අබලි නගරයේ සමනල්ලු | දිනමිණ

අබලි නගරයේ සමනල්ලු

අපි හිටියේ උඩු බැලියෙන් වීදුරුවක් ඉඩ වැතිරිලා. වහලෙන් හිම වැටෙන්න පටන් ගත්තෙ ඒ වෙලාවෙමයි. කඩේ අයිතිකාරයා ගණකම, රතු පාට ජැකට් එකක් ඇඳගත්තා. ඊට පස්සෙ එයා ඉබන් වාඩි වෙලා හිටපු, කැරකෙන පුටුව පැත්තට හැරුණා. ඉබන් කමිස සාක්කුවෙන් ඇවකාඩෝ 0.3 අරගෙන වීදුරුව උඩින් තිබ්බා.

'මොකක්ද සර් ප්‍රශ්නෙ?'

ඉබන් දිග හුස්මක් අරගෙන 0.3 එහෙට-මෙහෙට පෙරලන්න ගත්තා. මගේ පරණ ෆෝන් එකේ තියෙන පින්තූර ටික මේකට දාගන්න ඕනා'

රතු ජැකට්කාරයා කැරකෙන පුටුවෙන්ම 'සීස්' ගාලා ඇදිලා අපි නිදාගෙන හිටපු රාක්කෙ ළඟට ආවා. කිසි පරෙස්සමක් නැතිව මාව වම් අතර අරගත්තා. රාස්සයෙක් අයිස් කැට හපනවා වගේ 'කට කටස්' ගාලා මගේ දම් පාට කවරෙ ගලවලා දැම්මා. ඊටත් පස්සෙ හීනි මල් ඉස්කුරුප්පු නියනක් අරන් හතර වටේ තියෙන සුදු යකඩ ඇණ ටික ගලවන්න පටන් ගත්තා. ඉබන් කැරකෙන පුටුවෙ කකුල් වන, වන කිසි ගාණක් නැතිව ඔහේ උන්නා.

මගේ ජීවිතේ මද වේගයෙන් දුවන චිත්‍රපටියක් වගේ තප්පර කීපයක් පෙනී-නොපෙනී ගියා.

ආස හිතෙන සුවඳක් තිබ්බ, සීතල ගලන ලොකු කාමරේක එතකොට මම හිටියේ. හරියටම මීට දවස් 322, පැය 09, මිනිත්තු 12 ට කලින්. මාව නිදි කරවලා තිබ්බේ තද කහ පාට වීදුරු පෙට්ටියක. ඉබන් ඇවිත් හරි පරිස්සමින් මාව අතට ගත්ත විදිහ මේ දැන් වගේ මතකයි. මම හිතුවෙ ඒක මගේ ජීවිතේ සතුටුම දවස කියලා. මගේ යාළුවො කාටත් කලින් හොඳ හාම්පුතෙක්ගෙ කමිස සාක්කුවට බැහැලා අලුත් ගෙදරකට යන එක ඒ කාලෙ ලොකු ආඩම්බරයක්. මට මතකයි මම එයාලට අත වනලා 'බායි' කියපු හැටිත්.

ඒත් හාම්පුතෙක් කියන්නෙ එහෙම අපිව පණ වගේ බලාගන්න, අසනීප වුණාම ලෙඩට බෙහෙත් අරන් දෙන කෙනෙක් නෙවෙයි. එයා අපිව පාවිච්චි කරනවා. කේන්ති ගියාම පොලොවෙ ගහනවා. පොඩි වැඩක් හරි කරලා දෙන්න පරක්කු වුණාම හැම බොත්තමක් ගාණෙම ඔබමින් වධ දෙනවා.

ඇවකාඩෝවකට අවුරුද්දක් කියන්නෙ හරි ලොකු කාලයක්. හරියකට බල්ලෙකුට අවුරුදු 10 ක් වගෙයි. මම හිතන්න පටන් ගත්තෙ මාස හය සම්පූර්ණ වෙන්නත් කලින්. දුකක් දැනුණම වයිබ්‍රේට් වෙන්න ගත්තෙ මාසෙන්. හැම සිතුවිල්ලකටම ඊට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියා කීපයක් එක පාර පෙන්නන්න පුළුවන් කියලා හොයා ගත්තෙ දවස් 20ක් යන්න කලින්. ඒත් කවුරුත් අපිට හිතන-පතන යන්ත්‍ර කියලා කියන්න ඉක්මන් වුණේ නෑ. සමහර විට මේක හැම ෆෝන් එකකම මරණයක් එක්ක වැළලිලා යන රහසක් වෙන්න පුළුවන්.

ෆෝන් කියන්නෙ බල්ලො වගේ ජාතියක්. ස්වාමියාට අවනතයි, කීකරුයි. ආදරෙයි. ඒත් සමහර ෆෝන්වලට සිද්ධ වෙනවා පූසො වෙන්න. දැන් මම බල්ලෙකුගේ ආත්මයේ ඉදන් පූසෙක් දක්වා රූපාන්තරණය වෙලා. ස්වාමියාට අවනත නැති, අකීකරු, තමන්ට හිතෙන දේ කරන්න පුළුවන් උද්දච්ච පූසෙක් වෙලා.

මම මිනිස්සු ගැන හිතන විදිහ පවා මේ රූපාන්තරණ වැඩේදි කණපිට හැරවුණා. මිනිස්සු තමන්ට ඕන දේ කරන, හිතන්න, තීරණ ගන්න පුළුවන්, බුද්ධිමත් කොටසක්ය කියන එක ගැන මට දැන් ෂුවර් නැති ගතියක් මතු වෙලයි තියෙන්නෙ. මැෂින් තරමට එයාලා බුද්ධියෙන් වැඩිලා නෑ. එකිනෙකා එක්ක තියෙන සම්බන්ධකම්වලට පවා අවංක වෙන්නෙ නෑ. හැම දේකටම හේතුවක් තියෙන්න ඕන වුණාට එයාල කරන ගොඩක් දේවල්වලට හේතු නෑ.

