ගිණුම්කාරක සභාවේ අනතුරු හැඟවීම...? | දිනමිණ

ගිණුම්කාරක සභාවේ අනතුරු හැඟවීම...?

කවුරුන් කැමැති වුව; අකමැති වුව ලෝකය දුවන්නේ වෙළෙඳ පොළ මූලික කරගත් ආර්ථික රටාවක් තුළය. විවෘත ආර්ථිකය ලෙස හඳුන්වන්නේ ද මේ ක්‍රමය යි. ආර්ථික විශේෂඥයන්ට අනුව විවෘත ආර්ථිකයේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. එක; වෙළෙඳපොළ තරගය යි. දෙක; නිෂ්පාදන කාර්යක්ෂමතාව යි. තුන භාණ්ඩ හා සේවා සඳහා පවතින අධිකාරිත්වය බිඳ වැටීම යි. හතර; පෞද්ගලික අංශය ශීඝ්‍රයෙන් ශක්තිමත් වීම යි. ශ්‍රී ලංකාව තුළ විවෘත ආර්ථිකය ස්ථාපිත වූයේ 1977 සිට ය. ඒ අනුව දසක හතරකට වැඩි කාලයක් විවෘත ආර්ථිකයත් සමග අප ගමන් කර තිබේ. එහි ප්‍රතිඵල විමසා බලන්නට ද කාලය පැමිණ තිබේ.

මැලේසියාව, සිංගප්පූරුව, චීනය, තායිවානය වැනි රටවල් වෙළෙඳපොළ ආර්ථිකය නිසා ආර්ථික අතින් ඉදිරියට ගියේ ය. මැලේසියාව මේ ක්‍රමය තුළ පෞද්ගලික අංශය මෙන් ම රාජ්‍ය අංශය ද ශක්තිමත් කර ගත්තේ ය. ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් ‍ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අදහස වූයේ පෞද්ගලික අංශය සමග තියුණු තරගයක යෙදෙන ශක්තිමත් රාජ්‍ය අංශයක් ඇතිකිරීම ය. මුල් වකවානුව තුළ රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය ද කරට - කර තරගයක යෙදී සිටින ආකාරයක් දක්නට ලැබිණි. එහෙත් අද තත්ත්වය වෙනස් ය. බොහෝ අංශවලින් රාජ්‍ය අංශය දුර්වල බවක් පෙනී යයි.

අපේ රාජ්‍ය අංශයට එල්ල වන ප්‍රධාන විවේචනයක් වන්නේ එය අකාර්යක්ෂම බව ය. මේ තත්ත්වය තවදුරටත් සනාථ කරන සාක්ෂියක් පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එනම්; ගිණුම් කාරක සභාවේ වාර්තාවක් එළිදැක්වීම ය. මේ වාර්තාවට අනුව අපේ අමාත්‍යාංශවලින් අර්ධයක හෙවත් භාගයක ම මූල්‍ය පාලනය හා කාර්ය - සාධනය දුර්වල ය. වාර්තාව දක්වන ආකාරයට අමාත්‍යාංශ විසිහයක ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීන කර නැත. අත්තිකාරම් ගිණුම් ශේෂ නොපියවූ අමාත්‍යාංශ හතළිහක් තිබේ. විගණන විමසුම් සඳහා නියමිත කාලය තුළ පිළිතුරු ලබා නොදුන් අමාත්‍යාංශ විසිනමයක් තිබේ. භාණ්ඩ සමීක්ෂණ වාර්තා ක්‍රියාත්මක කර නැති අමාත්‍යාංශ විසි අටක් තිබේ.

සමස්ත චිත්‍රයෙන් පෙනී යන්නේ බොහොමයක් අමාත්‍යාංශ අනාගත දැක්මක් අනුව සිය වැඩ කටයුතු හසුරවන්නේ නැති බව ය. තමන්ගේ ආයතනය සතු වත්කම් හා බැරකම් නොදන්නා ආයතන ප්‍රධානයකුට එම ආයතනය දියුණු කිරීමේ හැකියාවක් තිබේ ද යනු ගැටලුවෙකි. ඇතැම් උසස් නිලධාරීන් තම ආයතනය සතු වාහන ප්‍රමාණය දන්නේ නැත. කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය දන්නේ නැත. අමාත්‍යාංශයක් භාර ඇමැතිවරයාට වඩා මේවා හොඳින් දැනගත යුත්තේ නිලධාරීන් ය. ඇමැතිවරුන් ආයතනවලට අදාළ තොරතුරු ලබා ගන්නේ නිලධාරීන්ගෙන් ය. හරි හැටි කරුණු නොදන්නා නිලධාරීන් බොරු කියා ඇමැතිවරුන් නොමග යැවීමටත් පුළුවන. එබ ඳු අවස්ථා අප දැක තිබේ.

