ශ්‍රී ලංකා-කොදෙව් ඓතිහාසික තෙවැනි තරගය වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක | දිනමිණ

ශ්‍රී ලංකා-කොදෙව් ඓතිහාසික තෙවැනි තරගය වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර ක්‍රීඩා කෙරෙන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ ලොව වඩාත්ම වේගවත් හා පන්දුව බවුන්ස් වන තණතීරුවලින් එකක් වන කෙන්සිංටන් තණතීරුවේය.

බාබෙඩොස් කොදෙව් දූපතේ බ්‍රිජ්ටවුන් නුවරදී මේ තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 11.30 ට ය.

කෙන්සිංටන් තණතීරුව වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයකි. මේ ටෙස්ට් තරගමාලාවේ මෙතෙක් ක්‍රීඩා කෙරුණු සෑම තරගයකදීම පන්දුව ඉතා ඉහළට බවුන්ස් වන ආකාරය ප්‍රදර්ශනය විනි. එහි රහස ක්‍රීඩාවට යොදා ගත් පන්දුවේ වර්ගයේ වෙනස ය.

කොදෙව්වන් මීට පෙර තරග සඳහා යොදා ගනු ලැබුවේ ‘කොකබුරා’ පන්දුවයි. එහෙත් මේ තරගමාලාව සඳහා ඔවුන් යොදා ගන්නේ ‘ඩියුක්‘ පන්දුවයි. මේ පන්දු වර්ගය ‘කොකබුරා’ වර්ගයේ පන්දුවලට වඩා ඝනකමින් වැඩිය. එබැවින් ‘ඩියුක්‘ පන්දුව වඩා වැඩියෙන් බවුන්ස් වෙයි. ‘ඩියුක්’ පන්දුව යොදා ගනිමින් එංගලන්තයේ ක්‍රීඩා කෙරුණු ටෙස්ට් තරගයක් දින දෙක හමාරකින් අවසන් වී තිබෙන බවට වාර්තා වෙයි. දිවා රාත්‍රී තරගය ක්‍රීඩා කෙරෙන රෝස පැහැති ‘ඩියුක්’ පන්දුවෙන් වැඩි බවුන්ස් වීමක් බලාපොරොත්තු විය හැක.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහි පැමිණ සිටිනේ කොදෙව් තණතීරුවල පන්දුව බවුන්ස් වන බව දැනගෙන ඊට සූදානම් වීමෙන් පසුවය. ට්‍රිනිඩෑඩ්හි පැවැති පරාජිත පළමු තරගයට වඩා සාන්ත ලුසියාහිදී ජය පැරදුමින් තොරව අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් දක්ෂ අයුරින් ක්‍රීඩා කළේය.

ඒ අනුව තෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වඩාත් හොඳ ක්‍රීඩාවක් බලාපොරොත්තු විය හැක. මේ තරගය දිවා රාත්‍රියේ ක්‍රීඩා කරන බැවින් එය ‍දෙපිලටම එක සමාන නවමු අත්දැකීමක් වෙයි. ඒ, මේ කණ්ඩායම් දෙක ම එතරම් දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රීඩා කර නැති බැවිනි.

තරග තුනකින් සමන්විත මේ ටෙස්ට් තරගමාලාවේ මේ වන විට 0-1ක් පිටුපසින් සිටින ශ්‍රී ලංකාව අනිද්දා ඇරැඹෙන තරගය ජයග්‍රහණය කර තරගමාලාව සමව අවසන් කිරීමට සෑම උත්සාහයක්ම දරණු ඇත. අනෙක් අතින් බලන විට, වසර පහළොවකට පමණ පසුව ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගමාලාවක ජයග්‍රහණයක් පේන තෙක් මානයට පිවිස සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ තරගය කෙසේ හෝ ජය ගැනීමට උපරිම උත්සාහයක් දරණු ඇත.

හේරත් ට තුවාල

මේ අතර පෙරේදා පුහුණුවීම්වලදී රංගන හේරත් ආබාධයකට ලක්ව තිබේ. වමතින් දඟ පන්දු යවන හේරත්, පන්දු රැකීමේ පුහුණුවීම්වල යෙදී සිටියදී පන්දුව වැදී දකුණු අතේ වෙදැඟිල්ල හා සුළැඟිල්ල අතර ප්‍රදේශය තුවාල කරගෙන තිබේ. තුවාලයට මැහුම් පහක් දමා තිබෙන අතර ඔහු සිය දකුණු අත කරපටියකින් එල්ලා ගෙන සිටී.

කෙසේ වෙතත් හේරත් ආපසු ශ්‍රී ලංකාවට නොයවනු ඇත්තේ තරගයට පෙර තුවාලය සුව වී ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. මහේල උඩවත්ත ද දෙවැනි තරගයට පෙර පුහුණුවීම්වලදී තුවාල ලැබූ අතර ඔහු එම තරගයට ක්‍රීඩා කළේ වෙළුම් පටි යොදා ගෙනය.

හෙට්මයර් වෙනුවට කීමෝ පෝල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තෙවැනි තරගයේදී ඔවුන්ගේ වේග පන්දු බළඇණිය තව තවත් ශක්තිමත් කරමින් විසි හැවිරිදි කීමෝ පෝල් නමැති වේග පන්දු යවන්නා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. පෝල් කැඳවා ඇත්තේ අසනීපයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත්වූ ෂිම්රොන් හෙට්මයර් වෙනුවටය.

පෝල් ජාත්‍යන්තර එක් දින තරග හතරකට හා විස්සයි20 තරග දෙකකට ක්‍රීඩා කර ඇතත් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර නැත. කෙසේ වෙතත් තරග 14කින් ඔහු පළමු පෙල ක්‍රිකට් 17.35ක සාමාන්‍යයක් සටහන් කර තිබේ.

කීමා රෝච් හා ෂැනන් ග්‍රේබ්‍රියල් යන ආරම්භක පන්දු යවන යුගලය වෙනස් කිරීමට කොදෙව්වන් උත්සාහ නොකරනු ඇත. දෙවැනි තරගයේදී කඩුල්ලක් ලබා ගැනීමට අසමත් වූ මිගුවල් කුමින්ස් වෙනුවට කීමෝ පෝල් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

නව අදහස දක්වන්න