දිව්රුම් ප්‍රකාශයක් ලබා දී ති‍බෙන්‍‍නේ.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හිරුණිකා ‍ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) - රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් රාජ‍යේ ආයතන 837ක් නිරීක්ෂණ කළා. 2015ට කලින් වසර ගණනාවක් තිස්‍‍සේ ‍සොයා බලා නැති රාජ්‍ය ආයතන ‍‍බො‍හොමයක් තිබුණා. මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා කිව්වා එතුම‍ගේ සභාපති කා‍ලේ රාජ්‍ය ආයතනවලට පැනලා කළා කිව්වා. නමුත් අපි ‍මේ විසඳු‍වේත් පසුගිය ආණ්ඩු කාල‍යේ රාජ්‍ය ආයතන‍යේ තිබුණු වංචා දූෂණ පිළිබඳයි. ‍මෝටර් ‍රථ ‍ලියාපදිංචි කිරී‍මේ දෙපාර්තමේන්තුව විශාල වංචා වී ති‍බෙනවා. ලිපි ‍ගොනු අස්ථානගත වී ති‍බෙනවා. රාජ්‍ය ආයතනයක ලිපි ‍ගොනු අස්ථානගත වීමත් දඬුවම් ලැබිය හැකි වරදක්. දූෂිතම නගර සභාව තමයි ‍දෙහිවල ගල්කිස්ස නගර සභාව. ධනසිරි නගරාධිපතිව ඉන්න කා‍ලේ එක ආයතනයකින් වරිපනම් ලක්ෂ, 21ක් අයවිය යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ‍වේළුකුමාර් මහතා මුලසුනට පැමිණි‍යේය.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් ‍දේවානන්ද මහතා (ඊපීඩීපී) - රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කිරී‍මේ දී ඔවුන්‍‍ගේ සුදුසුකම් පිළිබඳ වැඩි අවධානයක් ‍‍‍යොමු කළ යුතුයි. රජ‍යේ ආයතන නඟා සිටුවීමට අමාත්‍යාංශයක් පිහිටුවා ති‍බෙනවා. නමුත් එයින් රාජ්‍ය ආයතන නගා සිටුවනවාට වඩා විකුණන පැත්ත වැඩිවී ඇති බවක් ‍පෙ‍නෙනවා. මූල්‍ය ‍රෙගුලාසි සහ ඒවා‍‍යේ කාර්යක්ෂමතා පිළිබඳ රාජ්‍ය ගිණුම් කාරක සභාව මඟින් විමර්ශනය ‍වෙනවා. එමඟින් බදු මුදල් යහපත් ‍ලෙස කළමනාකරණය කළ හැකියි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරි‍ගොඩ මහතා (එජාප) - රාජ්‍ය ‍සේව‍යේ දූෂණ අක්‍රමිකතා අඩුකර ගන්න ‍නො‍වෙයි අපිට ඕන නැති කරගන්නයි.‍ මේ රාජ්‍ය ගිණුම්කාරක සභා වාර්තාවට අනුව ‍බො‍හොමයක්ම රාජ්‍ය ආයතනවල ආභ්‍යන්තර විගණනයන් කිරීමට මානව සම්පත් ප්‍රමාණය අඩුයි. විගණන අංශ‍යේ නිලධාරී හිඟයක් ති‍බෙනවා තැපැල් ‍දෙපාර්ත‍මේන්තු‍වේ විගණන නිලධාරීන් විශාල ප්‍රමාණයක් අඩුව ති‍බෙනවා. සංවර්ධන නිලධාරීන් හැටියට බඳවා ගන්නා පිරිසට ‍මෙවැනි රාජකාරියක් ලබාදිය යුතුයි. පළාත් සභාවල විගණනය කරන්‍‍නේ වසර විස්සකට පරණ විගණනයි. ‍දේශපාලනඥයින් පුහුණු කරන්නත් ආයතනයක් අවශ්‍යයි කියා මා හිතනවා.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - ගිණුම් කාරක සභා‍වේ සභාපතිවරයාට ස්තුතිවන්ත ‍වෙනවා. ‍මෙවැනි රාජ්‍ය ආයතන ප්‍රමාණයක් විමර්ශනය කිරිමට හැකියාව තිබු‍ණෙ අලගියවන්න මහතා‍ගේ කැපවිම නිසයි. මුළු රජ‍යේ ආදාය‍මෙන් සියයට 85ක් එන්‍‍‍‍නේ සුරාබදු ‍දෙපාර්ත‍මේන්තු, රේගුව හා අාදායම්බදු ‍දෙපාර්ත‍මේන්තු‍වෙන්. ‍මේ සියලු ආයතන විමර්ශනය කිරීමට රාජ්‍ය ගිණුම්කාරක සභාව කටයුතු කර ති‍බෙනවා. ආයතනවලට තාක්ෂණය එක කරමින් දියුණු කිරීමට කටයුතු කර ති‍බෙනවා. රමිස් තාක්ෂණයත් ‍යොදා ගත යුතුයි.

