ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ 15 වසර සනිටුහන් කරයි | දිනමිණ

ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ 15 වසර සනිටුහන් කරයි

ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ 15 වසරක අතිසාර්ථක ගමනක් සනිටුහන් කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එම රෝහලේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාවට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. මීට සහභාගී වීම සඳහා ලංකා හොස්පිට්ල්ස් හි න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයේ නිර්මාතෘවරුන් ඉන්දියාවේ සිට පැමිණීම විශේෂත්වයක් වූ අතර මෙම අංශය මෙතෙක් අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය සහ එමගින් රටට සිදුවූ අමිල මෙහෙවර සම්බන්ධයෙන් ඔවුහු රැස්ව සිටි පිරිස දැනුවත් කළහ.

වෛද්‍ය වරුන්, තාක්ෂණ ශිල්පීන් සහ හෙදියන් ඇතුළු විශේෂඥ කණ්ඩායමකින් සමන්විත ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයට නායකත්වය දෙනු ලබන්නේ ශ්‍රී ලංකාවේ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණතම විශේෂඥයන් තිදෙනාගෙන් එක් අයකු වන වෛද්‍ය ජේ. එම්. චන්ද්‍රගුප්ත උඩුගම (MBBS, PhD - Consultant Nuclear Medicine) මහතා ය. ඒ මහතාට අනුව 1973 වසරේ දී ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නියෝජිත ආයතනය යටතේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව හඳුන්වා දෙන ලද අතර, මෙරට ප්‍රථම න්‍යෂ්ඨික වෛද්‍ය විද්‍යා ඒකකය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ස්ථාපිත කරන ලදි. ඉන් අනතුරුව තවත් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයක් කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කෙරිණි.

න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ක්‍රමයෙන් ඉහළ යමින් පැවැති ඉල්ලූම සපුරාලීම සඳහා, එවකට ඇපොලෝ රෝහල (Apollo Hospitals) ලෙස හැඳින්වුණු ලංකා හොස්පිට්ල්ස් හි පූර්ණ පහසුකම් සහිත න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා අංශයක් ස්ථාපිත කරන ලදි. මෙම අංශය වසර 15 ක කාලයක් තිස්සේ මෙරට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළ අතිසාර්ථක ගමනක නියැළෙමින් ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටුකරමින් සිටී.

න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව යනු විවිධ රෝගවලට අදාළ ඉතාම සියුම් මට්ටමේ සංකූලතා පවා හඳුනාගත හැකි ආකාරයට ශරීරය අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීමට උපකාරී වන තාක්ෂණයකි. රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම කිරීම සඳහා න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා තාක්ෂණය භාවිත කළ ප්‍රථම පෞද්ගලික රෝහල ලංකා හොස්පිට්ල්ස් ලෙස සැලකේ.

න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා භාවිත කරන අතිනවීන 'Dual Detector Gamma Camera' වර්ගයේ කැමරාවක් හිමි මෙරට එකම රෝහල ලංකා හොස්පිට්ල්ස් රෝහලයි. රෝගීන් ඉතාම අවම විකිරණ මට්ටමකට නිරාවරණය කරමින් සෛල මට්ටම දක්වා සුපැහැදිලි ඡායාරූප ලබාදීමේ හැකියාව මෙම කැමරාව සතු ය. සාමාන්‍යයෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ව්‍යුහය ඡායාරූපගත කරන X-Ray, MRI or Ultrasound වැනි පරීක්ෂණ මෙන් නොව න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා ක්‍රම මගින් අදාළ ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබේ. වකුගඩු රෝග, පිළිකා සහ හදවත් රෝග වැනි බරපතළ රෝග කල්තබා හඳුනාගැනීම සඳහා ගැමා කිරණ ඡායාරූප බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

හදවතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පූර්ණ ස්කෑන් පරීක්ෂාවක් සිදුකරන මෙරට එකම මධ්‍යස්ථානයද ලංකා හොස්පිට්ල්ස් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා මධ්‍යස්ථානයයි. මෙමගින් හදවතේ සංකූලතා ඉතාම නිවැරදිව හඳුනාගෙන, අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමේ හැකියාව ලැබේ. තවද මොළයේ ක්‍රියාකාරීත්වය, ව්‍යුහය සහ වෙනත් අංශ සම්බන්ධයෙන් පැහැදිලි විශ්ලේෂණයක් ලබාදීමටද මෙම ගැමා කැමරාවට හැකියාව ඇති අතර, එමගින් 'Alzheimer' සහ 'Dementia' රෝග තත්ත්වයන් වෙන්කර හඳුනාගැනීමේ හැකියාව එය සතු ය. සාම්ප්‍රදායික ක්‍රම මගින් මෙම වෙනස හඳුනාගැනීමට කල්ගත වන නිසා ප්‍රතිකාර නියම කිරීම ප්‍රමාද වන බැවින් මෙම ගැමා කිරණ ඡායාරූප තාක්ෂණය වෛද්‍ය විද්‍යාව සම්බන්ධ සුවිශේෂී සොයාගැනීමක් ලෙස සැලකේ.

තයිරොයිඞ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය, අභ්‍යන්තර ඉන්ද්‍රියන් හෝ අස්ථි වෙත පිළිකා ව්‍යාප්ත වීම, වකුගඩුවල ක්‍රියාකාරීත්වය සහ අක්මාවේ ක්‍රියාකාරීත්වය ආදිය පරීක්ෂා කිරීම මගින් රෝග රැසක් කල්තබා හඳුනාගැනීමට ගැමා කැමරා ස්කෑන් ක්‍රමවේදය උපකාරී වෙයි. තවද හදවතට ලැබෙන රුධිර සැපයුම පරීක්ෂා කිරීමටත්, හෘදයාබාධයකින් පසුව හෘද නාලවල අවහිර වී ඇති තැන් හඳුනා ගැනීමටත් මෙය භාවිත කළ හැක.

මෙවැනි රෝග තත්ත්වයන් කල්තබා හඳුනා ගැනීම මගින් එම රෝගවලට නිසි ප්‍රතිකාර කිරීමට මෙන්ම එම රෝග මගින් දීර්ඝකාලීන පීඩාවන් ඇතිවීම වැළැක්වීමටද හැකි වේ. මේ ආකාරයට කල්තබා ප්‍රතිකාර කිරීම මගින් රෝගය සුවවීමේ සම්භාවිතාව වැඩිකරගත හැක. විකිරණවේද පරීක්ෂණ මෙන් නොව ගැමා කැමරා පරීක්ෂාවේ දී ප්‍රතිකාර ක්‍රමවේදයද තීරණය කළ හැකි වන නිසා අතිරේක පරීක්ෂාවන් සිදුකිරීමේ අවශ්‍යතාවද මගහැරී යයි.

ඉතාමත් සුරක්ෂිත පරීක්ෂණ ක්‍රමවේදයක් වන ගැමා කැමරා පරීක්ෂාව රෝගීන්ට අවම අතුරු ආබාධ ඇතිකරන පරීක්ෂණ ක්‍රමවේදයක් ලෙසද හැඳින්විය හැක. එම නිසා ක්‍රමක්‍රමයෙන් මෙම පරීක්ෂණ සඳහා යොමුවන රෝගීන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතින අතර, මේ දක්වා එම පරීක්ෂණවලට අදාළව කිසිදු ගැටලූවක් වාර්තා වී නොමැත.

ජාත්‍යන්තර තලයේ පහසුකම්, ඉහළම මට්ටමේ වෛද්‍යවරුන් සහ අතිනවීන තාක්ෂණය වැනි සාධක රාශියක් නිසා ලංකා හොස්පිට්ල්ස් මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉදිරියටම පැමිණීමට සමත් වී ඇත. තවද විවිධ රෝග වර්ග සඳහා විශේෂ වූ ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම, රෝගීන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව සේවාවන් සැලසීම ආදිය නිසා රෝගීන්ට තම රෝග සඳහා ඉතාමත් පහසුවෙන්, එකම වහලක් යට දී ප්‍රතිකාර ගැනීමේ අවස්ථාව හිමිවී ඇති අතර, මෙම සාධක නිසා ලංකා හොස්පිට්ල්ස්හි ජනප්‍රියත්වය බෙහෙවින් ඉහළ ගොස් තිබේ. මේ සියල්ල සමගින් වසරින් වසර ජනතාවගේ විශ්වාසය හා පිළිගැනීම දිනාගනිමින් ලංකා හොස්පිට්ල්ස් අඛණ්ඩව දියුණුව කරා පානගමින් සිටී.

නව අදහස දක්වන්න