ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම නිලාවේලි අවට මුහුදු තීරයේ තවමත් | දිනමිණ

ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම නිලාවේලි අවට මුහුදු තීරයේ තවමත්

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

ත්‍රිකුණාමලය නිලාවේලි අවට මුහුදු තීරයේ ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීමේ නීති විරෝධි කටයුතු පාලනය කර ඇතත් සුළු පිරිසක් තවමත් එම නීතිවිරෝධි කටයුතුවල නියැළෙන බැව් නාවික හමුදාව කියයි. නිලාවේලි අවට මුහුදු තීරයේ පිහිටි පරෙවි දූපතේ ඇති දුර්ලභ කොරල් පරවලට, මුහුදු ජීවින්ට, ලොකු කුඩා මාළුන්ට මෙන්ම මසුන්ගේ ප්‍රජනන අවස්ථාවේ ඇති බිත්තර වලටද අහිතකර පුපුරණ ද්‍රව්‍ය යෙදීම නැවැත්විම සඳහා අදියර කිහිපයක් යටතේ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවික හමුදාවේ ත්‍රිකුණාමලය උතුර අණභාර නිලධාරි කපිතාන් හැන්ලි පිරිස් මහතා පැවසීය.

පුපුරණ ද්‍රව්‍ය යොදා මාළු ඇල්ලීමට ජාවාරම්කරුවන් පෙළඹවීමෙන් විනාශ වී ගෙන යන මුහුදු සම්පත රැකගැනීම සඳහා පාසල් සිසුන් හරහා වැඩිහිටියන් දැනුවත් කිරීම, ධීවර සමිතිවල නායකයන් මෙන්ම ග්‍රාමීය ප්‍රජා සමිතිවල නායකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරියේදි ආරම්භ කරන බව අණ භාර නිලධාරිවරයා පෙන්වා දුන්නේය.

ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය,තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට නම් පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම නැවැත්විය යුතු බවත් ඒ සඳහා එවැනි කටයුතුවල යෙදෙන ධීවරයන් පුපුරණ ද්‍රව්‍ය ලබාදෙන ජාවරම්කරුවන් අත්අඩංගුවටගැනීමට නාවික හමුදාව පැය 24 පුරා දැඩි සෝදිසියකින් පසුවන බවද කීය.මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, වෙරල සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආදි ආයතනවලින් ලැබෙන සහායද මෙහිදී අගය කළේය.විශේෂයෙන්ම සංචාරකයන්ගේ සිත් දිනාගත් නිලාවේලි පරෙවි දූපතේ කොරල් ආරක්ෂා කර ගැනීම කාගෙත් යුතුකමක් බවද මෙහිදී අණභාර නිලධාරිවරයා තවදුරටත් පැවසීය.

 

නව අදහස දක්වන්න