නිවැරැදි කළමනාකරණයකින් ස්වභාවික සම්පත් සුරැකීම වැදගත් | දිනමිණ

නිවැරැදි කළමනාකරණයකින් ස්වභාවික සම්පත් සුරැකීම වැදගත්

ශ්‍රී ලංකාව ලොව කිසිම රටකට නැති ස්වභාවික සම්පත්වලින් අනූන රටක් බවත් නිවැරැදි කළමනාකරණයකින් ඒවා ආරක්ෂා කර ගැනීම වගකීමක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවීසීය.

ඒ සඳහා බෙංගාල බොක්කේ සජීවි සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා සාමූහික වැඩ සටහනක් සම්පාදනය කිරීමත් රාජ්‍යයන් අතර ඔවුනොවුන්ගේ වැඩසටහන් වලට අත්දැකීම් හුවමාරු කර ගැනීම හා අභියෝගයන් විශ්ලේෂණය කිරීමත් 14 වැනි තිරසර සංවර්ධන අරමුණ පිළිබඳ කලාපීය සමුළුවේ අරමුණ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙසේ පැවසුවේ ඊයේ (21) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති දිය යට ජීවිය (Blue SDG) හෙවත් 14 වැනි තිරසර සංවර්ධන අරමුණ පිළිබඳ කලාපීය සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි. ජූනි 21 සහ 22 දෙදින කොළඹ දී පැවැත්වෙන මෙම සමුළුව මුදල් හා ජනාමාධය අමාත්‍ය මංගල සමරවීර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි සහ නෝර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජෙන්ස් ෆ්‍රොලික් හොල්ට් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූහ.

බෙංගාල බොක්කට මායිම්ව තිබෙන මාලදිවයින, ඉන්දියාව, බංගලාදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව හා ඉන්දුනීසියාව යන වෙරළ රාජ්‍යයන්හි මෙම 14 වැනි තිරසර සංවර්ධන අරමුණ සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂඨ නිලධාරීන් හා විශේෂඥයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂඨ නිලධාරීන් හා විශේෂඥයන් මේ සඳහා සහභාගී වෙති. ඊට අමතරව නෝර්වේ රාජ්‍යය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ද මේ සඳහා සහභාගී වන අතර කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩල හා ජාත්‍යන්තර නියෝජිතායතනවල නියෝජිත පිරිස් ද සහභාගී වෙති.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා-

නෝර්වේ අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවේ දී ධීවර කර්මාන්තයේ පදනම වන සජීවි සාගර සම්පත් තිරසර ලෙස කළමනාකරණය කිරීමේ දී වෙරළ රාජ්‍යයන් වෙත මුහුණ දීමට සිදු වන අභියෝගයන් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගත්තා.

අපේ ගංගා ද්‍රෝණි සංරක්ෂණය සඳහා අප ලොකු අවධානයක් යොමු කර තිබෙනවා. ගංගා ආශ්‍රිතව සිදු කරන වැරැදි නිසා ගංගාවන් මුහුදට වැටෙන මෝය කටේ ස්වභාවය පවා වෙනස් වෙලා. මේවා නිසා සාගර හා ජල ජීවින්ට සිදු වන්නේ විශාල හානියක්. ජෛව විවිධත්වය ආරක්ෂා කර නොගත හොත් අපිට මහත් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා.

මේ දේවල් වටහා ගෙන අප ඩොලර් මිලයන ගණන් වියදම්කර එංගලන්තයෙන් උපදේශන සේවා ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව එංගලන්තයේ එයිට්කන් සමාගම ගංගා ද්‍රෝණි 10 ක් පිළිබඳ කටයුතු කරමින් සිටිනවා.

මෙම සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අප ඉන්නේ හොඳ තැනක නෙවෙයි. මේ පිළිබඳ කටයුතු කිරීමේ දී රටවල් සමග ගැටලු විසඳ ගැනීමට සිදු වෙනවා.

ඉන්දියාව කියන්නේ අපත් සමඟ ඓහිතිහාසික මිත්‍රත්වයක් තිබෙන රටක්. ඒ ගැනත් අවධානයට යොමු කර මෙම ප්‍රශ්න විසඳ ගත යුතුයි. සංක්‍රමණ මත්සයන්ට සංක්‍රමණයට ඇති අයිතිය ලබා දිය යුතුයි.

මන්දපෝෂණයෙන් අපේ රට ලෝකයේ දෙවැනි තැන කිව්වට ඒ ගැන සොයා බලන්න ඕනෑ. කෙසේ වුවත් මත්ස්‍ය සම්පත මගින් ලබා දිය හැකි රටේ ප්‍රෝටීන අවශ්‍යතාව පිළිබඳ විශේෂ අවධානයක් මගේ අමාත්‍යංශය යොමු කර තිබෙනවා.