එවිට රාජ්‍ය ආයතනවල සියලුම දත්ත පිළිබඳ එක තැනක සිට විමර්ශනය හා විගණනය කළ හැකියි. ‍හොරකමට වංචාවට සිටින සුළු පිරිස හසුකර ගැනීමට හැකි‍වෙනවා. අ‍නෙක් ‍සේවකයන්ගේ ‍ගෞරවය අපට රැකගත හැකි‍වෙනවා. මුදල් අමාත්‍යතුමා ළඟදි ප්‍රකාශයක් කළා. 2017 අවසන් වනවිට ලංකා‍වේ මුළු ණය දළ‍දේශිය නිෂ්පාදනය‍‍ 77.6යි කියා. විගණකාධිපතිතුමා කිව්වා දළ‍දේශිය නිෂ්පාදන‍යෙන් සියයට 80ක් කියා. එදා හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා හම්බන්‍‍තොට වරාය ඉදිකිරීමට චීන‍යෙන් ලබාගන්නා ණය මුදල කළමනාකරණය වරාය අධිකාරියට පැවරීමට කැබිනට් පත්‍රිකාවක් ‍ගෙනාවා. මහ බැංකු අධිපතිවරයා සිටිය දී කබ්රාල් වංචා කර විශ්‍රාම ගිහින් තවත් ‍බොරු මාධ්‍ය හමුවීම් පවත්නවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තුසිතා වි‍ජේමන්න මහත්මිය මුලසුනට පැමිණියාය.

ජනමාධ්‍ය නි‍යෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා - රාජ්‍ය ගිණුම්කාරක සභා‍වේ සභාපතිවරයා හැටියට මට ලැබුණු සහ‍යෝගයට ස්තුතිවන්ත ‍වෙනවා. රාජ්‍ය ආයතන 837ක් විමර්ශනය කිරීම පහසු වු‍ණේ නැහැ. රාජ්‍ය ආයතනවල ගිණුම් ක්‍රියාවලිය පිළිබඳ ‍‍කොපමණ වැඩ ප්‍රමාණයක් ති‍බෙනවාද? ඒ ‍වෙනු‍වෙන් පාර්ලි‍මේන්තු‍වේ විශාල කාර්ය මණ්ඩලයක් අප සතුව නැහැ. නමුත් ඔවුන්‍‍ගේ කැපවීම නිසයි ‍මෙවැනි දැවැන්ත ක්‍රියාවලියන් විමර්ශනය කර නිමකිරිමට හැකියාව ලැබු‍ණේ. ‍මේ ක්‍රියාවලි‍යේ දී විගණකාධිපති ‍දෙපාර්ත‍මේන්තුව විශාල ශක්තියක් ලබාදුන්නා.

ජනාධිපතිතුමා අගමැතිතුමා ‍මේ කටයුතු කර‍ගෙන යා‍මේ දී නිදහ‍සේ කර‍ගෙන යා‍මට අවස්ථාව ලබාදුන්නා. අයවැය මඟින් ජනතාව‍ගේ බදුමුදල් අය කිරීම අනුමත කරනවා. ඒ ජනතාව‍ගේ මුදල් ඵලදායි ‍ලෙස වගකී‍මෙන් වියදම් කළ යුතුයි. ‍මේ අරමුණු ‍වෙනු‍වෙන් තමයි ජනතාව අපව පාර්ලි‍මේන්තුවට එවන්‍‍නේ. අය-වැය මඟින් ‍වෙන් කරන මුදල් නිසි පරිදි වියදම් වුණාද කියන කාරණාව ‍සොයා බැලිමට තමයි රාජ්‍ය ගිණුම් කාරක සභාව පිහිටුවා ති‍බෙන්‍‍නේ.

