හලාවත මැරවල ප්‍රදේශය පීරමින් විශේෂ කසිප්පු මෙහෙයුමක් | දිනමිණ

හලාවත මැරවල ප්‍රදේශය පීරමින් විශේෂ කසිප්පු මෙහෙයුමක්

පුත්තලම දිසා සමුහ ප්‍රසාද් පුර්ණමාල්

වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් නිති විරෝධි මත්පැන් සොයා හලාවත මැරවල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් පසු සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත .පසුගිය 21වැනිදා අලුයම සිට දහවල් වනතුරු මේ සෝදිසි මෙහෙයුම පැවැත්විණි. හලාවත මැරවල දුපත් සමුහය ආශ්‍රිතව නිති විරෝධි මත්පැන් පෙරීම ඉහළ යාම හේතුවෙන් ඇතිවී ඇති සමාජ ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් මේ වැටලීම සිදුකළ බව වලාන දුෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා පැවැසිය . මේ වැටලීම සදහා වලාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් නාවික කොට්ඨාසය ,පොලිස් මාධ්‍ය ඒකකය

ඇගිලි සටහන් ඒකකය , පොලිස් යතුරු පැදි ඛණ්ඩය හා මිගමුව , යක්කල, කැලණිය ,ඇතුළු පොලිස් ස්ථාන කීපයකින් පොලිස් නිලධාරීන් සියයකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇත .

මේ පොලිස් නිලධාරීන් කණ්ඩායම් දහයකට බෙදී මැරවල ග්‍රාමය හා දුපත් වට කර ඇත.

මේ වැටලීමේදී නිවාස තුළ තිබු හා දුපතේ සඟවා තිබු නිති විරෝධි මත්පැන් හා ඒවා පෙරීමට භාවිතා කරනු ලබන ගෝඩා ඇතුළු ද්‍රව්‍ය හා පෙරුම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත .

මේ වැටලීම සදහා යතුරුපැදි ඛණ්ඩයේ නිලධාරීන් හා පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහාය ඉතා වැදගත් වූ අතර නාවික පොලිස් භටයන් බෝට්ටු දෙකක් ආධාරයෙන් මැරවල දුපත් සමුහයට ගොස් පෙරුම් උපකරණ හා නීති විරෝධී මත්පැන් විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට හා අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . මේ වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන් ගමන් ගත් ඔරුවක් පෙරලි ඇති අතර ඉන් කිසිදු නිලධාරියකුට අනතුරක් සිදුව නොමැත .මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් පරිදි වලාන දුෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල්

ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම පරිදි වලන දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති රන්ජිත් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් මේ වැටලීම සිදුකර තිබේ . නීති විරෝධී මත්පැන් භාවිතය අවම කිරීම සදහා වලාන දුෂණ මර්දන ඒකකය සෑම විටම ක්‍රියා කරන අතර මේ සදහා මහජනතාවගේ තොරතුරු අවශ්‍ය බව මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මෙහිදී පැවැසු අතර , ඉදිරි පොසොන් සමයේදී අනුරාධපුරය ඇතුළු ප්‍රදේශවල මේ වැටලීම් වැඩි කරන බවද හෙතම වැඩිදුරටත් පැවැසිය . අත්අඩංගුවට ගත් සැකකරුවන් හා නීති විරෝධී මත්පැන් ඇතුළු උපකරණ හලාවත මුලස්ථාන පොලිසියට භාර දීමට පියවර ගන්න ලදී .

නව අදහස දක්වන්න