අයිවෝ ඩෙනිස් දේශීය අනන්‍යතාවයේ සලකුණක් | දිනමිණ

අයිවෝ ඩෙනිස් දේශීය අනන්‍යතාවයේ සලකුණක්

ප්‍රවීණ ගායක, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා ජීවිතයෙන් සමුගැනීම, ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ දේශීය අනන්‍යතාව සලකුණු කළ තවත් සුවිශේෂ හඬ පෞරුෂයක අහිමිවීම යළි යළිත් අවධාරණය කරන්නක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අයිවෝ ඩෙනිස් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරන අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

කිතුනු බැතිමතකු ලෙස දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම ඇසුරින් පන්නරය ලබමින් ස්වකීය ගායන හැකියාව මුවහත් කොටගත් අයිවෝ ඩෙනිස් මහතා ලාංකේය කිතුනු ගීත, ගීතිකා කලාවට නව මුහුණුවරක් එක් කළේය.

ලාංකේය සංගීතයේ දේශීය අනන්‍යතාව සොයා ගිය ප්‍රවීණ සංගීතඥ සුනිල් ශාන්තයන් ඇසුරේ සංගීතය හදාරන්නට ඉඩප්‍රස්ථාව හිමි වීම අයිවෝ ඩෙනිස් මහතා ලැබූ භාග්‍යයක් විය. ඔහුගේ දිගුකාලීන සංගීත දිවියේ ශක්තිමත් පදනම එය විය.

කන්තාරු ගායනාවේ සිට ජන ගායනා, සරල ගී හා චිත්‍රපට ගී සඳහා මෙන්ම ඔපෙරා, කැන්ටාටා ශෛලියේ නිර්මාණ සඳහා ද තම හඬ එක් කිරීමට තරම් අසීමිත ගායන හැකියාවක් ඔහු සතුවිය. එය ගායකයකු සතු දුර්ලභ නිපුණතාවක් සේ මම දකිමි.

සුනිල් ශාන්ත මෙන්ම, ඩබ්.බී.මකුළොලූව, ආචාර්ය කේමදාස වැනි පුළුල් පරාසයක සංගීත සම්ප්‍රදායන් ඇසුරු කළ සංගීතඥයන් ගණනාවක් සමඟ එක්ව නිර්මාණකරණයේ යෙදෙන්නට ඔහුට හැකිවූයේ එහෙයිනි. එවන් සංගීතඥයන්ගේ උසස් නිර්මාණ ආලෝකවත් කරන හඬ පෞරුෂය අයිවෝ සතුවිය.

ඔහුගේ ගායනයේ තවත් සුවිශේෂත්වයක් මම දකිමි. ගායන දිවියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔහුගේ ගායන නිපුණත්වය අසම සමවිය. නිවැරදි ස්වරස්ථාන, හඬ අලංකරණ ආදී ගායකයකු සතු ගුණාංග ඔහු අතින් සැමවිටම සුරැකිණි. ඔහු ලාංකේය ගායන පරම්පරාවේ විශිෂ්ටයකු වන්නේ එහෙයිනි.

ප්‍රවීණ ගායක, සංගීතඥ අයිවෝ ඩෙනිස් සූරින්ගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ සැමට මාගේ බලවත් සංවේගය පළකරමින්, එතුමාට සදාතනික සැනසීම අත්වේවායි ප්‍රාර්ථනය කරමි.

නව අදහස දක්වන්න