ආඥාදායක හිට්ලර්ට මල්මාලා පැලඳවීම! | දිනමිණ

ආඥාදායක හිට්ලර්ට මල්මාලා පැලඳවීම!

හිට්ලර්! ඔබතුමා නැවත එන්න; ඇවිත් අපේ රට හදන්න යැයි කෙනකු ප්‍රසිද්ධියේ කියන්නේ නම්; එම තැනැත්තාට හෝ තැනැත්තියට එක්කෝ දරුණු මානසික ආබාධයක් තිබෙන්නට පුළුවන. එසේ නැතහොත් මිනිස් සමාජයෙන් පළිගැනීමේ කුරිරු වුවමනාවක් තිබෙන්නට පුළුවන. හිට්ලර් යනු ලෝක ඉතිහාසයේ සඳහන් කෲරතම පාලකයා ය. ඔහු තොග පිටින් මිනිස් ඝාතන සිදු කළේ ය. අමු - අමුවේ මිනිස් නිදහස උල්ලංඝනය කළේය. මුළු මහත් ලෝකයම යුද පිටියක් බවට පත්කළ මේ මිනිසා දරුණු මානසික ව්‍යාධියකින් පෙළුණු බව සමහරු කියති. කෙසේවුව දේශපාලනයේදී ඔහු ආදර්ශයට ගන්නා කෙනකු දැකිය නොහැකි ය.

මෑතකදී පැවැති උපන්දින උත්සවයකදී ස්වාමීන්වහන්සේ නමක් කියා සිටියේ රට හදන්නට හිට්ලර් කෙනකු අවශ්‍ය බව ය. ඊට සුදුසුකම් සපුරා ඇති තැනැත්තා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව ද උන්වහන්සේ කියා සිටියහ. මේ අනුව හිට්ලර් කෙනකු සේ රට පාලනය කරන්නට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනාවක් ලැබී තිබේ. ඇතැම්හු මේ කතාව අසා විස්මයට පත්වූහ. හිට්ලර් යනු දරුණු ගණයේ ජාතිවාදියෙකි. ඒ අනුව රටේ සුළු ජාතීන් ඉහත කතාවෙන් අතිශය භීතියකට පත්වන්නට ද පුළුවන. ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ කතාව නිසා ලේබලයක් වැදෙන්නටත් පුළුවන. එම ලේබලයට අනුව ඔහු ජාතිවාදියකු වන්නේ ය. හිට්ලර්ට සමාන තැනැත්තකු ද වන්නේ ය. සමාජය මේ සන්දර්භය තුළ දේශපාලනය හා දේශපාලන භූමිකා හඳුනාගනු ඇතැ’යි සිතන්නට පුළුවන.

වම් ඉවුරේ දේශපාලන නායකයකු වන වාසුදේව නානායක්කාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලනය සමඟ එකඟ නැත. ඒ මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ නම්; තමන් ඊට විරුද්ධ වන බවය. මහින්ද රාජපක්ෂ කල්ලියේ සිටිමින් එබඳු ප්‍රකාශයක් කිරීමට කොන්දක් ඇත්තේ වාසුදේව නානායක්කාර වැනි අයට පමණක් යැයි සිතන්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස ගැන අල්පමාත්‍ර හැඟීමක් ඇති කෙනකුට හිට්ලර් පාලනය අනුමත කළ නොහැකි ය. මිලිටරි ආණ්ඩු පිළිගත නොහැකි ය. හිට්ලර් පාලනය ඉල්ලා සිටින අයට මොළයේ ආබාධයක් ඇතැ’යි අප කියා සිටින්නේ ඉහත සාධක අනුව ය.

රටේ ජනතාව 2015දී දේශපාලන වෙනසක් ඇති කළේ ආඥාදායකත්වයට හා මිලිටරි පාලනයට එරෙහිව ය. එහිදී බහුතරය ප්‍රජාතන්ත්‍රවාදී පිල නියෝජනය කළහ. සුළුතරයක් ආඥාදායක පිල නියෝජනය කළහ. දැන් නැවතත් සුළුතරයේ හඬ අවදි වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ හඬ අවදි වන්නේද රටේ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සැලකිල්ලට ගනිමින් ය. මේ නිදහස අහෝසි කරගැනීමේ වුවමනාවක් ඇතැමකුට තිබෙන බව ඉහත කතාවලින් පෙනී යයි. නිදහස පවතින විට නිදහසේ අගය සමාජයට දැනෙන්නේ නැත. අපේ සමාජය ඉතා ඉක්මනින් බොහෝ දේවල් අමතක කර දමන බව ද මේ සිද්ධිවලින් සනාථ වෙයි. ප්‍රභාකරන් ද එම කතාව මීට පෙර කියා තිබේ.

