ට්‍රම්ප් මානව හිමිකම් ඉතිහාසය අලුතින් ලියයි | දිනමිණ

ට්‍රම්ප් මානව හිමිකම් ඉතිහාසය අලුතින් ලියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් (UNHRC) අමෙරිකා එක්සත් ජනපදය ඉවත් විය. එය අපක්ෂපාතීව ක්‍රියාත්මක නොවන බව පවසමින් අමෙරිකාව එහි ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක්කර තිබිණි. මානව හිමිකම් කවුන්සිලය දැඩි ඊශ්‍රායල් විරෝධි පිළිවෙතක පිහිටා සිටින බව පෙනෙන්නේ යැයිද එක්සත් ජාතීන්ගේ අමෙරිකා තානාපති නිකී හේලි කළ ප්‍රකාශනයේ සඳහන් විය . ඇය එම ප්‍රකාශය කරන අවස්ථාවේ අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝද එහි සිටියේය. මෙම චෝදනාවම නඟමින් මීට මාස කිහිපයකට පෙර අමෙරිකාව යුනෙස්කෝවෙන්ද ඉවත් විය.

කවුන්සිලය තුළ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට තමන් ගෙනගිය ප්‍රයත්නය වැළැක්වීමට රුසියාව, චීනය, කියුබාව, ඊජිප්තුව වැනි රටවල් ක්‍රියාකළ බවද එම ප්‍රකාශයේ දැක්වේ. සාමාජික රටවල් 47කින් සමන්විත මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ සිදුනොවන්නේ නම් අමෙරිකාව ඉන් ඉවත්වන බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණේ මීට මාස ගණනාවකට කලිනි. මේ වසර ආරම්භයේ පටන්ම එය සාකච්ඡාවට ලක්විය. අමෙරිකාව ඉන් ඉවත්වනු ඇති බවට මාස ගණනාවකට පෙර සිටම මත පළවිය.

තැනින් තැනට වෙනින් වෙනම

කවුන්සිලයේ සාමාජිකයන්ද මූලික අයිතීන්වලට පවා ගරු නොකරන තත්වයක් ඇතැයි, වෙනිසියුලාව, චීනය, කියුබාව, කොංගෝව වැනි රටවලට ඇඟිලි දිගුකරමින් අමෙරිකාව කියා සිටී. මානව හිමිකම් පිළිබඳ සැලකිලිමත්වීම වෙනුවට දේශපාලන පක්ෂපාතීත්වය මත එය මෙහෙය වෙමින් ඇති බවට පැහැදිලි සාක්ෂි ඇතැයි අමෙරිකාව කියා සිටින්නේ ඊශ්‍රායලය නිදසුන් කොට ගනිමිනි.

එ.ජා. මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල්හුසේන්, අමෙරිකාව තීරණය අනුමත කළ නොහැකිබව ප්‍රකාශකර තිබේ. ලොව පුරා සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් ගණනාවකට අමෙරිකාවද සම්බන්ධ බව ඔහු පෙන්වාදීඇත. මේ සතිය ආරම්භයේදීද මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාව එම පිළිවෙතින් බැහැරවිය යුතු බවය.

කවුන්සිලය ප්‍රතිසංවිධානය කිරීමේදී අයහපත් මානව හිමිකම් වාර්තාවක් ඇති රටවල් ඉන් නෙරපීම වැනි යෝජනා ගණනාවක්ම ඉදිරිපත්ව තිබිණි. අමෙරිකාව, රුසියාව, කියුබාව, ඊජිප්තුව වැනි රටවලට චෝදනා කළද එම රටවල් දිගටම පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනවශ්‍ය අන්දමින් ස්වෛරී රාජ්‍යයන්ට බලපෑම් කරමින් සිටින බවය. තානාපති අංශ මේ පිළිබඳ දැක්වූ අදහස් අතර අමෙරිකාවේ මෙම පියවර ඔවුන්ගේ විවේචනයට ලක්වූ රටවලට රුකුලක් වනු ඇතැයිද පැවැසිණි.

මානව හිමිකම් වෙනුවෙන් හඬනඟන ඇතැම් කණ්ඩායම් මීට ප්‍රතිචාර දැක්වූයේ, මානව හිමිකම් ට්‍රම්ප් පාලනය යට‍ෙත් අමෙරිකා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවක් නොවන බව පවසමිනි. ලොව ඇතැම් තැන්වල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන අමෙරිකාව නුදුටු නෙතින් සිටින බවත් මින් අදහස් කෙරෙන්නේ යැයිද ඔවුහු කියා සිටිති. එහෙත් නිකී හේලි, අමෙරිකාව තීරණය දැනුම් දෙමින් කියා තිබුණේ කවුන්සිලයෙන් ඉවත් වුවද මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති කැපවීමෙන් අමෙරිකාව බැහැර නොවන බවය.

