සඳ | දිනමිණ

සඳ

03 කොටස

මෙලාවියෝට නින්ද ගියේ නෑ. ඇඳේ ඉඳගෙන බිත්තිය දිහා බලාගෙන හිටියා. බිත්තිය අවුරුදු ගාණකින් පිරියම් කරල නෑ. ඒත් ඔහේ බලාගෙන හිටියා. එලාම් එක වැදෙනකොට ගැස්සිල නැගිටල වැඩට ගියා. දවසක් ඇතීනාගෙන් කෝල් එකක් ආවා. මෙලාවියෝ කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉන්න අතර ඇඟිල්ල වෙව්ලල ඇමතුම සම්බන්ධ කරන බොත්තම එබුණා.

මෙලාවියෝ රෑ වෙලා චීන කඩේකින් නූඩ්ල්ස් කෝප්පයක් අරගෙන චිත්‍රපටි ශාලාවට ගියා. ඒක වහලා. කළු දුමාර වැස්සට විදුලි ලුහුවත්වීමක් වෙලාලු. ඉතින් මෙලාවියෝ තවත් චීන කඩයකට ගිහින් තව නූඩ්ල්ස් එකක් ඇණවුම් කලා. කඩේ තිබුණේ තට්ටු හැත්තෑවක් විතර උඩින්. ඒ හින්දා උල් ගොඩනැගිලි අතරින් අහස පේනවා. කළු දුමාර වලාකුළු පෙරළි පෙරළි අහස දිගේ යනව පේනවා. අතරින් පතර තරු පේනවා. නූඩ්ල්ස් ඉවරයි. කාලෙකට පස්සෙ වොඩ්කා වීදුරුවක් බොන්න මෙලාවියෝට හිතුණා. ‘පනහෙ එකක්’මෙලාවියෝ අතේ ඇඟිලි පහ පෙන්නල සිංහල නොතේරෙන වයසක චීන ගෑනිට කිව්වා. ගෑනි අරන් ආවෙ රම්. ඒක මාරු කරගන්න ගියොත් සෑහෙන සන්නිවේදන ප්‍රශ්නෙකට මූණපාන්න වෙන නිසා මෙලාවියෝ රම් උගුර හෙමීට හෙමීට තොලගෑවා. එක එක ගමන්වල යන එක එක ජාතියෙ මිනිස්සු තමන්ගෙ වාහන පීඨිකාවට පාත් කරල කෑම අරගෙන යනවා. මෙලාවියෝ බලාගෙන හිටියා. අමුතු අමුතු මිනිස්සු.

ඈත උල් ගොඩනැගිල්ලක් අග්ගිස්සෙන් හඳ පායාගෙන එනවා. පෝයට ළඟයි. ඒ හින්දා හඳ දීප්තිමත්. මැදින් දුවන කළු දුමාර වලාකුළුවලින් බොඳ වුණත් හඳ හරිම දීප්තියෙන් හීතලට මෙලාවියෝ දිහා බලාගෙන හිටියා.

මෙලාවියෝ වාහනේ අහසට නංවගෙන ඒ මේ අත රවුම් ගැහුවා. කම්මැලි දවසක්. මිනිස්සු එහෙට යනව මෙහෙට යනවා. අහස මැද හැප්පෙනවා. අඩි සිය ගණන් පහළට වැටෙනවා. පුංචි පුංචි ගිනි පුපුරු වගේ පුපුරනවා පේනවා. හරිම කම්මැලි දවසක්.

මෙලාවියෝට දැනෙනවා ලෙඩ ගතියක්. ඒ ඇයි … එයා කල්පනා කළා. සමහර විට රම් වීදුරුවට. නැත්නම් නූඩ්ල්ස් දෙකක් කාපු නිසා ... දන්නෙ නෑ. ආපහු කාමරයට එනකොට පාන්දර හතරයි. කළු පූසා බඩගින්නට ගොරවනවා. පූස් කෑම පැකට් එක ම පූසා ඉස්සරහ තියපු මෙලාවියෝ නාන්න ගියා. නාන්න කම්මැලියි වගේ. හැරිලා ආවා. ඇඳට නැගල චිත්‍රකතා පොතක් පෙරළගත්තා. පිටුවකට වඩා කියවන්න හිතුණෙ නෑ. ඒක වීසි කරල කල්පනා කළා. කල්පනා කළා. කල්පනා කළා ගොඩක්. ඇඟට පණ නෑ වගේ. ලෙඩ ගතියක් දැනෙනවා.

