බොගවන්තලාව තේ ඇම්ස්ටර්ඩෑම්හිදී විශිෂ්ටතම තිරසර නිෂ්පාදනය ලෙස පිදුම් ලබයි | දිනමිණ

බොගවන්තලාව තේ ඇම්ස්ටර්ඩෑම්හිදී විශිෂ්ටතම තිරසර නිෂ්පාදනය ලෙස පිදුම් ලබයි

තිරසාරත්වය සහ මෙරට තේ කර්මාන්තය ගෝලීය මට්ටමින් ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් කරන බොගවන්තලාව තේ වතු සමාගම, ඇම්ස්ටර්ඩෑම් හිදී පැවැති 2018 තිරසර ආහාර සම්මාන උළෙලේ 'නව තිරසර නිෂ්පාදන' කාණ්ඩය යටතේ ලොව දැවැන්තයන් සමඟ උරෙනුර ගැටෙමින් විශිෂ්ටතම තිරසර නිෂ්පාදනය සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය.

තිරසාරත්වය මැනවින් පිළිබිඹු කරන නව ආහාර-පාන නිෂ්පාදන ඇගයුමට ලක් කිරීම සඳහා සම්මාන පිරිනැමුණු 'නව තිරසර නිෂ්පාදන' කාණ්ඩය යටතේ බෙල්ජියමේ Chocolero ශක්තිජනක පානය, ස්විට්සර්ලන්තයේ Coop Switzerland කෘමි ආහාර නිෂ්පාදන සහ නෙදර්ලන්තයේ SeaMore මුහුදු බේකන් ආදේශකය ආදී ජාත්‍යන්තර සමාගම් අවසාන වටයට සුදුකම් ලැබූහ.

ජාත්‍යන්තර ආහාර කර්මාන්තයේ තිරසාරත්වය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන තිරසර ආහාර සම්මාන උළෙල මගින් තිරසාරත්වය ඉදිරියට ගෙන යමින් ධනාත්මක වෙනසක් ඇති කරන ව්‍යාපාරික මෙහෙයුම්කරුවන් ඇගයුමට ලක් කෙරේ. 2009 වසරේ පටන් තිරසර ආහාර සමුළුව ආහාර කර්මාන්තයේ තිරසාරත්වය සහ පාරිසරික ලේබල සම්බන්ධව ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරකම් රැසක් ආවරණය කර ඇත. එම සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති අමර්ජිත් සහෝටා මහතා සඳහන් කළ පරිදි ආහාර යනු මිහිතලය මුහුණ දී සිටින පාරිසරික සහ සමාජ ගැටලු සමඟ නියත වශයෙන්ම සම්බන්ධ සාධකයකි. තිරසර ආහාර කර්මාන්තයක් ගොඩනැඟීම සඳහා දායකත්වය ලබාදෙන පිරිස ඇගයුමට ලක් කිරීමත්, එමගින් අනෙකුත් පිරිස් ද හරිත සංකල්පය සඳහා උනන්දු කරවීම ද මේ තිරසර ආහාර සම්මාන උළෙලේ අරමුණයි.

නව අදහස දක්වන්න