කවුරු මොනවා කිව්වත් මහින්දට නැවත ඉල්ලන්න බෑ | දිනමිණ

කවුරු මොනවා කිව්වත් මහින්දට නැවත ඉල්ලන්න බෑ

ශ්‍රිලනීප 16 කණ්ඩායම

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ලබන සතියේ සිට 16 කණ්ඩායම ද සහභාගීවීමට තීරණය කළ බවත් ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ මෙන්ම දේශපාලන කටයුතුවලදී ද ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කිරීමට 16 කණ්ඩායම සුදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම දෙපාර්ශවය එක්ව ඉදිරියේ දී ආණ්ඩුව පරාජය කිරීමත් යු.එන්.පී විරෝධි ජනතා ව්‍යාපාරයක් බිහි කිරීමත් වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවත් සෙනෙවිරත්න මහතා කීවේය.

හෙතෙම මේ අදහස් පළ කළේ නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ දී 16 කණ්ඩායම විසින් ඊයේ (21) පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවසීය. අපේ 16 කණ්ඩායම දිනෙන් දින වර්ධනය වෙනවා. මාතර හා මාතලේ රැළි වලින් පසුව අපට ඉල්ලීම් රැසක් ලැබී තිබෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී සෑම ප්‍රදේශයක ම රැළි පවත්වමින් පවතින දේශපාලන තත්ත්වය ගැන ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා, අද උදෑසන අපි නීතිය හා උපදේශනය සම්බන්ධයෙන් කොල්ලුපිටියේදී කාර්යාලයක් විවෘත කළා. එයට මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වුණා. අපි එමඟින් මෙරට නීති ක්ෂේත්‍රෙය් අඩුපාඩු පිරිමහ ගැනීමට අවශ්‍ය සහය ජනතාව ලබා දෙන අතරම වෘත්තීමය ලෙස ද මැදිහත් වන්නට කටයුතු කරනවා.

අපි ඉදිරියේදී මෙරට සියලු ක්ෂේත්‍රවල ආණ්ඩු විරෝධි කොටස් එක් කර ගනිමින් ඒ හැම ක්ෂේත්‍රයක් තුළින්ම ප්‍රහාර එල්ල කරමින් විශාල යු.එන්.පී විරෝධි රැල්ලක් ඇති කරන්නට කටයුතු කරනවා. එහි පෙරහුරුව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සිදු වෙනවා. එය කල් ගියහොත් එම පෙරහුරුව යන්නේ ජනාධිපතිවරණයට. එහිදී සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජනතාවගේ දායකත්වය ජනාධිපති අපේක්ෂකයාට ලබා ගැනීමට අපි 16 කණ්ඩායම කටයුතු කරනවා. සයිටම් සිසුන් සම්බන්ධ ගැටලුව වහා විසඳීමට එම සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේ කටයුතු නිවැරදි කළ යුතු වෙනවා. ඒ වගේම ඉදිරියේදී මෙවැනි පෞද්ගලික හෝ ජාත්‍යන්තර අනුබද්ධ ආයතන මෙහි ආරම්භ කරන්නේ නම් නියමිත ප්‍රමිතියෙන් යුතු ව ඒවා ආරම්භ කළ යුතුයි. අපේ රජය සමයේ මෙය ආරම්භ වුවත් ඒ එකඟතා අනුව මේ ආයතනය කටයුතු කර නැහැ.

අද සියලු දේශපාලන පක්ෂයක්ම 16 කණ්ඩායම ගැන කතා කරනවා. අද 23 කණ්ඩායමට අපිව හීනෙන් පෙනිලා බය වෙලා ඇහැරෙනවා. අපිව බිල්ලෝ වගේ පෙන්න අරගෙන තිබෙනවා. එසේ පෙන්නේ අපේ කකුල් දෙපැත්තෙ නැති නිසයි. අපිට යු.එන්.පී පාටියේ වාටිය වෙන්න බැහැ. ඒ නිසයි අපි එළියට ඇවිත් යු.එන්.පී.විරෝධී ව්‍යාපාරයට සක්‍රීය ව දායක වෙන්න කල්පනා කළේ.

අපේ කණ්ඩායම වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවලට එස්.බී.දිසානයක හා ජෝන් සෙනෙවිරත්න මහත්වරු සහභාගී වෙනවා. සියලු පක්ෂ අද අපට බය වෙන්නේ විවිධ හේතු නිසයි. ඇතැම් අයට පාර්ලිමේන්තුවේ තමන්ගේ ආසනවලින් පස්සට යන්න වෙනවා. ඒ නිසයි ඒකාබද්ධයේ අය අකමැති වෙන්නේ. කවුරු මොනවා කිව්වත් මහින්ද රාජපක්ෂ දන්නවා තමන්ට ඉල්ලන්න බැහැ කියලා. ඒ නිසා ඔහු නම් කරන අයෙක්ට තමයි සියලු දෙනා සහයෝගය දෙන්නේ. බැසිල් රාජපක්ෂ කිව්වට පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න කියලා අපි ඒක කරනි්නේ මොකටද, තවමත් මහින්ද රාජපක්ෂවත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන නැහැ. යැයි කීවේය.

සමන්මලී ප්‍රියශාන්ති
ඡායාරූපය - රොෂාන් පිටිපන 

නව අදහස දක්වන්න