පසුගිය දවසක මඩකලපුවේ දී මට අහන්න ලැබුණා එක්තරා වෙ‍රළ ප්‍රදේශයක් යම් හෝටලයකට අයත් බවක්. එහෙත් වෙරළ තියන්නේ කාටවත් අයත් එකක් නෙවෙයි. තල්මසුන් නැරඹීමට ගිහින් ඔවුන්ට හිරිහැර කරනවා. ඔවුන් පසු පස හඹා යනවා. මෙහෙම කරන්න ගියොත් ඒ සම්පතත් අපට නැතුව යන්න පුළුවන්.

කැස්බෑ පැටවුන් බිත්තරවලින් එළියට පැමිණි පසු උන්ව මුහුදට යවන්න මිනිස්සුන්ට බැහැ. උන් මුහුදට යන්නේ රෑට ක්ෂිතිජය දෙස බලලා ඒ දකින එළියෙන්. ඒ මාර්ගයේම තමයි උන් බිත්තර දාන්න වෙරළට එන්නෙත්. ගල් වැටි දාලා උන්ව වළක්වන්න බෑ.

හෝටල්වලට නීති රීති නෑ. ඒත් මා දැල් කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට කූඩාරමක් ගහ ගන්න බෑ. මේවා ප්‍රායෝගිකව සොයා බලන්න අවශ්‍යයි‍ ‍.

නීල හරිත ආර්ථික අයවැයක් ඉදිරිපත් කරමින් මේ රට පරිසර හිතකාමි රටක් කිරීමට අවශ්‍ය පරිසරය මේ රජය සකසා තිබෙනවා. විවිධ චෝදනා මධ්‍යයේ වුවත් උසස් තත්ත්වයේ පොලිතීන් භාවිතයට ජනතාව යොමු කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළා.

වැරැදි ලෙස මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම පිළිබඳව ද අපේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

මේ සියලු ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙම සමුළුවෙන් පිබිදීමක් ඇති කළා කියා මම සිතනවා. ඒ සඳහා අවශ්‍ය නීති, අදහස්, යෝජනා, කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා. ලෝකයේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරන්නේ කෙසේද යන්න පිළිබඳ ප්‍රායෝගික කතිකාවක් අපි ඇති කරනවා.

අපේ රාජ්‍ය ඇමැතිතුමා මීට පෙර සිටම මේ පිළිබඳව කටයුතු කරනවා. ඔහුට ඇති අත්දැකීම් ඇසුරෙන් එම කටයුතු සාර්ථක ලෙස සිදු කිරීමට හැකි වී තිබෙනවා. එසේම ජනාධිපතිතුමා සහ අගමැති තුමාත්, කැබිනට් මණ්ඩලයේ අපිත් අදාළ සියලු කටයුතු සඳහා සහයෝගය ලබා දෙනවා.

මත්ස්‍ය සම්පත සංවර්ධනය, ප්‍රවාර්ධනය මෙන්ම ආරක්ෂාව පිළිබඳව අපි අපේ අවධානය යොමු කරමු. මේ සඳහා නව විධි ක්‍රම යොදා ගත යුතුයි.

2025 ට පෙර ළඟා කර ගත යුතු ඉලක්ක ගණනාවක් ඇති බවත් මෙම අභියෝග වලට මුහුණ දීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සාමූහිකව ක්‍රියාත්මක වීම මගින් මනා ප්‍රවේශයක් සැලසෙනු ඇති බවත් මුදල් හා ජනාමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

14 වැනි තිරසර සංවර්ධන අරමුණ සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍ය දැඩි උනන්දුවක් දක්වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය අගය කරන බවද එම ඉලක්කයන් වෙත ගමන් කිරීම සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ ඉතා කැමැත්තෙන් කටයුතු කරන බවද නෝර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජෙන්ස් ෆ්‍රොලික් හොල්ට් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපය ද ඇතුළුව බෙංගාල බොක්කේ සජීවි සමුද්‍ර සම්පත් පර්යෝෂණ සඳහා එක්සත් ජාතීන්ගේ නෝර්වේ රාජ්‍යයේ ආචාර්ය ෆ්‍රිඩ්ජිට් ඔෆ් නැන්සෙන් ගවේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීම ද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු වේ.


සන්ති විතාරණ
ඡායාරූප- වාසිත පටබැඳිගේ 

නව අදහස දක්වන්න