මමත් ව්‍යාපාරිකයෙක්මි! | දිනමිණ

මමත් ව්‍යාපාරිකයෙක්මි!

ලෝකය සමඟ ආර්ථික වශයෙන් ඉදිරියට යා හැක්කේ කෙසේද? ඊට සරල හා සෘජු උත්තරයක් තිබේ. එනම්; ලෝක වෙළෙඳාම කැටුව අප ද එකතු විය යුතු බව ය. එය සිදුකරන්නේ කෙසේ ද? ඊට ද සරල හා සෘජු උත්තරයක් තිබේ. එනම්; වෙළෙඳාමට, ව්‍යාපාරවලට හා ව්‍යවසායකයන්ට රජය අනුග්‍රහය දැක්විය යුතු බව ය. ඊට අදාළ ක්‍රමවේදය කුමක් ද? ඊට ද සරල හා සෘජු පිළිතුරක් තිබේ. එනම්; ආර්ථික ප්‍රතිපත්ති, වෙළෙඳාමට අවශ්‍ය මූලික සම්පත් හා ණය ක්‍රම රජය ඇති කළ යුතු බව ය. මෙබඳු අර්ථාන්විත ජාතික වැඩසටහනක් දැන් ආරම්භ වී තිබේ. මෙහි ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රයක් බවට පත්කිරීම ය.

අපේ අතීත ශ්‍රී විභූතිය විග්‍රහ කරන ඇත්තන් ශ්‍රී ලංකාව හඳුන්වනුයේ පෙරදිග ධාන්‍යාගාරය හැටියටය. එහෙත් ඓතිහාසික සාධකවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ධාන්‍යාගාරයක් හැටියට පමණක් නොව, ලෝකයේ ආර්ථික කේන්ද්‍රයක් හැටියට ද ප්‍රකට වූ බව ය. පර්සියාව, ඊජිප්තුව, චීනය, බුරුමය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, අරාබිය ඇතුළු රටවල් ගණනාවක් සමඟ ශ්‍රී ලංකාව සෘජු වෙළෙඳ සම්බන්ධතා පවත්වා ඇත. මහාතිත්ථ, ගෝකන්න, ගොඩවාය, ජම්බකෝලපට්ටන, ඌරාතොට එදා අප සතු වූ අන්තර්ජාතික වරායවල් ලෙස හැඳින්විය හැකි ය. සේද මාවත නම් ලෝක වෙළෙඳ ජාලයේ මධ්‍යස්ථානයක් හැටියට ද ශ්‍රී ලංකාව පැවැතිණි. එදා පැවැති විභූතිය යළි ශ්‍රී ලංකාවට ලබාගත හැකි නම් එය විශාල භාග්‍යයකි.

නිදහසින් පසුව ශ්‍රී ලංකාව විවිධ ආර්ථික උපාය මාර්ග අත්හදා බලා තිබේ. වරෙක අපට තිබුණේ සංවෘත ආර්ථික රටාවකි. පරිභෝජනයට අවශ්‍ය පරිදි නිෂ්පාදන හා සේවා කටයුතු සංවිධාන කිරීම එහි ක්‍රමවේදය වෙයි. තව වරෙක අපට තිබුණේ රාජ්‍ය අංශය සමස්ත ආර්ථිකය මෙහෙයැවන තත්ත්වයකි. විවෘත ආර්ථික ප්‍රතිපත්ති රට තුළ ස්ථාපිත වන්නේ ඉනික්බිතිව ය. ජේ. ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය 1977 සිට අද දක්වා ක්‍රියාත්මක වෙයි. ලෝකය සමඟ බද්ධවීමට නම්; විවෘත ආර්ථිකය අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකනු ලැබේ. එහෙත් ආර්ථික ප්‍රතිපත්ති පමණක් දියුණුවට අදාළ වන්නේ නැත. ඉහත ප්‍රතිපත්ති ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කරන වැඩසටහන් අපට අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන බොහෝදෙනා කතා කරති. ඔවුන්ගේ ප්‍රධාන අදහස වන්නේ ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව විය යුතු බව ය. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත්කළ හැකිය යන තර්කය ද මීට සමාන ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරක් කියා සිටියේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ “ආර්ථික හබ් එක” හෙවත් කඩඇණය බවට පත්කළ යුතු බව ය. එය සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ වරායවල්, ගුවන්තොටුපොළවල්, අධිවේගී මාර්ග ආදිය පාදක කොට ස්ථාපිත කරනු ලබන ආර්ථික කේන්ද්‍රයක් ඔස්සේ ය. මේ ආර්ථික කේන්ද්‍රය තුළ ප්‍රති-අපනයන මධ්‍යස්ථාන, මූල්‍ය කේන්ද්‍ර හා සන්නිවේදන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිත ය.

