සාගර සම්පත් ගවේෂණයට ‘නැන්සෙන්’ ශ්‍රී ලංකාවට එයි | දිනමිණ

සාගර සම්පත් ගවේෂණයට ‘නැන්සෙන්’ ශ්‍රී ලංකාවට එයි

වසර 38කට පසු නාරා ආයතනය මඟින් නෝර්වේ රාජ්‍යයේ ආධාර ඇතිව සාගර සම්පත් ගවේෂණය සිදු කරයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සමුද්‍ර ජීවී සම්පත් තිරසාර භාවිතය සහ සාගර පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමයි. එමෙන්ම ධීවර සම්පත් කළමනාකරණයේ දී ප්‍රතිපත්ති තීන්දු ගැනීම සඳහා ඉතා නිවැරැදි ධීවර දත්ත අවශ්‍යවේ.

මේ ධීවර දත්ත ලබා ගැනීමේ ක්‍රමවේද 2කි.

1.ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් මඟින් ලබා ගන්නා වූ දත්ත

2.පර්යේෂණ මඟින් සත්‍ය වශයෙන් මුහුදේ සිටින මසුන් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන මඟින් ලබා ගන්නා වූ දත්ත

‘තිරසාර ධීවර කර්මාන්තය සහයෝගී රටවල ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව වැඩි දියුණු කරයි’ යන තේමාව යටතේ මේ සාගර සම්පත් ගවේෂණය සිදු කරයි.

මෙයට පෙර සාගර සම්පත් ගවේෂණය ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විද්‍යානුකූලව සිදු කර ඇත්තේ 1978 - 1980 කාල සීමාව තුළ දී නෝර්වේ රාජ්‍ය සතු Dr.Fridtjof Nansen නැමැති පර්යේෂණ නෞකාව භාවිත කරමිනි.

වසර 38ක කාලයක් තුළ විද්‍යාත්මක සාගර සම්පත් ගවේෂණයක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පිළිබඳ ගවේෂණයක් සිදුකර නොමැත. එසේ හෙයින් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත පිළිබඳ දැනට පවතින තත්ත්වය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. Dr.Fridtjof Nansen නමැති පර්යේෂණ නෞකාව භාවිත කරමින් හෙට (22) සිට පුරා දින 26ක කාලයක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා රජය නෝර්වේ රාජ්‍යයෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මේ සාගර සම්පත් ගවේෂණය සඳහා සහයෝගය ලබා දීමට නෝර්වේ රාජ්‍ය එකඟ විය. මේ සඳහා නෝර්වේ රාජ්‍ය තෝරා ගනු ලැබුවේ නොර්වේ රාජ්‍ය ඉතා ඉහළ ධීවර කළමනාකරණයක් පවතින රටක් නිසාවෙනි. එමෙන්ම ලෝකයේ ධීවර කර්මාන්ත තාක්ෂණය පිළිබඳ සැලකීමේ දී එම රටෙහි ධීවර සම්පත් නෙළා ගැනීමේ දී ඉහළ තාක්ෂණික ක්‍රම භාවිත කරයි.

ප්‍රධාන වශයෙන්ම නෝර්වේ රාජ්‍යය සතුව 2017 නිෂ්පාදනය කරන ලද ඉතාම නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත Dr.Fridtjof Nansen නෞකාව මඟින් මේ සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට බලපොරොත්තු වේ.

මේ සාගර සම්පත් ගවේෂණය සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙමින් නාරා ආයතනයේ විද්‍යාඥයන් 20 දෙනකු ද ධීවර දෙපාර්තුමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් ද සහභාගී වේ. මේ ව්‍යාපෘතියේ අංශ කීපයකි.

ධීවර පර්යේෂණ අංශ මඟින් සුදුසු හා අවස්ථානුකූල විද්‍යාත්මක උපදේශ ධීවර කළමනාකරණය සඳහා ලබාදීම. තිරසාර ධීවර කළමනාකරණය සඳහා ධීවර පර්යේෂණ හා කළමනාකරණ ආයතන සඳහා ප්‍රමාණවත් හා නිසි දැනුමක් සහ ආයතන ධාරිතාව ලබා දීම. ධීවර කළමනාකරණය පරිසර පද්ධති මූලධර්මවලට අනුව සිදු කිරීම ඒ අතර වේ. මේ සාගර සම්පත් ගවේෂණයේ යෙදෙන නෞකාව මඟින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ගවේෂණ ක්‍රමවේදය තෙවදෑරුම්ය.