ඒකාධිපති පාලනයේ ප්‍රතිඵලයක් හැටියට වින්දිතයන් බවට පත්වූ විශාල පිරිසක් තවම රටේ ජීවත් වෙති. සමහරු රට හැරගොස් සිටිති. තව පිරිසක් අතුරුදහන් වී සිටිති. වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමූහ මිනිස් ඝාතනය ජාත්‍යන්තරය ඉදිරියේ සංවාදයට ලක්වූ කාරණයකි. එම සිද්ධියෙන් කියැවෙන්නේ පාලකයන්ට අවශ්‍ය ලෙස මිනිස් ඝාතන සිදු කිරීම එදා සිරිතක් වූ බවය. තාජුදීන් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහරදීම හා අතුරුදහන් කිරීම බෙහෙවින් සංවාදයට ලක්වූ සිද්ධීන් ලෙස හැඳින්විය හැකිය. මේ සිදුවීම් මත මානව හිමිකම් ගැටලු ගණනාවකට මුහුණදීමටත් අපට සිදුවිය. නැවත එබඳු පාලනයක් අපේක්ෂා කරන්නේ නම්; අපට වැරදෙන ප්‍රධාන තැන එය විය හැකි ය.

ලෝකයේ කිසිදු රාජ්‍යයක් ආඥාදායකත්වය නිසා ඉදිරියට ගියේ නැත. ආඥාදායකත්වයේ කෙළවර බලවත් විනාශයක් බව නූතන ලෝකය අපට පැහැදිලි කර දී තිබේ. ඉරාකය, ලිබියාව, උගන්ඩාව මෑතකාලීන නිදසුන් ලෙස දැක්විය හැකි ය. ජර්මනිය පවා යුරෝපයේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්වූයේ හිට්ලර්ගෙන් පසුව ය. එහෙත් හිට්ලර්ට, සදාම් හුසේන්ට, ගඩාෆිට හා ඉඩිඅමීන්ට ගුණ වයන මිනිස්සු අදත් සිටිති. එය මිනිස් ස්වාභාවය වන අතර එබඳු දේ මුළුමනින් නතර කළ නොහැකි ය. කෙසේ වුව මේ මතවාද පරාජය කළ යුතු ය. එසේ නොවුණහොත් බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. ‘හිට්ලර් එල්ලා මරනු!’ යනුවෙන් පොත් ලියැවෙන්නේ දුෂ්ට මතවාද පරාජය කිරීම සඳහා ය.

රට හදන්නට නම්; ඒකාධිපති පාලනයක් ඕනෑ යැයි මතයක් දැන් ප්‍රචාරය වෙයි. ප්‍රචාරය වෙනවා නොව; ප්‍රචාරය කරනවා යැයි කීම වඩා නිවැරැදිය. මේ මතයට ඇතුළත් රට හැදීම යන්න ඒ හැටි පැහැදිලි නැත. රට හැදීම යනු විදේශ ණය හැකිතාක් ලබාගෙන ප්‍රභූ පවුල් කිහිපයක් යෙහෙන් වැජඹීම ද? තනි පුද්ගලයකුගේ හිතුවක්කාරී පාලනයකට රට යටත් කිරීම ද? ජනමාධ්‍ය නිදහස අහෝසි කිරීම ද? විරුද්ධවාදීන් ඝාතනය කිරීම ද? ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම ද? පසුගිය කාලයේ අත්දැකීම්වලට අනුව රට හැදීම ලෙස සිදුවී ඇත්තේ එබඳු දේවල් ය. ලෝක ප්‍රජාවගේ අවමානයට ලක්වීම, මානව හිමිකම් චෝදනා එල්ලවීම, ආර්ථික සම්බාධක ඇතිවීම හා විදේශ ණය කන්ද විශාලවීම එහි තවත් ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකිය.

මේ සන්දර්භය තුළ ලාභ - ප්‍රයෝජන ගත් සුළු පිරිසක් ද සිටි බව අමතක කළ යුතු නැත. එම පිරිස ඒකාධිපති මතවාදය පසුපස අදත් සිටිති. ඔවුන්ගේ විවේචනය වන්නේ ආණ්ඩුවට හා නූතන පාලකයන්ට පණ මදි බව ය. ඔවුන්ගේ තර්කයට අනුව විරුද්ධවාදීන් දිගට - හරහට රිමාන්ඩ් කළ යුතු ය. වර්ජකයන්ට වෙඩි තැබිය යුතු ය. නීතියට හා අධිකරණයට බලපෑම් කළ යුතුය. ජනමාධ්‍ය හැසිරවිය යුතු ය. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මූලික මිනිස් අයිතීන් තඹදොයිතුවකට නොසලකා රට පාලනය කළ යුතු ය. එසේ නැතිව රට හදන්නට බැරිය. බුද්ධිමතුන් මේ මතය පිළිගනී ද? සිහිනුවණ ඇති කෙනකුට මේ මතය පිළිගත හැකි ද?

ජනාධිපතිවරයා නිකවැරටියේ දී අපූරු කතාවක් කර තිබේ. එම කතාවෙන් කියැවෙන්නේ යළිත් ඒකාධිපති පාලනයක් සඳහා බණ දේශනා කරන්නේ නම්; අපට වැරදෙන පළමු තැන එය බවය. එම කතාව යළි - යළිත් සිහිපත් කිරීම වටී. හිට්ලර් කෙනකු යළි බලයට පත්වුවහොත් ඒ අපේත් රටේත් විනාශය වන්නේ ය.

 


නව අදහස දක්වන්න

Or log in with...