නවසීලන්ත අගමැතිනිය දියණියක ප්‍රසූත කරයි | දිනමිණ

නවසීලන්ත අගමැතිනිය දියණියක ප්‍රසූත කරයි

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩෙන් (Jacinda Ardern) ඇගේ පළමු දරු ප්‍රසූතිය සිදු කළාය.

මේ සමග තම ධූරයේ සිටියදී දරු ප්‍රසූතියක් කළ ලොව දෙවෙනි නායිකාව ලෙස ඇය ඉතිහාසයට එක්වේ.

දරු ප්‍රසූතිය සඳහා නියම කළ දිනයට දින හතරකට පසු බ්‍රහස්පතින්දා (ජූනි 21) අලුයම ඇය ඕක්ලන්ඩ් නගරයේ රෝහලකට ඇතුළත් කරන ලද අතර, එහිදී කිලෝ 3.31 ක් බරැති දියණියක් බිහි කළාය.

37 වියැති ජසින්ඩා සති හයක ප්‍රසූත නිවාඩු ලබා ගනු ඇති අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස්ට අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරි පවරා ඇත.

කෙසේ නමුත්, ප්‍රසූත නිවාඩු සමයෙදීත් තමන් කැබිනට් පත්‍රිකා පරීක්ෂා කරමින් දිගටම මූලිකත්වය ගෙන කටයුතු කරන බව ඇය පවසා තිබේ.

අගමැතිනී ජසින්ඩා ආඩෙන් තම ප්‍රසූතිය පිළිබඳ පුවත මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ අතර එමගින් රෝහල් කාර්ය මණ්ඩලයට ඇගේ ප්‍රශංසාව පුදකර තිබිණි.

ජසින්ඩා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තෝරා පත්කර ගන්නා ලද්දේ ඔක්තෝබර් මාසයේදීය. ඇය සහ ඇගේ සහකරු ක්ලාර්ක් ගෙෆොර්ඩ් දරුවෙක් අපේක්ෂාවෙන් පසුවන බව ජනවාරි මාසයේදී නිවේදනය කළේය.

"වැඩ කීපයක් එක විට කරන පළමු කාන්තාව මම නොවේ. සේවය කරමින් දරුවන් ලද පළමු කාන්තාව ද නොවේ. මීට පෙර මේ දෙයම කළ කාන්තාවන් බොහොමයක් ඉන්නවා" ඇය මේ වසර මුලදී නවසීලන්ත ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී පැවසුවාය.

අගමැති තනතුර සඳහා 1856 න් පසුව නවසීලන්තය තෝරා පත්කරගත් ලාබාලතම පුද්ගලයා ජසින්ඩා ආඩෙන්ය.

සිය ධූරය දරමින් සිටියදී දරුවෙකු ප්‍රසූත කළ පළමු නායිකාව වෙමින් 1990 වසරේදී බෙනසීර් භූතෝ දියණියක බිහි කළාය.

(බීබීසී ලපුවත් සේවය ඇසුරිනි)

නව අදහස දක්වන්න