1. තිරසාර ධීවර කර්මාන්තය

• මසුන්ගේ කීට අවස්ථා අධ්‍යයනය සහ බෝවෙන අවස්ථා සහ මසුන් බෝවන කාල සීමා හදුනා ගැනීම.

• සමුද්‍රීය මසුන්ගේ ව්‍යාප්තිය, බහුලතාව, වෙනස්වීම, මසුන්ගේ තොග හඳුනා ගැනීම සහ මසුන්ගේ පරිසර විද්‍යාත්මක සහ පර්යේෂණ රටා අධ්‍යයනය.

* නිෂ්පාදනතාවය වෙනස් වීම

* සත්ව විශේෂවල සිදුවන ව්‍යාප්තියේ වෙනස්වීම

* පෝෂණ මට්ටම් වෙනස්වීම සහ විශේෂවල විවිධත්වය වෙනස්වීම

* ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය හා මුහුදු ජලයේ ආම්ලිකතාව

• බහුලව නෙළා නොගන්නා මත්ස්‍ය සම්පත්වල (mesophelagic fish) බහුලතාව සහ පවතින සම්පත් හඳුනා ගැනීම සිදු කිරීම.

• පතුලේ වෙසෙන නිතල වාසි මසුන් සම්පත පිළිබඳ අධ්‍යයනය

2. සමුද්‍ර දූෂණය හා සාගර පරිසරය සිතියම් ගත කිරීම

• සමුද්‍ර දූෂණ කාරක සහ මසුන් ආහාරය සඳහා සුරක්ෂිතතාව පිළිබඳ අධ්‍යයනය

• සමුද්‍ර සුන් බුන් සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් පිළිබඳ අධ්‍යයනය

• සමුද්‍ර පතුලේ පරිසර පද්ධතිය සිතියම් ගත කිරීම

3. දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය

• සමුද්‍ර පරිසර පද්ධතියේ නිෂ්පාදනය, විවිධත්වය සහව්‍යුහය මත දේශගුණික තත්ත්ව වෙනස්වීම බලපෑම

• සමුද්‍ර පරිසරයේ ජෛව රසායනික ක්‍රියාදාමයන්

• අතීතයේ, දැනට පවතින සහ අනාගත පරිසර පද්ධතිය ලක්ෂණ ගත කිරීම

මේ ගවේෂණය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ නාරා ආයතනය විසින් සිදු කරනු ලබයි. එමෙන්ම ධීවර දෙපාර්තමේන්තුව ද මේ සඳහා දායක වේ. මේ සඳහා නෝර්වේ රාජ්‍යයේ සාගර පර්යේෂණ ආයතනය ( Institute of Marine Research ) නාරා ආයතනය සමඟ ඒකාබද්ධව මේ සාගර ගවේෂණය සිදු කරයි.

මේ සාගර සම්පත ගවේෂණය සඳහා යොදා ගනු ලබන Dr.Fridtjof Nansen නෞකාව සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ නොර්වේ රාජ්‍යයේ නොරාඩ් (NOARD) ආයතනය මඟිනි.

එමෙන්ම මේ ව්‍යාප්තිය සඳහා සම්බන්ධීකාරක කටයුතු කරනු ලබන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි.

තවද ශ්‍රී ලංකාවට මේ ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති තුර්බියෝන් ගවුස්තා සේතර් මහතා දායක විය.

මේ ගවේෂණය සඳහා සහභාගී වන විද්‍යාඥයන් සාගර සම්පත් ගවේෂණය සඳහා විද්‍යාත්මක පුහුණුවක් ලබන අතර, පසුව නාරා ආයතනය සතු සමුද්‍රිකා පර්යේෂණ නෞකාව භාවිතකර අඛණ්ඩව සාගර සම්පත් ගවේෂණය සිදු කිරීමට බලාපොරොත්තු වේ.

නව අදහස දක්වන්න