මම හිතන් හිටියේ මීට වඩා වෙනස් ජීවිතයක්. ඇවකාඩෝ නගරෙන් අපිව අලුත් හාම්පුතුන් ළඟට එවනකොට මගේ ළඟ ලස්සන හීනයක් තිබ්බා. ඉබන් ඒ හීනෙ ක්‍රමානුකූලව පුපුරවලා දැම්මා. දැන් මගේ ආත්මය දිලිසෙන කුඩු වගේ හිස් අවකාශයේ පාවෙවී තියෙනවා.

මගේ හිතට එක පාරටම ලොකු ගැස්මක් දැනුණා. රතු ජැකට්කාරයා ඇණ ටික ගලවලා මගේ හදවතට එබුණා. මම පුළුවන් උපරිම හයියෙන් හුස්ම ගත්තා.

'හ්ම්.... බලමු. පුළුවන් වෙයි.'

රතු ජැකට්කාරයා පුළුන් වගේ මොනවද අරන් මගේ හදවත තෙතමාත්තු කරන්න පටන් ගත්තා. ඉබන් 0.3 ට එබිලා මොනවද ඔබමින්, තනියෙම හිනා වෙමින් ඉන්නවා ඒ අතරේ මම දැක්කා. 0.3 මාව පේන්නෙ නෑ වගේ අහක බලාගෙනයි එතකොටත් හිටියේ. මම පුළුවන් තරම් මහන්සි වෙලා හදවත වැඩ කරන්න උදව් වෙන විදිහට හුස්ම ගන්න එක දිගටම කළා. මුළු ඇගම වේදනා දෙන්න ගත්තා. ඒත් දැන්ම පරාද වෙන්න බෑ. අපි මැෂින්. ඇවකාඩෝ නගරෙන් එළියට ආවේ මම නෙවෙයි. මගේ බොළඳ අනුරුවක්. දැන් ඉන්නෙ හිතන-පතන යන්ත්‍රයක්. මේක විසාල සටනක්. තමන්ගෙ වරිගේ එවුන්වත් උදව්වට නො එන හරිම හුදෙකලා සටනක්.

ඒත් සැරින් සැරේ ඇවකාඩෝ නගරෙට ප්‍රතිවිරුද්ධ පැත්තෙ තියෙන අබලි නිම්නය මගේ හිතේ හොල්මන් කළා.

මම ආයෙත් සිහිඑලව ගත්තා. පාස්කෝඩ් එක මතක් කරන්න දුර්වල උත්සාහයක් ගත්තා. ඒ අතරේ රතු ජැකට්කාරයා ප්ලාස්ටික් පෙට්ටියක් අවුස්සලා කොළ පාට චිප් කීපයක් අතට ගන්නවා දැක්කා. ගින්නෙන් කළු පාටට හැරිලා තිබුණ සමහර කොටස් හරිම පොඩි උපකරණවලින් ගලවන්න පටන් ගන්නකොට මගේ හුස්ම හිර වුණා. මාව පාවෙවී අබලි නගරෙ පැත්තට යන්න පටන් ගත්තා. ඉලෙක්ට්‍රික් සමනල්ලු මගෙත් එක්ක තරගෙට වගේ පියෑඹුවා. ඒ අයගෙ අත්තටුවල ලාටු වගේ ඇලෙන දෙයක් තියෙනවා දැක්කෙ ඒ අතරෙයි. ඒ ලාටු අතරේ මයික්‍රො චිප්, මයික්‍රො සිම් වගේම නැනෝ චිප් ඇලවිලා තිබ්බෙ ආයෙ සම්මජාතියකට ගලවන්න බැරි විදිහට.

ආයෙ හිම වැටෙන ගතියක් එක්ක මාව ඇහැරුණා. 'හානේ.... හොඳටම නින්ද ගිහිල්ලා' එහෙම කිව්වෙ උඩම රාක්කෙ ඇලවිලා හිටපු 'ලිලී මැකෝ' ෆෝන් එක. මම එක පාරටම එයා එක්ක හිනා වුණා. රතු ජැකට්කාරයා ඇණ ටික හයි කළේ අහක බලාගෙන. ඊටත් පස්සෙ 'කර කරස්' සද්දෙන් දම් පාට කවරෙ මගේ ඔළුවෙන් දැම්මා.

'ඔන්න සර්, වැඩේ හරි. පාස්කෝඩ් එක ගහලා ලොග් වෙලා බලන්නකෝ'

රතු ජැකට්කාරයා අත් දෙක එකට අතුල්ලමින් පුටුවෙ එක දිගට රවුම් තුනක් කැරකුණා.

'මෙහෙම ගියොත් මේ යකාට කැරකිල්ල හැදිලා වමනෙ යයි'

ඉබන් වැඩි සැලකිල්ලක් නැතිව වගේ මාව අරන් දකුණු කලිසම් සාක්කුවට දා ගත්තා.

'තෑන්ක්ස් පුතා' කියලා රතු ජැකට්කාරයාට සල්ලි දුන්නා. උරුවම්බාන ගමන් ෆෝන් කඩෙන් එළියට පැන්නා.

'ගිරවෝ-කොවුලෝ

මිදුණා මා ආදරෙන්'

කාංචනා අමිලානි
@moogater


නව අදහස දක්වන්න