බැඳුම්කර ජනාධිපති කොමිසමේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට | දිනමිණ

බැඳුම්කර ජනාධිපති කොමිසමේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා තමන් වෙත ලිඛිතව දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළේය.

එම සියලුම ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනතෙක් පාර්ලිමේන්තුවේ කීර්ති නාමයට හා මන්ත්‍රීවරුන්ගේ අභිමානය කෙළෙසන වාර්තා හා ප්‍රකාශ ඉදිරිපත් නොකරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටින බවත් කතානායක කරූ ජයසූරිය මහතා පැවැසීය.

ජනාධිපති ලේකම්වරයා 2018 ජූනි පස්වනදා බැඳුම්කර වාර්තාවේ පිටු සී 350- 360 දක්වා ඉදිරිපත් කළ බවත් සී 1 සිට සී 350 දක්වා සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරන ලෙසට තමන් ජූනි 12වන දින ඉල්ලා සිටි බවත් කතානායකවරයා සඳහන් කළේය.

එම ඉල්ලිම පරිදි ඊයේ (19) දින ලිපියක් ඉදිරිපත් කර ඇති ජනාධිපති ලේකම්වරයා නීතිපති උපදෙස් අනුව සියලු ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පවසා ඇති බවත් කතානායකවරයා සඳහන් කළේය.

එම නිවේද‍නය ඉදිරිපත් කරමින් කතානායකවරයා මෙසේද සඳහන් කළේය.

කතානායකවරයාගේ නිවේදන යටතේ මෙම දැනුම්දීම කතානායකවරයා විසින් සිදුකළේය.

බැදුම්කර නිකුත් කිරීම සම්බන්ධව පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ සී.350- සී 360 ලෙස සළකණු කර ඇති වෙළුම් තුනකින් සමන්විත ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳ 2018 ජුනි මස 05 වන දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා කර තීරණය කළ පරිදි එකී ලේඛන වාර්තාවේ කොටසක් පමණක් වන හෙයින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සී 01 සිට සී 340 දක්වා වූ ලේඛන ද සලකුණු කර ඇති වෙනත් ලේඛන ද ඇතුළුව සම්පූර්ණ 'සළකුණු කර ඇති ලේඛන සියල්ලම පාර්ලිමේන්තුවට නොපමාව ඉදිරිපත් කළ යුතු බව දන්වමින් 2018 ජූනි මස 12 වැනි දින ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවන ලදී.

ඊට පිළිතුරු වශයෙන් භාණ්ඩාගාර බැදුම්කර කොමිෂන් සභ වාර්තාවට අදාළ සියලු ලේඛන පාර්ලිමේන්තුවට මුදා හැරීම සම්බන්ධව මේ වනවිට නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත්, නීතිපතිවරයාගේ උපදෙස් සහ එකඟතාව ලබුණු වහාම එම උපදෙස් පරිදි ක්‍රියාකරන බව ජනාධිපති ලේකම්වරයා විසින් ජූනි මස 18 දින පාර්ලිමේන්තුවට ලිඛිතව දන්වා ඇත. මෙම බැදුම්කර සිද්ධියට අදාළ සියලු ලිපි ලේඛන නීත්‍යාණුකූලව ජනාධිපති කාර්යාලයෙන් මා වෙත ලැබෙන තෙක් මාධ්‍ය හරහා එකිනෙකාට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේ කීර්ති නාමයත් ගරු මන්ත්‍රීවරුන්ගේ අභිමානයත් දේශයේ ගෞරවයටත් හානි ගෙන දෙන චෝදනා ප්‍රකාශ කිරීම හෝ නිකුත් කිරීමෙන් වළකින ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් හා මාධ්‍යයෙන් ඉල්ලා සිටිමි.'

නව අදහස දක්වන්න