කිරි පැකට්ටුවේ විප්ලවය | දිනමිණ

කිරි පැකට්ටුවේ විප්ලවය

වසන්ත ප්‍රිය රාමනායක

දේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ මෙතෙක් පවතින මන්දගාමී ස්වරූපය වෙනස් කර ගැනීමෙන් තොරව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇත.

දියර කිරි නිෂ්පාදිත, ආර්ථිකය ඉදිරියට ගමන් කරවන යම් සඵලත්වයක් ඇති කරනු ලබන දෙයක් බව පැවසේ. සාමාන්‍යයෙන් කිරි එළදෙනක් සහිත ගෘහයක් යම් පරිපූර්ණත්වයක්, වාසනාවක් ගෙන දෙනු ලබන බව අපේ පැරැන්නන් තුළ විශ්වාසයක් පැවතිණ. එය අතීතයට පමණක් නොව වර්තමානයට ද වලංගුය.

එහෙත් සමස්තයක් වශයෙන් ගත් කල වර්තමානයේ අපේ රටේ කිරි නිෂ්පාදනය පවතින්නේ ප්‍රාථමික අවදියකය. අතීතයේ දියර කිරෙන් ස්වයංපෝෂිත වූ රටක්, අද පිටරට පිටිකිරිවලින් යැපෙන තත්ත්වයකට පත්වීම ලජ්ජාසහගතය. නිදහස ලබා වසර 70ක් ගතවී ඇති නමුත් තවමත් ඊට නිසි පිළියම් සෙවීමට අප අපොහොසත්වීම කණගාටුදායකය.

වසරකට අපේ රටේ එක් පුද්ගලයකුට සිරුරේ ප්‍රෝටීන් මට්ටම පවත්වාගෙන යෑමට අවැසි කිරි ප්‍රමාණයෙන් වත්මන් නිෂ්පාදන ධාරිතාව තුළ ලබාදිය හැක්කේ (වසරකට) ලීටර් 19ක් පමණි. එය දිනක ඒක පුද්ගල පරිභෝජනයට අනුව කිරි කෝප්ප කාලකි(1/4) නැතිනම් මිලිලීටර් 5කි.

මේ වනවිට මෙරට තුළ දිනක දියර කිරි නිෂ්පාදනය දිනකට ද.ල. 1.1කි. වසරකට කිරි ලීටර් මිලියන 396,198,000කි. මෙම නිෂ්පාදනය 2016 වසරට සාපේක්ෂව 3.2%ක වර්ධනයකි. විවිධ හේතූන් හා වෙළෙඳපොළ ප්‍රශ්න නිසා ද.ල. 1.1ක් වූ දෛනික කිරි නිෂ්පාදනයේ ද කිරි ලීටර් ලක්ෂයක අතිරික්තයක් දක්නට ලැබේ.

අපට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් දේශීය වශයෙන් නිපදවෙන්නේ 40%කි. 2016ට සාපේක්ෂව 2017 දී එහි ද 2%ක අඩුවීමක් දක්නට ලැබේ. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාව ඇ.ඩො. මිලියන 400ක කිරි පිටි නිෂ්පාදන ආනයනය සඳහා වැය කරයි. මෙතරම් මුදලක් රට වශයෙන් වැය කරනු ලබන්නේ ආනයනික කිරි පිටිවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න පවතිද්දීමය.

මාධ්‍ය අරමුදල්

මෙවන් පසුබිමක දේශීය කිරි නිෂ්පාදනයෙන් දෛනිකව ලීටර් ලක්ෂයක පමණ අතිරික්තයක් දක්නට ලැබීම රට වශයෙන් ගත් කල අවාසනාවකි. අදාළ අතිරික්තය දක්නට ලැබෙන්නේ පශු සම්පත් අමාත්‍යාංශය, ඒ ආශ්‍රිත රාජ්‍ය ආයතන හා විවිධ රාජ්‍ය අරමුදල් සියල්ල උපයෝගී කරගනිමින් දේශීය කිරි ගොවියා දිරිමත් කරන රාජ්‍ය අංශයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දීය. මීට විරෝධය පාමින් කිරි ගොවියන් සිය නිෂ්පාදන අතිරික්තය පාරේ හලන ආකාරය මාධ්‍ය මඟින් රූප රාමු සහිතව පෙන්වා දුන් අවස්ථා ද දක්නට ලැබුණි. එහෙත් ප්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැත. මේ අතර කිරි ලීටරයක නිෂ්පාදන වියදම රු.66.34 දක්වා වැඩිවී තිබේ. නිෂ්පාදන වියදමට සරිලන අයුරින් අලෙවි කිරීමට නොහැකි වන කිරි බවුසර් ගණන් මහමඟට මුදාහැරීම තුළ කිරි ගොවීන්ගේ විරෝධය පැහැදිලිය.