මේ ආර්ථික ක්‍රියාවලිය හඳුන්වා ඇත්තේ “ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස්” යන නමින් ය. අප මුලින් සඳහන් කළේ ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස් වැඩසටහනෙහි පදනම යැයි කිව හැකි ය. එයින් ඉස්මතු වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් යැයි කිව හැකි ය. ව්‍යවසායකයාට වඩාත් වැදගත් වන්නේ ප්‍රාග්ධනය ඇතුළු පහසුකම් ය. ප්‍රාග්ධනය නැතිකම නිසා ව්‍යාපාරික අදහස් හා සැලැසුම් කාලයේ වැලිතලාවේ සැඟවී යයි. නූතන ව්‍යාපාරික ක්ෂේත්‍රය අතිශය තරගකාරී ය. එලෙස ම එය බොහෝවිට අවිධිමත් ය. මේ හේතුව නිසා ම එහි රැඳී සිටිය හැක්කේ ද ධනවතුන්ට පමණී. එහෙත් රජය මැදිහත් වී විධිමත් නිරීක්ෂණයක හා පාලනයක යෙදෙන්නේ නම්; මේ තත්ත්වය වෙනස් කළ හැකි ය.

ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස් වැඩසටහන රටේ තරුණ පරපුර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. එය මේ වැඩසටහනෙහි විශේෂත්වයකි. අපේ උපාධිධාරීන් රජයේ රැකියාවන් ම ඉල්ලමින් අරගල කරන්නේ ඔවුන්ගේ කළමනාකරණ හැකියාවන්ගෙන් වැඩක් ගත හැකි පහසුකම් නැති නිසා වන්නට පුළුවන. ස්වයං රැකියාවක් හෝ තමන්ගේම ව්‍යාපාරයක් කරමින් ස්වකීය කළමනාකරණ හැකියා උරගා බලන උපාධිධාරින් අඩු ය. හේතුව ව්‍යාපාරයක අවදානම භාරගැනීමට හැකියාවක් නොවීම හා ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය මූලධනය නැතිකම විය හැකි ය. ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස් වැඩසටහන ඊට පිළිතුරක් ලබාදෙයි.

මේ වැඩසටහන යටතේ ණය ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක වෙයි. ඇතැම් ණය සඳහා පොලියක් අයකරන්නේ නැත. අදාළ පොලිය රජය විසින් ‍ෙගවනු ලැබේ. වාණිජ බැංකුවලින් අයකරගනු ලබන පොලී ප්‍රමාණ කුඩා ව්‍යවසායකයන් සඳහා ඔරොත්තු දෙන්නේ යැයි කිව නො හැකි ය. ව්‍යාපාර සඳහා ගනු ලබන ණය සඳහා පොලී අඩු කිරීමක් සිදුවන්නේ ද නැත. ව්‍යාපාරික ණය සඳහා පෙන්විය යුතු වත්කම් ආදිය ද සරල නැත. ඉහත වැඩසටහන මේ සියල්ල කෙරෙහි අවධානය යොමුකොට ව්‍යවසායකයාට සහන රැසක් ලබාදෙයි. ව්‍යවසායකයන්ගේ වෙළෙඳ පොළ ගැටලුවලට පවා වැඩසටහන සෘජු ලෙස මැදිහත් වෙයි. මේ ඔස්සේ අලුත් ව්‍යාපාරික පැළැන්තියක් ඇතිවන්නේ යැයි සිතන්නට පුළුවන.

ශ්‍රී ලංකාවට එන විදේශීය ව්‍යාපාරික විශේෂඥයන් නිතර සඳහන් කරන කාරණයක් තිබේ. එනම්; රටක් ආර්ථික වශයෙන් දියුණුවීමට නම්; නවෝත්පාදනවලට මුල්තැනක් ලබාදිය යුතු බව ය. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි සොමිත්‍රා දත්තා මහතා ද එම අදහස පළකර තිබිණි. ඒ මහතා ලෝ‍‍කයේ නවෝතාපදන ක‍්ෂේත්‍රය සඳහා උපදේශන සපයන විද්වතෙකි. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රවල විවිධ නව උත්පාදන ප්‍රදර්ශන ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ වුව ප්‍රදර්ශනවලින් පසු ඒවා පෙනෙන්නට නැත. මේ ක්ෂේත්‍රවලින් ඉදිරියට යෑමට නම් නවෝත්පාදන ව්‍යාපාර ආරම්භ කළ යුතුය. ඊළඟට ඒ සඳහා ලෝක වෙළෙඳ පොළ ග්‍රහණය කරගත යුතු ය. ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස් වැඩසටහන ඊට සහයෝගය ලබාදෙයි.

රටේ සෑම පුද්ගලයකුම යම් පමණක ව්‍යාපාරිකයකු විය යුතු යැයි ආර්ථික මතයක් තිබේ. එහි අර්ථය නම් සෑම පුද්ගලයාම නිෂ්පාදකයකු හා අලෙවිකරුවකු වන අතර ඔහු හෝ ඇය හෝ අතට මුදල් ගලා එන බවය. මුදල් ඉපැයීමකින් තොරව ආර්ථික දියුණුවක් අපේක්ෂා කළ නො හැකි ය. ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිසස් යනු බොහෝදෙනකු ඉපැයීමට යොමුකරන වැඩසටහනකි.


නව අදහස දක්වන්න

Or log in with...