1978 සිට ‍මේ දක්වා පාර්ලි‍මේන්තුවට කැඳවන්න පුළුවන් වී ති‍බෙන්නේ ආයතන 428ක් පමණයි. නමුත් අපි ‍මේ වතා‍වේ රාජ්‍ය ආයතන 837ක් විමර්ශනයන කළා. වත්මන් ගිණුම්කාරක සභාව රාජ්‍ය ගිණුම් කරක සභා‍වේ අඩුපාඩු හඳුනා‍ගෙන තමයි ‍මේ විමර්ශනය ආරම්භ ක‍ළේ. 2017 දී ආයතන 832 ජාලගත වන පරිදි තාක්ෂණය ‍යෙදීමට අප කටයුතු කළා. 2015 වස‍රේ ආයතන 837 ගිණුම් වාර්තාව හා 2016 ‍මේ ආයතනවල වාර්තා අපි පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බෙනවා. ‍

කොපමණ පරීක්ෂණ පැවැත්වුවත් සිදුව ති‍බෙන පාඩුව යළි ලබාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මූල්‍ය වංචා නැති කිරිමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා විගණකාධිපති කාර්යාලය හා අ‍නෙකුත් ආයතන සමඟ සබඳතාවක් තිබිය යුතුයි. ‍බො‍හෝ ආයතන කාරක සභාවට පැමිණ පිළිතුරු දී යන්න උනන්දුයි. ‍හොඳම විගණනයක් තිබූ රාජ්‍ය ආයතන අපි ඇගැයීමට පවා ලක් කළා. ‍මේ ආයතනවලින් 232ක් 2016 තිබු‍ණේ ලකුණු 50කට අඩු මට්ටමකයි. එය 2017 ව විට සියයකින් අඩු කිරිමට අපට හැකිවුණා. ලකුණු 90ට වඩා වැඩි‍යෙන් ලබාගත් ප්‍රමාණය 2016ට වඩා වැඩි‍යෙන් ලබා‍ගෙන ති‍බෙනවා. ‍

මේ වැඩපිළි‍වෙළ තව තවත් ශක්තිමත් කිරිමට කටයුතු කරනවා. සමස්ත පාර්ලි‍මේන්තු‍වේ මූල්‍ය වගකීම නිසි ‍ලෙස අව‍බෝධ කර‍ගෙන අප ‍මෙය සිදු කරනවා. ‍කාරක සභා‍වේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ආයතනවල ජනතා මුදල් ආරක්ෂා කිරිමට කටයුතු කළ යුතුයි. දඬුවම් ලබා දී ‍මේ සියල්ල නිවැරැදි තැනකට ගන්න පුළුවන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. දඬුවම් ලබාදී‍මේ බලතළ අපට අවශ්‍ය නැහැ. නමුත් ඒ ඒ ආයතන දක්වන ප්‍රතිචාරය අපි ‍සොයා බැලිය යුතුයි. එ‍ලෙස පරිසරයක් ‍ගොඩනැගු‍‍නොත් මහජන මුදල් සුරක්ෂිත කළ හැකියි. නිදහස ලැබුණ දා සිට රාජ්‍ය ‍දේපළ අවභාවිත වී ති‍බෙනවා. ජනතාව ඒ නිසයි මහජන නි‍යෝජිතයින් ‍දෙස වපර ඇහින් බලන්‍‍නේ. ඒ නිසා ‍මේ නිර්දේශ ක්‍රියාත්මක කර වැරැදි නිවැරැදි කිරීමට අවස්ථාවක් ති‍බෙනවා. ජනතාව‍ගේ මුදල් ර‍ටේ ජනතාව‍ගේ සුබසිද්ධිය උ‍දෙසා ලබාගත යුතුයි.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා (එජාප)‍ - දේශපාලනඥයින් දූෂණ වංචාවලට සම්බන්ධ වූ විට මහජනතාව‍ගේ විශ්වාසය බිඳවැ‍ටෙනවා. හම්බන්‍‍තොට දිස්ත්‍රික් මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා (ජවි‍පෙ) - විගණකාධිපතිවරයා මහජනතාව‍ගෙන් වැටුප් ලබාන ‍කෙ‍නෙක් හැටියට ‍කොන්ද ‍කෙලින් තියා‍ගෙන වැඩ කර‍ගෙන යනවා. අපි ‍මේ නිරීක්ෂණයට යන විට ‍දෙපාර්ත‍මේන්තුවලට යන විට පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ති‍බෙනවා දැක්කා. උපාධිධාරීන් 60, 000ක් පමණ ඉන්නවා. ඒ අයට ‍මේ පුරප්පාඩුවල අවස්ථාවක් ලබා දී වැඩකටයුතු කරනවා නම් විධිමත්ව කටයුතු කර ගත හැකියි. චින්තන ජනාධිපතිතුමා‍ගේ කා‍ලේ ධීවර අමාත්‍යාංශා‍යෙන් මව් යාත්‍රාවක් ගැනීමට කියා මිලියන 113ක් මුදල් වුණු ‍දෙයක් නැහැ. මව් යාත්‍රාත් නැහැ. ‍මෙහි ලිපි ‍ගොනු අස්ථානගත ‍වෙලා ති‍බෙනවා‍. චින්තන සභාපතිතුමා‍ගේ කා‍ල‍යේ ‍මෙවැනි මුදල් වංචා වී ති‍බෙනවා. ‍මේවට සම්බන්ධ වූ නිලධාරින් නිවී සැනසී ‍මේ වන විටත් ඉන්නවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මලසුනට පැමිණි‍යේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමර‍සේන මහතා (එජාප) - මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා සුද්දවන්ත‍යෙක් විදිහට කතා කළාට ‍මේ විගණන වාර්තාවල සුගතදාස ක්‍රිඩාංගණය නවීකරණ‍යේ දී මිලියන 112ක මුදල් අවභාවිතයක් ගැන වාර්තා කර ති‍බෙනවා.

සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා - දැන් ‍හොරු ඇල්ලුවද කියන අහන අය‍ගෙන් මා අහන්න කැමැතියි. පසුගිය කා‍ලේ එක ‍හො‍රෙක්වත් ඇල්ලුවද කියා. මහින්ද රාජපක්ෂ මහත්තයා‍ගේ කාලේ කිසිම ‍හො‍රෙක් ඇල්ලු‍වේ නැහැ. ‍මෙ‍හෙම තමයි පසුගිය ආණ්ඩු ‍හොරු ආරක්ෂා ක‍ළේ. හිටපු අගවිනිසුරු කිව්වා හිර‍ගෙදර යවන්න ඕන ‍කෙනා රජ‍ගෙදර යැව්වා කියා කිවා. එ‍හෙම ‍හොරුන් පාලනය කළ යුග ගණනාවක් පසුකර‍‍ගෙන තමයි ආ‍වේ. යහපාලන‍යේ අපි ජනාධිති ‍ලේකම්වරු ඇල්ලුවා. ලලිත් වීරතුංග ඇල්ලුවම සමහර ස්වාමීන් වහන්‍සේලා පිණ්ඩපා‍තේ යනවා වන්දි ‍ගෙවන්න. පිරිත් නූල් බඳිනවා. ‍‍මේ තරමින්වත් ‍හොරු අල්ලපු ආණ්ඩුවක්වත් ඉතිහාස‍යේ තිබුණානම් කියන්න කියා මා අභි‍යෝග කරනවා. අපිට ඕ‍නෙ ‍හොරු අල්ලන ආණ්ඩුක්. මම ම‍ගේම මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් ප්‍රකාශයක් ලබා‍දේවි කියා මා හිතනවා. මහින්ද රාජපක්ෂ මහත්තය‍ගේ පුත්තු ‍මේ වනවිට කළ ‍හොරකම් කර ති‍බෙන බව ඔප්පු වී ති‍බෙනවා. ‍මේවා දැන දැන ජනතාව ඔවුන් පිටුපස යන එක පිළිබඳ කනගාටුයි. ඇං‍ගෝලාවට ‍මේවැනි තත්ත්වයක් ඇතිවෙලා ති‍බෙනවා. එ‍හෙත් වසර තිහක යුද්ධයක් තිබුණා. එය ඉවර වුණාම චීන ආ‍යෝජකයින් ඇවිත් හයි‍වේ හැදුවා. ඇං‍ගෝලාව චිනය විසින් ආක්‍රමණය කළා. එයයි අද ශ්‍රී ලංකාව ‍වේ‍ගෙන යන්‍‍නේ. චීනයට අප විකුණු‍වේ මහින්ද රාජපක්ෂයි. ලංකාව චීනයට විකිණු ‍දේශ‍ප්‍රේමි‍යෙක් ඉන්නවා නම් ඔහු මහින්ද රාජපක්ෂයි. .