මේ සියල්ල මෙසේ සිදුවෙමින් පවතිද්දී අපේ රටේ ළමා පරපුරෙන් 1/3ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වේ. පාසල් දරුවන්ගේ පවතින ප්‍රෝටීන් ඌනතාවය මීට ප්‍රධාන හේතුවක් සේ සැලකේ. දියර කිරි ඊට හොඳම විසඳුමකි. එක් පැත්තකින් රටේ දේශීය කිරි නිෂ්පාදනය ඉල්ලුමට සරිලන ලෙස සැකසී නොමැත. ඒ නිසා පිටරටින් කිරි පිටි ආනයනය කිරීමට සිදුවී තිබේ. ඒවායේ පෝෂ්‍යදායකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවී ඇත. එය පාසල් ළමුන්ගේ ප්‍රෝටීන් ඌනතාවයට නොගැළපේ. අනෙක් පැත්තෙන් සුළු වශයෙන් වුවද නිපදවෙන කිරි නිෂ්පාදනයෙන් ලීටර් ලක්ෂයක් පමණ නිසි මිලක් නොලැබීම හා බෙදාහැරීමේ ජාලයේ දුර්වලතා නිසා අපතේ යැවීමට හෝ නාස්තිවී යනු ඇත.

මීට ක්ෂණික හෝ නිර්මාණශීලී විසඳුමක් ඉදිරිපත් කිරීමට අදාළ බලධාරී ආයතන මෙතෙක් සමත් වී නොමැත. පසුගිය සමයේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය මඟින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුකිරීම ජාතියේ වාසනාවකි. මේ වනවිට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය මඟින් ප්‍රාථමික පාසල් දරුවනට දෛනිකව කිරි මිලි ලීටර් 170ක් රජයේ වියදමින් වසර 5ක කාලයක් සඳහා ලබාදීමට පියවර ගනිමින් සිටී.

මෙහි මුල් අදියරට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් දරුවන් (2016ට සාපේක්ෂව) 1,717,092ක පමණ පිරිසක් අයත් වේ. මේ සඳහා දිනකට අවැසි දියර කිරි ප්‍රමාණය දියර කිරි ලීටර් 291,905ක් පමණ වේ යැයි දල වශයෙන් ගණන් බලා ති‍බේ. වසරින් වසර වැඩි වන පාසල් ළමුන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව මෙම ප්‍රමාණය වැඩි වේ. අදාළ කිරි පැකට්ටුවක් සඳහා රජය දරනු ලබන මුදල රු. 40/-කි. මේ සඳහා වසරකට වැය කරනු ලබන මුදල රු. බිලියන 1.6කි.

මේ අනුව දේශීය කිරි නිෂ්පාදනය වෙනුවෙන් දැනට පවතින ඉල්ලුමට අමතරව කිරි ලීටර් ලක්ෂ 3කට ආසන්න ස්ථාවර වෙළෙඳපොළක් ඇතිවේ. වෙන විදිහකින් වසරකට වැය කරනු ලබන රු. බිලියන 1.6ක් නැති නම් මිලියන 16,000,000ක් දේශීය කිරි නිෂ්පාදනය වෙනුවෙන් කරනු ලබන අමතර ආයෝජනයකි. පාසල් වියේ සිටම දරුවන් දියර කිරිවලට යොමු කිරීම අනාගතයේ දී පිටිකිරිවලින් මිදුණු දියර කිරි පරිභෝජනය කරනු ලබන සමාජයක් ඇතිවීමට රුකුලක් වනු ඇත.