අන්තිමට ඇඳ ගාව දණ ගහගෙන වැටුණා. දණිහට නැට්ට අහුවුණ කළු පූසා විලාප තිය තිය කුස්සියට දිව්වා. කළු කෝටු රූප. මෙලාවියෝට මැවි මැවී පෙනුණා. සරුංගලයක් පස්සෙ දුවන පුංචි ළමයි. පරිස්සමෙන් ඉටිපන්දමක් පත්තු කරන ගෑනු ළමයා. එක දිගට මැවි මැවී පෙනුණා. මුළු කාමරය ම එක පාර ඇස් දෙකක් ලස්සන හිනාවක් එක්ක පුංචි වෙලා යනව වගේ පුංචි වෙලා යනවා. ආයෙ දඟලන කළු පාට ඉරකින් ඇන්ද ඉරක් බැහැගෙන යනවා.

ඇතීනගෙ කළු සුදු කෝටු රූපවල තිබුණ වර්ණ! මෙලාවියෝ ඇඳේ මූණ ඔබා ගත්තා. හැම තැනම රූප. දුවන ළමයි. කළු සුදු රූපවල වර්ණ රූපවලත් නැති තරම් මෙතරම් ජීවයක්! මෙලාවියෝට කවදාවත් ඊට කලින් එහෙම දැනිල තිබුණේ නෑ.

ඇතීනගෙ අභ්‍යන්තරයේ තිබිල මෙලාවියෝට හම්බුණා එයාට සෑහෙන කාලයක් තිස්සෙ අමතක වෙලා තිබුණ දෙයක්. ජීවය. පුපුරු ගහහ දඟ කරන මොකක් හරි. එයා කිසිම දෙයක් හංගගෙන ඉඳල නෑ. හංගන්න කිසිම දෙයක් එයාට නෑ. මෙලාවියෝට දැණුන දේවල්!

එයාගෙ ඊළඟ දවස් ටික ලේසි වුණේ නෑ. හීනෙන් වගේ සුපුරුදු දේවල් කරගෙන ගියා. වේග සීමා පන්නල ධාවනය කරල පොලීසියෙන් දඩ කෑවා. චිත්‍රපට ශාලාවෙ දි ප්‍රොජෙක්ටරය ඉස්සරහ හිටගෙන ඉඳල මිනිස්සුන්ගෙ බැණුම් ඇහුවා. කාමරේට ආපු ඉන්ටලෙක්ට් කෝර්ප් සායන අධීක්ෂක රෝගියෙක් කියල හිතල ඩෙස්පිඩොමීන් නිර්දේශ කරල අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ආවා. රෑක එක පාර ටැක්සි දෙකක් හප්පල ටැක්සිකාරයො දෙන්නගෙන් ම ගුටි කෑවා. මෙලාවියෝට නින්ද ගියේ නෑ. ඇඳේ ඉඳගෙන බිත්තිය දිහා බලාගෙන හිටියා. බිත්තිය අවුරුදු ගාණකින් පිරියම් කරල නෑ. ඒත් ඔහේ බලාගෙන හිටියා. එලාම් එක වැදෙනකොට ගැස්සිල නැගිටල වැඩට ගියා.

දවසක් ඇතීනාගෙන් කෝල් එකක් ආවා. මෙලාවියෝ කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉන්න අතර ඇඟිල්ල වෙව්ලල ඇමතුම සම්බන්ධ කරන බොත්තම එබුණා.

‘හෙලෝ ඩොක්ටර්’ඇතීනා කිව්වා.

‘හෙලෝ’මෙලාවියෝට කියවුණා.

‘කොන්ග්‍රස් එකෙන් මට කිව්ව තාම මගේ මනෝ ඇගයුම ලැබිල නෑ කියල. තව කල් යයි ද ඩොක්ටර්’

‘ආ … ‘මෙලාවියෝ කල් ගත්තා. ඊළඟට කියවෙන්න තියෙන ලොකු ම බොරුව කියවෙන්න දුන්නා.‘එතන මෙටා ඇනලයිසිස් එකක් වෙන්න ඕන ඇතීනා. ඒකට කල් යනවා.’

