ආබාධිත පුද්ගලයන් දේශීය ආර්ථිකයට දායක කර ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් | දිනමිණ

ආබාධිත පුද්ගලයන් දේශීය ආර්ථිකයට දායක කර ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක්

මානෙල් පුෂ්ප කුමාරි

ආබාධිත පුද්ගලයන් නඟා සිටුවීමෙන් ඔවුන් දේශීය ආර්ථිකයට දායක කර ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කටයුතු ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

මෙහි ආරම්භය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ ආබාධිත පවුල් 8500ක් නඟා සිටුවීම මූලික කර ගනිමින් වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කර ඇත . ඒ අනුව ඉඟුරු හා කුරුඳු නිෂ්පාදකයන්ගේ සහ මේ ආබාධිත පුද්ගලයන් සතු ඉඩම්වල පැළ තවාන් සකස් කිරීමට අවශ්‍ය බීජ , පැළ සියලු දෙනාට ලබා දෙන බවත් ඊට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ අවශ්‍ය සියලු පහසුකම් සපයන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ආබාධිත පුද්ගලයන් සමාජයේ පසෙකට නොදමා ඔවුන්ගේ හැකියා හා කුසලතාවන් මොනවාද යන්න සොයා බලා ඒවා වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදිය යුතු අතර ඒ තුළින් ඔවුන් රටේ ආර්ථිකය නැංවීමට දායක කර ගත හැකි බවද එමගින් ආබාධිත පුද්ගල මානසිකත්වය වැඩි දියුණු කර ගත හැකි බවද අවධාරණය කළේය.

ආබාධිත පුද්ගලයන් නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉකුත්දා සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවේදී ඇමැති දයා ගමගේ මහතා එසේ පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආබාධිත පවුල් 8500ක් පමණ සිටින බැවින් ඒ අයගේ ආර්ථික ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු අන්දම සම්බන්ධයෙන් සහනෝදා පදනමේ විධායක ලේකම් කුමාර දේශප්‍රිය මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් ඇමැතිවරයා එම අදහස් පළ කෙළේය.

මෙහිදි කුමාර දේශප්‍රිය මහතා පැවසුවේ 2007 වසරේදී සහනෝදා පදනම ආරම්භ කළ අතර ඉන් ආබාධිත පවුල් රැසකට මේ වන විට විශාල සහන රැසක් ලබාදී ඇති බවය.

ආබාධිත පවුල් සඳහා මසකට රජයෙන් ලැබෙන රුපියල් 3000 මෙන් නොව , දයා ගමගේ ඇමැතිවරයා ගත් මේ තීරණය අනුව වසරකදී රුපියල් තුන් ලක්ෂයක් පමණ මුදලක් උපයා ගන්නට හැකි බව කුමාර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කෙළේය. පෝර උරවල ඉඟුරු සිටුවීමට හැකි බවත්, ඉඟුරු ග්‍රෑම් 50කින් ග්‍රෑම් 750 හෝ කිලෝග්රෑම් 1 ‍ක පමණ අස්වැන්න ලබාගත හැකි බවද කීය. පටක රෝපණය තුළින් අවුරුද්ද පුරාම ඉඟුරු අස්වැන්න ලබා ගත හැකි බවද සඳහන් කළේය.

කුමාර දේශප්‍රිය මහතාගේ උත්සාහය ඉතා අගය කළ ඇමැතිවරයා මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු කරන ලෙස එහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

අධීක්ෂණ මන්ත්‍රිවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ , වෛද්‍ය තුසිතා විජේමාන්න, රෝහිණි විජේරත්න, අතිරේක ලේකම් එන්. ඒ නාලනී , අපනයන කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන) ශාන්ත සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න