මේ නිසාම දැනට අතිරික්තයක් ලෙසින් පවතින දියර කිරි නිෂ්පාදනය ක්ෂණික ඉල්ලුමක් ඇතිවීම පමණක් නොව තවත් කිරි ලීටර් ලක්ෂ දෙකක් පමණ නිපදවීමට මඟපෑදෙනු ඇත. මේ අනුව ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය වන අතිරේක කිරි ගවයන්ගේ සංඛ්‍යාව තවත් 15000කින් ඉහළ යනු ඇත. මෙමඟින් අලුත් පවුල් 7500කට පමණ නව ආදායම් මාර්ගයක් සකසා ගැනීමට හැකිවේ. එසේම දරුවන් මිලියන දෙකකගේ පමණ පෝෂණ මට්ටම ඉහළ යනු ඇත. අවසානයේ වසර 5ක් ඇවෑමෙන් පෝෂණ හා ස්ථාවර ආදායම් සහිත නව ආදායම් පරිසරයක් කිරි නිෂ්පාදනය ආශ්‍රිතව බිහිවනු ඇත.

දරුවන්ට නොමිලේ කිරි

රජය දරුවන් වෙනුවෙන් මෙම වියදම දරනු ලබන්නේ නොමිලේ පාසල් පොත්, නිල ඇඳුම් ආදී සුබසාධන දීමනාවලට අමතරවය. මෙය ක්ෂේත්‍ර කීපයකට පලප්‍රයෝජන රැසක් අත්පත් කර දෙනු ලබන ව්‍යාපෘතියකි. පාසල් දරු දැරියන්ගේ මන්දපෝෂණය දුරලීම ඔවුන් දියර කිරිවලට හුරුකිරීම පමණක් නොව කිරි ගොවියා නගාසිටුවීම ද මෙම ග්‍රාමශක්ති ව්‍යාපෘතියට අයත් වේ. මීට අමතරව ක්‍රමයෙන් කිරි පිටි ආනයනය උදෙසා විදේශ රාජ්‍යයන්ට ඇදී යන මුදල යම් ප්‍රමාණයකින් මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකිවීම දියර කිරි භාවිතය හා නිෂ්පාදනය වැඩි කිරීමේ සුවිශේෂී අතුරු ප්‍රතිඵලයකි.

දේශීය පශු සම්පත් ක්ෂේත්‍රයේ මෙතෙක් පවතින මන්දගාමී ස්වරූපය වෙනස් කර ගැනීමෙන් තොරව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීම ප්‍රශ්නයක් වනු ඇත. දිනකට කිරි ලීටර් 7 සපයන ගවයාගේ නිෂ්පාදන ධාරිතාව අඩුම තරමින් 14ක් දක්වා වැඩි කරගැනීමට සිදුවේ. එහෙත් දේශීය කිරි ආර්ථිකයේ තිරසර බව ඇතිවන්නේ එම ප්‍රමාණය ලීටර් 20 දක්වා ගෙන ඒමෙනි. ඒ සඳහා අපේ දේශගුණයට නොගැළපෙන නවසීලන්තයේ කිරිහරක් මිලියන ගණන් වැය කර මෙරටට ගෙනඒමෙන් පලක් නොවේ. ඒ සඳහා අපේ කලාපයට ඔරොත්තු දෙන ‘බටුගවයා’ නවීන අභිජනන මධ්‍යස්ථාන මඟින් ශක්තිමත් කිරීමට සිදුවේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය මේ සියල්ලට අතහිතදීමට හා තාක්ෂණික ආධාර සැපයීමට සූදානමින් සිටී. මෙම වැඩපිළිවෙළ සඳහා පෞද්ගලික අංශයේ සමාගම් හා ඊට අයත් වෙළෙඳසල් හා බෙදාහැරීම් ජාලය ග්‍රාමශක්ති ව්‍යාපාරය සමඟ සක්‍රීයව සම්බන්ධවීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කර ඇත.

මේ නිසා පාසල් දරු දැරියන්ගේ මන්ද පෝෂණය දුරුකරමින් ඔවුනට ලබාදෙන පෝෂ්‍යදායී කිරිපැකට්ටුව මඟින් දේශීය කිරි නිෂ්පාදනයේ විප්ලවීය මාවතකට යොමු කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ග්‍රාමශක්ති ජාතික ව්‍යාපාරය මේ වනවිට කටයුතු යොදමින් සිටී.


නව අදහස දක්වන්න

Or log in with...