ඇතීනාගෙ පැත්තෙන් සද්ද නෑ ටික වෙලාවකට. ‘හා ..’එයා කිව්වා. ‘හැබැයි දවස් දෙකක් ඇතුළත ඕනෙ කිව්වා ඩොක්ටර්’

‘අපොයි පුළුවන්’මෙලාවියෝ බොහොම අවධාරණයෙන් කිව්වා. ඇතීනා දුරකතනය විසන්ධි කළා. මෙලාවියෝ ඉස්සරහ හිටපු තරුණ ගැහැනිය නට නට හිටියා. එයාගෙ ආච්චි එක අතකින් කොන්ද අල්ලගෙන අනිත් අතින් එයාගෙ මිණිබිරිය පුටුවට ඇදගෙන එමින් හිටියා.

මෙලාවියෝ ඒ දෙන්නා පහු කරගෙන කොරිඩෝරය දිගේ ඔහේ ඇවිද්දා. එක එක සායන කාමරවලට යන-එන එක එක ජාතියෙ මිනිස්සු අතර හැප්පි හැප්පි ඔහේ ඇවිදන් ගියා. ස්මෝකින් රූම් එකේ දොර ඇරල. දොර තරමේ දුම් ගුලියක් එළියට එල්ලිලා. එයා ඒක මැදට රිංගුවා. අඳුර මැද එක එක රූප. පාට පාට ගිනි පුංජ. එක එක සුවඳ දුම්. අන්තිමට එයා සඳළුතලයෙන් ආවා ලෝකෙට. කැස්සා. දුම ඉස්මොල්ලෙ ගිහින්. කැස්ස සංසිඳෙන කොට පේන්න පටන් ගත්ත, කළු පාට ගොඩනැගිලි විතරක් තියෙන අහස පුරා පියඹන තැලිච්ච වාහන පිරිච්ච හැම වෙලේ ම කළු වලාවෙන් වැහිච්ච අඳුරු ලෝකය ඉස්සරහ දිවුරුවා. අන්තිමට බෙරිහන් දීල කිව්වා.

‘මං ඇතීනට යන්න දෙන්නෙ නෑ’

වේගයෙන් ගිය භාණ්ඩ ප්‍රවාහන යානයේ ත්‍රොටල හඬ නිසා ඔහුගෙ හඬ වැඩි ඈතකට ඇහුණෙ නෑ. මෙලාවියෝට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඇතීනව මනෝ ඇගයුමෙන් අසමත් කරන එක. ඊට පස්සෙ කල් ගන්න පුළුවන් වෙන්න තියෙන ඕන ම දේකට.

ඒ තීරණයත් එක්ක මෙලාවියෝගෙ හිත ආයෙත් පැහැදිලි වුණා. එදා රෑ ජපන් සුෂී අවන්හලකට ගිහින් සුෂී පහළොවක් විතර කෑවා. සකේ මිලි ලීටර් පනහක් බිව්වා. හැමදේම අමතක කළා. හැමදේම හොඳින් සිද්ධ වුණා දවස් දෙකක් යනකන්. අන්තිම දවසෙ උදේ ඇතීනගෙ නමින් දුරකතනය නාද වෙනවා. අද අන්තිම දවස. දවල් දොළහට කලින් වාර්තාව දෙන්න ඕනෙ. මෙලාවියෝ පපුව පුම්බගෙන ඇමතුම මඟ ඇරියා. එදා එයා හිටියෙ බොහොම තීරණාත්මක ප්‍රසන්නකමකින්. එදා සායනයට ආපු රෝගීන්ට ඩෙස්පිඩොමීන් වෙනුවට වෙන බෙහෙත් නිර්දේශ කරන්න තරම් අවධානයකින් සවන් දුන්නා. ඇතීනාගෙ දුරකතන ඇමතුමක් ආයෙත්. දැක්කෙ නෑ වගේ හිටියා.

‘ප්ලාස්ටික් පාත්තයා මෙහෙම උඩට ගිහින් මෙහෙම පාතට ආවා’එයාගෙ මේසය ඉස්සරහ ඉන්න පොඩි පිරිමි ළමයා ලොකු කතාවක් කියනවා. ළමයගෙ අම්මා බොහොම බැරෑරුම් මූණකින් චිකිත්සකයා දිහා බලාගෙන ඉන්නවා. කතාව විනාඩි හතලිස් පහක් විතර ඇදිලා ගියා.

