චන්දිමාල්ගේ ඇපෑල ප්‍රතික්ෂේප වෙයි නායකත්වය සුරංග ලක්මාල් ට | දිනමිණ

චන්දිමාල්ගේ ඇපෑල ප්‍රතික්ෂේප වෙයි නායකත්වය සුරංග ලක්මාල් ට

වර්නන් ගුණසේකර

පන්දුව පළුදු කිරීමේ කතාන්දරය අවසන් වූයේ නායක දිනේෂ් චන්දිමාල් ට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පෙරේදා ආරම්භ වූ දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙමින් සහ ඔහු මෙන්ම කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ හා පුහුණුකරු චන්දික හතුරුසිංහ ද ඉදිරියේදී තරග තහනමකට ලක්වන අනතුර අභියසට පත්වෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු ක්‍රීඩක රංගන හේරත් ද තුවාල ලබා සිටින බැවින් උපනායක සුරංග ලක්මාල් කොදෙව්වන්ට එරෙහි තෙවැනි හා අවසාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සිදුවිය.

සාන්ත ලුසියා කොදෙව් දූපතේ ග්‍රොස් අයිලට් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම පිණිස පිටියට පිවිසීම පැය දෙකකින් පමා කිරීම හේතුවෙන් චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ ට, “ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනිව ක්‍රියා කිරීම” යන චෝදනාව එල්ල වූ අතර මේ තිදෙනා එම වරද පිළිගත්හ. මේ අනුව ඔවුන්ට ඉදිරි ටෙස්ට් තරග දෙකක් හෝ ජාත්‍යන්තර එක්දින තරග 4 සිට 8 දක්වා ප්‍රමාණයක තරග තහනමකට මුහුණ දීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් එම චෝදනාව සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත්තේ දැන් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය අවසානයේ බැවින් ගුරුසිංහ සහ හතුරුසිංහ ට තරගයේ ඔවුන්ගේ කාර්යයන්හි නියැලීමට අවස්ථාව තිබේ.

රටක ක්‍රිකට් පරිපාලකයන් හැරුනු විට පිටියේ ඉහළම බලධාරීන් වන නායකයා, කළමනාකරු හා පුහුණුකරු යන තිදෙනාටම තරග තහනමක් පැනවෙන ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

චන්දිමාල් ට ලබා දී තිබූ තරග තහනමට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියායචනය පැය හතරක් තිස්සේ විභාග කළ ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පත් කරන ලද මයිකල් බෙලොෆ් අධිකරණ කොමසාරිස්වරයා එම ඇපෑල ප්‍රතික්ෂේප කළේය. එම තීරණය ගැනීමට හේතුවූ කරුණු කාරණා බෙලොෆ් විසින් එළැඹෙන බදාදා ලිඛිතව ඉදිරිපත් කිරීමට නියමිතය.

චන්දිමාල් ට දඬුවම් ලකුණු 2ක් ලබා දීම හා ඔහුගේ තරග මුදලින් සියයට 100ක් දඩ ගැසීමට තරග තීරක ජවගල් ශ්‍රීනාත් විසින් මුලින් ම ගනු ලැබූ තීරණය දිගටම බල පැවැත්වෙනු ඇත. දඬුවම් ලකුණු 2ක් අවගුණ ලකුණු 4කට සමාන වන බැවින් එම ලකුණු ප්‍රමාණය චන්දිමාල්ගේ විනය වාර්තාවේ සටහන්ව තිබෙනු ඇත.

චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ ට එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳ කරුණු ඇසීමේ දිනය බෙලොෆ් විසින් ජූලි 10 වැනිදා ට නියම කර තිබෙන බැවින් ගුරුසිංහ සහ හතුරුසිංහ ට දැන් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ ඔවුන්ගේ කාර්යයන්හි නිරත වීමට අවසර තිබේ.

එම චෝදනාවට නීතිමය වශයෙන් ඔවුන් වරදකරුවන් වුවහොත් ජූලි 12 වැනිදා ඇරැඹෙන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා කිරීමට චන්දිමාල් ට අවස්ථාව නොලැබෙනු ඇත. ගුරුසිංහ සහ හතුරුසිංහ ට කළමනාකරු හා පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමට නොහැකි වනු ඇත.

ජගත් ක්‍රිකට් කවුන්සලයේ විනය කොමිසමේ ද ප්‍රධානියා වන මයිකල් බෙලොෆ් විසින් සිකුරාදා අසනු ලැබූ චන්දිමාල්ගේ අභියායචනයට ජගත් ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකාව යන දෙපාර්ශ්වයම නියෝජනය කරමින් නීතිඥයන් පෙනී සිටියහ.


නව අදහස දක්වන්න

Or log in with...