හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවර‍යාගේ කටහඩ සාම්පල් පරික්ෂා කිරීමට අවසර | දිනමිණ

හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවර‍යාගේ කටහඩ සාම්පල් පරික්ෂා කිරීමට අවසර

කන්තලේ සිනි සමාගමට අයත් භුමියේ ඇති යන්ත්‍රෝපකරණ ඉන්දීය සමාගමකට පවරා දිම සදහා කෝටි දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිතබන්ධනාගාර ගත ව සිටින හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානි හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවර‍යාගේ කටහඩ සාම්පල් පරික්ෂා කිරිමේ විමර්ශනය සදහා ඔවුන් දෙදෙනා මේ මස 29 වන දින රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (19) බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කළේය.

පැමිණිලිකරු සමඟ සැකකරුවන් ජංගම දුරකථනය ඔස්සේ සිදු කළ කතා බහා සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් පටිගත කළ හඩපට රජයේ රස පරික්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනිම සදහා සැකකරුවන් දෙදෙනා රජයේ රස පරික්ෂක වෙත යොමු කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සළකා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. සුගර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත රජයෙන් පවරා දි ඇති කන්තලේ සිනි සමාගමට අයත් භුමියේ ඇති ගොඩනැගිලි හා යන්ත්‍රොපකරණ එම සමාගමට පවරා දිම සදහා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා මිලියන 100කට අඩුකර මිලියන 20ක මුදලක් අත්තිකාරමක් ලෙස අල්ලස් ලබා ගැනිමේ සිද්ධිය ඊයේ (19) යළි අධිකරණය හමුවේ කැඳවු අතර මෙම සිද්ධියේ සැකකරුවන් වන ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානි නො.382/5 බෙටනන් පාර,දළුගම,කැළණිය පදිංචි ඉදිකැටියහේවගේ කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති 55/23 ගැමුණු මාවත , උඩුවැල්ල ,බත්තරමුල්ල පදිංචි පියදාස දිසානායක දෙදෙනා බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඊයේ (19) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් හසිත ඇන්තනි මහතා පැවසුවේ රාජ්‍ය දැව සංස්ථාවේ ලේඛන,අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලේඛන හා සී.සී.ටී.වී දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වන බවයි.

දුරකථන වාර්තා කොටසක් ලබාගෙන ඇති බව සදහන් කළ අධ්‍යක්ෂවරයා තවද බ්‍රේක්ටොක් ආයතනයේ හා ටාජ් සමුද්‍ර හෝටලයේ සවිකර තිබු සී.සී.ටී.වී දර්ශන ලැබි ඇති බවය.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය වෙත යොමු කර තිබු කන්තලේ සිනි සමාගමට අයත් ලිපි ලේඛණ කොමිසම වෙත ලබා ගෙන ඒ සම්බන්ධ නිලධාරින් කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවට අල්ලස් කොමිසම අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණ.

තවද ඇමැති මණ්ඩල කැබිනට් පත්‍රිකාව විමර්ශන සදහා ලබා‍‍ගෙන ඇති බවත් එම කැබිනට් පත්‍රිකාව කෙටුම්පත් කරන ලද නිලධාරින්ගේ විස්තර අවශ්‍යව ඇති බවත් එම විස්තර ඉල්ලා ඉඩම් අමාත්‍යාංශයේ ඉල්ලීමක් කර ඇති බවට ද අල්ලස් කොමිසම අධිකරණය වෙත දන්වා සිටියේය..

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රත්වරයා සැකකරුවන් සම්බන්ධ ඇප නියෝගය ලබන ජුනි මස 26 වන දින ලබා දෙන බව පවසමින් සැකකරුවන් එතෙක් රක්ෂිතබන්ධනාගාරගත කිරිමට නියම කළේය.

අල්ලස් කොමිසමේ පොලිස් පරික්ෂක එස්.ප්‍රේමසිරි මහතා ,සැරයන් චන්ද්‍රසිරි සමඟ සැරයන් බණ්ඩාර යන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කලහ.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ ,ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න හා අගතියට පත් පාර්ශව වෙනුවෙන් නීතිඥ සුසන්ත කුමාර,විකුම් බස්නායක,උපුල් දර්ශණ,ජනක අරුණශාන්ත,නාලක ජයසිංහ හා ලලිත් පතිරණ යන අය පෙනි සිටියේය.

සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා

නව අදහස දක්වන්න