‘ආ …’ මෙලාවියෝ නැගිට්ටා. වෙලාව එකොළහයි. එයා දුවන්න ගත්තා. පිරිමි වැසිකිළියේ දොරක් ඇරගෙන ඇතුළට ගිහින් ලොක් කරල කොමඩ් එක උඩ ඉඳගෙන හති ඇරියා. අත් දෙක වෙව්ලනවා. තව පැයයි ඉවසන්න තියෙන්නෙ, තමාටම කියා ගන්නවා.

දොරේ එල්ලල තියෙන කණ්ණාඩියෙ ඉන්නව වඳුරෙක් වගේ මිනිහෙක්. මෙලාවියෝ ඇස් උල් කරන් බැලුවා. වයස හතළිස් පහක් විතර. රැළි වැටිච්ච හම. වඳුරෙක් වගේ හැඟීම් විරහිත මූණ. සෑහෙන්න සුදු වුණ කොණ්ඩෙ. හදිසියෙම ඒ මනුස්සයගෙ මූණ කල්පනාවෙන් ඇකිළුණා.

‘මම හඳේ පදිංචියට යන්න ඉල්ලුම් කළොත් මොනව වෙයි ද ?’

එළියෙ කරාමෙක වතුර බිංදු සද්දෙට වැටෙනවා. මෙලාවියෝ එක පාර ම හිනාවෙන්න පටන් ගත්තා, ඒ

එක්කම කටින් අත හපාගෙන හිනාව නතර කරගත්තා. ‘මට පුළුවන් ද … මට පුළුවන් ද ?’එයා කෙඳිරි ගෑවා. එයාට සුදුසුකම් කිසිවක් ම නැති බව පේනවා බලන හැම පැත්තෙන් ම. ‘තෝ මොන තරම් මෝඩ සතෙක් ද එහෙම හිතන්නත්.’ෙමලාවිෙයා් කණ්ණාඩියේ පිළිබිඹුවට ඇඟිල්ල දික් කළා. පිළිබිඹුවත් මෙලාවියෝට ඇඟිල්ල දික් කළා.

‘නාකියෙකුගෙ මෝඩ හීන’මෙලාවියෝ එයාගෙ අත් පැලඳුමෙන් හොලෝග්‍රෑම් පරිගණක තිරය දැල්වූවා. ඇතීනා කියන්නෙ හිතන්නවත් බැරි තරම් දුරක්. කළු පාට කෝටු රූප ... හිනාවෙනකොට පුංචිවෙන ඇස් ...

පරිගණකය ආයෙ ආයෙත් කියනවා, ඇතීනා මනෝ ඇගයුමෙන් ඉහළින් ම සමත්. වාර්තාවට යටින් ඇත්තේ කොන්ග්‍රසය වෙත යැවීමේ බොත්තම පමණයි.

‘ඇයි උඹ කසාද බැන්ඳෙ නැත්තෙ’කණ්ණාඩියෙ ඉන්න වඳුරා අහනවා මෙලාවියෝගෙන්, හොලෝග්‍රෑම් තිරයේ අකුරු අස්සෙන්.

මෙලාවියෝ කල්පනා කරනවා. මහන්සි වෙලා ඉගෙන ගත්තා, මහන්සි වෙලා ජොබ් එකක් හෙව්වා, මහන්සි වෙලා වැඩ කළා, මහන්සි වෙවී හිටියා. නොවැදගත් දේවල් පැත්තකින් තිබ්බා, ඒවා එහෙමම අමතක වෙලා ගියා. ඒවා අමතක වෙලා ම ගියා.

එකොළහයි පනස් පහයි. මෙලාවියෝගෙ ඇඟිලි වෙව්ලනවා. ඇස්වල කඳුළු. කණ්ණාඩි පිළිඹිඹුවෙ කඳුළු දිස්න දිදී වැඩිපුර පේනකොට එයාට ආවෙ තමා ගැන පිළිකුලක්.

එකොළහයි පනස් නවයයි. එකපාරම වාර්තාව යවන බොත්තම ඔබපු මෙලාවියෝ සින්ක් එකෙන් මූණ හෝදගෙන ආයෙත් කාමරයට ආවා. අර ළමයා දැන් කතාව කිය කිය ඉන්නෙ අම්මට. ‘වෙන දවසක එන්න’එයා

මතු සම්බන්ධයි.

තාරක කල්දේරා


නව අදහස දක්වන්න