මෙරට ලොකු ලූනුවලට රුපියල් 80ක මිලක් | දිනමිණ

මෙරට ලොකු ලූනුවලට රුපියල් 80ක මිලක්

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි

මෙරට නිපදවනු ලබන ලොකු ළූණු කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 70/- සිට රුපියල් 80/- දක්වා මිලක් ලැබෙන පරිදි දේශීය ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ නැංවීම සහ අලෙවියට පහසුවන පරිදි ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

බීජ නිෂ්පාදකයින් සතුව ඇති දේශීය ලොකු ළූණු බීජ තොගවලින් කිලෝග්‍රෑම් 5,000ක් මිල දී ගෙන 2018 යල කන්නයේදී හෙක්ටයාර 1,000ක අලුතින් වගා කිරීමටත්, තවත් බීජ කිලෝග්‍රෑම් 2,000ක් රජය විසින් මිල දී ගෙන, ඊළඟ කන්නයේ බීජ අවශ්‍යතාව වෙනුවෙන් ගබඩා කර තබා ගැනීමටත්, කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

වියළි කලාපයේ ගොවීන් අතර ජනප්‍රිය ලොකු ළූණු වගාව 2014 වසර වන විට හෙක්ටයාර 7,000ක් පමණ භූමිභාගයක් පුරා පැතිර තිබුණද වෙළඳපොළ මිල වෙනස්වීම සහ කාලගුණික බලපෑම් හේතුවෙන් 2017 වර්ෂය වන විට එම ප්‍රමාණය හෙක්ටයාර 2,000ක් දක්වා පමණ පහත වැටී තිබේ. කෙසේවුවද, මේ වන විට ලොකු ළූණු බීජ අලෙවි කරගත නොහැකි වීම, ලොකු ළූණු ගොවියා වගා කටයුතුවලින් ඉවත්වීම වැළැක්වීම සහ දේශීය බීජ නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම යන කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව,දේශීය ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුනු කරගනිමින් මෙම අනුමැතිය ලබා දී ඇත.

නව අදහස දක්වන්න