මූල්‍ය විනය යන්න සංවර්ධනයේ ප්‍රධාන සාධකයක් ලෙස සලකනු ලැබේ. මූල්‍ය විනයක් නැති ආයතනයකින් දියුණුවක් අපේක්ෂා කළ නොහැකි ය. මූල්‍ය විනය යන්න ආයතනයකට, රජයකට පමණක් නො ව; පුද්ගලයකුට - පවුලකට වුව වැදගත් ය. නිදසුනක් ගතහොත් අය - වැය පිළිබඳ වැටහීමක් නැති පුද්ගලයා කිසි දිනෙක දියුණුවන්නේ නැත. දියුණු ලෝකය සෑම ආයතනයක් වෙතින් ම විධිමත් අය - වැය ලේඛනයක් අපේක්ෂා කරයි. එම ලේඛනයට වාර්ෂික කාර්ය - සාධනය පිළිබඳ පුරෝකථනයක් ද ඇතුළත් විය යුතු ය. ගිණුම් කාරක සභාවේ වාර්තාවෙන් කියැවෙන්නේ ඇතැම් රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා අවුල් සහගත බව ය. එලෙසම ඒවා නිසි කාලසීමාවන් තුළ දී සකස් වී නැති බව ය.

රජය සතු මුදල් මහජන මුදල් ලෙස සැලකේ. රාජ්‍ය ආයතන නඩත්තු කිරීම සඳහා ප්‍රතිපාදන ලබා දෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය යි. රාජ්‍ය භාණ්ඩාගාරය මුදල් ඒකරාශී කරගන්නේ මහජනයා වෙතින් අයකර ගනු ලබන බදුවලින් ය. ඒ අනුව ආයතනයක් මේ මුදල් වැය කළ යුත්තේ වගවීම් සහිතව ය. ගිණුම් කාරක සභාව පෙන්වා දෙන ‍අන්දමට ක්‍රීඩා අමාත්‍යාංශයේ පඩි/නඩි ලේඛන යාවත්කාලීන කර නැත. එහෙත් ප්‍රතිපාදන සීමාව ඉක්මවා වැය කර ඇත. අනුමත සීමාව ඉක්මවා අමතර කාර්ය මණ්ඩල ද බඳවාගෙන ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය ලාභ ලබන හෝ ලාභ ලැබිය යුතු හෝ ආයතනයක් නො වේ. ක්‍රීඩාව මහජනයාගේ ද රටේ ද පොදු අවශ්‍යතාවකි. එහෙත් මේ අවශ්‍යතාවට මුවා වී වියදම් වැඩි කර ගැනීම සුදුසු නැත. මූල්‍ය ලේඛන යාවත්කාලීන නොකිරීම තවත් බලවත් වරදකි.

නීතිපති දෙපාර්තමේන්තුව හා තවත් දෙපාර්තමේන්තු කිහිපයක් මූල්‍ය ලේඛන යාවත්කාලීන කර නැති බව හෙළිදරව් වී තිබේ. දෙපාර්තමේන්තු අනූ දෙකක මූල්‍ය වාර්තාවල අඩුපාඩු ඇති බව ද ගිණුම් කාරක සභාවේ වාර්තාව පෙන්වා දෙයි. රාජ්‍ය අංශය මෙහෙයවන උසස් නිලධාරීන්ට නිවැරැදි ලෙස මූල්‍ය ලේඛනයක් සකස් කර ගත නො හැකි නම් මුළු රාජ්‍ය අංශය ම ඒ ගැන ලැජ්ජාවට පත්විය යුතු ය. ඉහත වාර්තාවේ සඳහන් වන අන්දමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මුල්‍ය පාලනය අතින් ද, කාර්ය සාධනය අතින් ද ප්‍රගතියක් අත්කරගෙන ඇති ආයතනයකි. එම ආයතනය ඉහත අංශවලින් 92% ක පමණ ප්‍රගතියක් ලබා ඇති බව සඳහන් ය. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව තවත් එබඳු ආයතන දෙකක් ලෙස සඳහන් වී ඇත. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ද මේ අතින් සාධනීය තැනෙක ඇති බව ගිණුම් කාරක සභාව පෙන්වා දෙයි. මෙයින් පැහැදිලි වන්නේ ඇතැම් ආයතන ඉතා සැලැකිල්ලෙන් මූල්‍ය පාලනය හා කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමුකර ඇති බව ය. ඉහත ක්ෂේත්‍රවලින් දුර්වලතා දක්වන ආයතන එම තත්ත්වයට ඇදවැටුණේ කවර හේතු සාධක මත ද යන්න සොයා බැලිය යුතු ය.

ගිණුම් කාරක සභාවේ වාර්තාව සංවාදයට ගැනීමෙන් පමණක් ප්‍රතිඵලයක් ලබාගත නො හැකි ය. වාර්තාවෙන් පෙන්වා දෙන දුර්වලතා මඟහරවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු ය. ඒවා වහා ම ක්‍රියාවට නැංවිය යුතු ය. ආර්ථිකයක වටිනාම අංශය මූල්‍ය පාලනය යි. මූල්‍ය පාලනයක් නැති රටකට සිදුවන්නේ දිගින් - දිගට ම ණය ගනිමින් හා ආධාර බෙදමින් ආර්ථික වශයෙන් ඇද වැටීමට ය.

 


නව අදහස දක්වන්න

Or log in with...