අමෙරිකාවේ තීරණය ගැන විමතියට මෙන්ම අපේක්ෂාභංගත්වයට පත්වන බව පැවසූ මනවහිමිකම් කොමසාරිස් අල්හුසේන්, අද ලෝකයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරනවිට අමෙරිකාව කළ යුත්තේ ඉන් ඉවත්වීම නොව වඩාත් ප්‍රබල ලෙස ඊට දායක වීම බවද අවධාරණය කර තිබිණි.

යුරෝපා සංගමයේ ප්‍රතිචාරය වූයේ ලෝක මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආධාරකරුවකු මෙන්ම ශුරයකු ලෙසද තමන් දිනා සිටි අමෙරිකාවේ භූමිකාව මේ තීරණය හේතුවෙන් හෑල්ලුවන බවයි. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් කියා සිටියේ අමෙරිකාවේ තීරණය ගැන කනගාටු වන බවයි.

ගාසා තීරයේදී පලස්තීන විරෝධතාකරුවන් පිරිසක් ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයකින් මිය යාම පිළිබඳ ඉකුත් මාසයේදී මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනාවක් සම්මත විය. අමෙරිකාව ගත් තීරණයට ආසන්නම හේතුවක් ලෙස එයද පෙනෙන්නට තිබේ. කෙසේ වුවද මාස කීපයක් තිස්සේම අමෙරිකාව මෙවැනි පියවරක් ගැනීමට ඉඩ ඇති බවට ලකුණු පළවී තිබු බැවින් මේ තීරණය මවිතයට කාරණයක් වන්නේ නැත. අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමට අන්තර්ජාතික නිරීක්ෂකයන් යැවීමටද යෝජනා වී තිබිණි. එම යෝජනාවට එරෙහිවූයේ ඇමෙරිකාව හා ඔස්ට්‍රේලියාව පමණි.

අමෙරිකාව ගත් තීරණය ඊශ්‍රයලය අගය කර තිබේ. එය ධෛර්යය සම්පන්න තීරණයක් බව ඊශ්‍රයලය නිකුත් කළ ප්‍රකාශයේ දැක්විණි. අමෙරිකාව, යුනෙස්කෝවෙන් ඉවත්වූයේද එය ඊශ්‍රායලය සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත අනුමත කළ නොහැකි බව පවසමින් ඊට විරෝධය පළ කරමිනි. අමෙරිකාව චෝදනාව යුනෙස්කෝව ප්‍රතික්ෂේප කර තිබේ. එහිදීද ඊශ්‍රායලය අමෙරිකාව ගත් තීරණය අගය කළේ එය එඩිතර පියවරක් බව පවසමිනි.

තාප්පයේ ප්‍රශ්නය

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් අමෙරිකාව නඟන ප්‍රධාන තර්කයක් වී ඇත්තේ එහි ප්‍රතිසංස්කරණ සිදුකිරීමට දැරූ වෑයම ව්‍යාර්ථ වූ බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ආරක්ෂක මණ්ඩලයට අදාළවද ප්‍රතිසංස්කරණ විය යුතු බවට දශකයකටත් වැඩි කාලයක් තිස්සේ හඬ නැ‍ඟෙමින් ඇතත් එය තවමත් යථාර්ථයක් වීනොමැත. එය එසේ වීමට අමෙරිකාව ඇතුළු බලවත් රටවල් ඊට උනන්දුවක් නොදැක්වීමද ප්‍රබල හේතුවකි.

අමෙරිකාව ගත් තීරණයට බලපාන්නට ඇතැයි ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන තවත් කාරණයක් තිබේ. ඒ අමෙරිකා - මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමණික මව්පියන්ගෙන් වෙන්කර ඔවුන්ගේ දරුවන් රඳවා තැබීමට ට්‍රම්ප් පාලනය කිරීම බලවත් ලෙස විවේචනයන්ට හා විරෝධයට ලක්වීමය. ඉකුත් සඳුදා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාද වොෂින්ටන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ එලෙස දරුවන් වෙන්කර තැබීමෙන් වළකින ලෙසය. අමෙරිකාව ඔහුගේ ඉල්ලීමට දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇති බව ඊට දිනකට පසුව ගත් පියවර මඟින් පැහැදිලි වේ.

ඊශ්‍රායලය සතුටු සිතින්

දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඉවත්වීමෙන් අනතුරුව අමෙරිකාව අවස්ථා කිහිපයකදීම බහුපාර්ශ්වීය සම්මුතීන් හා එකඟතාවන්ගෙන් බැහැරවී තිබේ. ඉරාන න්‍යෂ්ටික සම්මුතියෙන් ඉවත්වීමටද මීට සති කිහිපයකට පෙර අමෙරිකාව ක්‍රියා කළේය.

මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන හා පෙනීසිටින සංවිධාන ගණනාවක් අමෙරිකාව ගත් තීරණය ගැන කණස්සල්ල හා විරෝධය පළකර තිබිණි. ඒ අතර හියුමන් රයිට්ස් ෆස්ට්, ‍ෙස්ව්ද චිල්රන්, කෙයාර් වැනි සංවිධාන ද වේ. ඊශ්‍රායල් ආරක්ෂා කිරීමට අමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ග හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ද විවේචනට ලක්වී තිබේ.

මානව හිමිකම් කොමිසමේ කාර්යභාරය අගය කරන පාර්ශ්වවල අදහස වන්නේ එය දකුණු සූඩානය, බුරුන්ඩි, කොංගෝ, සහ උතුරු කොරියාව වැනි රටවල සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ කටයුතු කර ඇති බවය. සිරියාව පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවද ඔවුහු පෙන්වා දෙති. ‍

ඊට වෙනස් මතයක් දරන පාර්ශ්වයන්ගේ අදහස මානව හිමිකම් කොමිසම පක්ෂපාතීව මෙහෙයවෙමින් ඇති බවය. ඇතැම් රටවල් සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක වන්නේ අසාධාරණ සහ අයුක්තිසහගත ලෙස බවට චෝදනා එල්ලවී තිබේ. අමෙරිකාව ඉන් ඉවත්වීමෙන් කාලයක් තිස්සේ එල්ලවූ එම චෝදනාවලට පදනමක් ඇති බව තහවුරු වේ. මෙතෙක් එවැනි චෝදනා හමුවේ අනුගමනය කළ ප්‍රතිපත්තියට වඩා පැහැදිලි වෙනස් ප්‍රතිපත්තියක් අමෙරිකාව තමා සම්බන්ධයෙන්, අනුගමනය කළ බව මේ පියවර තුළින් පැහැදිළි වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති ඉහළ පෙළේ ආයතනික ව්‍යුහයන් වන මානව හිමිකම් කොමිසම ස්වෛරී රාජ්‍යයන්ට අනවශ්‍ය ලෙස අතපෙවීම් නොකළ යුතු බව මෙන්ම ඊට එවැනි බලයක් නොමැති බවට පසුගිය වසර ගණනාවක් තිස්සේ හඬ නැගිණි. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධනය හෝ මානව හිමිකම් කොමිසම ඒවාට සවන්දෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත. ‍

මෙතැනින් කොතැනටද?

අමෙරිකාව ගත් තීරණයත් සමඟ එසේ නිහඬව සිටීමට ඔවුන්ට ඉඩ නොලැබේ. මෙහිදී අමෙරිකාව ක්‍රියාකරන ආකාරය මෙන්ම මානව හිමිකම් කොමිසම ක්‍රියාකරන ආකාරයද එහි සෙසු සාමාජික රටවලට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම අදාළය. මෙය පූර්වාදර්ශයක් කොට ගනිමින් තවත් රටවල් ඉන් පිටවනු ඇතිදැයි තවමත් කිව නොහැකිය. මානව හිමිකම් කොමිසමේ දොළොස් වසරක ඉතිහාසයේ ස්වෙච්ඡාවෙන් එහි සාමජික රටක් ඉන් ඉවත්වූ පළමු අවස්ථාව මෙයය. වර්ෂ 2011 දී ලිබියාවේ සාමාජිකත්වය අත්හිටුවීය. ‍‍එ.ජා. මානව හිමිකම් කොමිසම සඳහා එ.ජා. මහාමණ්ඩලය විසින් තෝරාගන්නා සාමාජික රටවල් 47ට තුන්අවුරුදු කාලසීමාවක් හිමිවේ. එවැනි කාලසීමා 2ක් පමණක් එකදිගට එහි රැඳීසිටීමට ඉඩ තිබේ. ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ පාලන සමය තුළ අමෙරිකාව වසර 3ක් එය වර්ජනය කළේය. කොමිෂම ස්ථාපිත කරන විට එ.ජා. අමෙරිකා තානාපති වශයෙන් කටයුතු කළේ ජෝන් බෝල්ටන්ය. අදවනවිට ඔහු අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක වරයාය. ඇතැම් විශ්ලේෂකයන් පවසන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ ඔහුගේ දැක්ම එදා සහ අද අතර එතරම් වෙනසක් වී ඇති බවක් නොපෙනේ. කොමිසමෙන් ඉවත්වන්නට අමෙරිකාව මුල් තුන්වසර නිමාකර දෙවන තුන්අවුරුදු කාලසීමාවෙන් අඩක් පමණක් සම්පූර්ණ කර සිටියේය. දෙවන කාලසීමාව සඳහා එරට තෝරාගත්තේ 2016 වසරේදීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය බලවතුන්ගේ කෙළිබිමක් වී ඇති අයුරු මේ සිදුවීමෙන් නැවතත් පැහැදිළි වන බව විචාරකයන්ගේ මතයයි.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න