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල ‍හෙට්ටිආරච්චි මහතා (එජාප) - මූල්‍ය විනිවිදභාවය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබා දී ති‍බෙනවා. ඉදිරි‍යේ දී ‍මෙම කාරක සභා ‍යෝජනා නිර්දේශ අර‍ගෙන මූල්‍ය වංචා අවම කිරිමට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා පියවර ගත යුතුයි.

රජයේ ආයතනවල කාර්ය සාධනය 8.78%කින් වැඩිවෙලා

අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පළාත් සභා හා පළාත් පාලන ආයතනවල කාර්ය සාධනය 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී සියයට 8.78කින් වර්ධනය වි ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහන් කරයි.

රාජ්‍ය ආයතන 831ක දක්නට ලැබෙන මෙම වර්ධනය සාධනිය ලක්ෂණයක් බවත් රාජ්‍ය ගිණුම් කාරක සභා ක්‍රියාවලියේ සාර්ථකත්වය මෙමඟින් පෙන්නුම් කරන බවත් රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගිණුම් කාරක සභා වාර්තාවේ මේ බව සඳහන් වේ. රාජ්‍ය ආයතන 831ක සමස්ත කාර්ය සාධනය සියයට 67 සිට සියයට 73.54 දක්වා වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2015 වසරට සාපේක්ෂව 2016 වසරේ දී පළාත් සභාවල කාර්ය සාධනය සියයට 19.9 කින්ද ප්‍රාදේශීය සභා සියයට 12.5 කින්ද රජයේ විශේෂිත වියදම් ඒකක සියයට 16කින්ද නගර සභාවල කාර්ය සාධනය සියයට 10.2කින්ද වර්ධනය වි ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් අදාළ රාජ්‍ය ආයතන වෙත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර එම ප්‍රශ්නාවලියට ලබා‍ගන්නා ලකුණු ප්‍රමාණය අනුව කාර්ය සාධන මට්ටම තක්සේරු කර ඇත.

මෙම ලකුණු ලබාදිමේ තක්සේරුව අනුව රාජ්‍ය ආයතන පනහකට අඩුවෙන් ලබාගත් ආයතන 2015 ට සාපේක්ෂව 2016 දී සියයට අසූවකින් අඩූ වී ඇත. 2015 වසරේ දී ලකුණු 50 ට අඩුවෙන් ලබාගත් රාජ්‍ය ආයතන 104 ක් වාර්තා වී ඇති අතර 2016 වසරේ දී එය 22 දක්වා අඩුවී ඇත.

අධ්‍යාපනය හා පූජනීය ස්ථාන නැංවීමට කෝටි 22ක්

දැනුම් කේන්ද්‍රස්ථානයේ පදනම බවට පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමට රුපියල් විසිදෙකෝටිපනස්ලක්ෂයක මුදලක් (රු 22,50,000.00) සඳහා අතිරේක ප්‍රතිපාදන ඇතුළු රජයේ හදිසි සංවර්ධන ක‍ටයුතු උදෙසා ප්‍රතිපාදන සලසන පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

දිවයිනේ සියලුම පාසල් දැනුම් කේන්ද්‍රස්ථා‍නයේ පදනම බවට පත්කිරිම වෙනුවෙන් එක් පළාත් සභාවකට රුපියල් ලක්ෂ 250 බැගින් මෙම මුදල වෙන්කර ඇත.

රජයේ හදිසි සංවර්ධන කටයුත්තක් ලෙස සලකා‍ ඉදිරිපත් කළ මෙම පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් කළේය.

පුරාවිද්‍යා‍ වටිනාකමකින් යුත් පුරාණ රජමහා විහාර හා වෙනත් පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිමටද මෙම පරිපූරකයෙන් මුදල් වෙන්කර ඇත.

2018 අප්‍රේල් 01වනදා සිට මැයි 31දා දක්වා රජයේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 20 671 705 845 ක පුනරාවර්තන වියදමක් හා රුපියල් 51 515 544 693 ක මූලධන වියදමක් මෙම පරිපූරකය මගින් ලබාදි ඇත.

පාර්ලි‍මේන්තුව අද (20) පස්වරු 1.00 යළි රැස්‍‍වේ.

නව අදහස දක්වන්න