රජරට හෙළ බස | දිනමිණ

රජරට හෙළ බස

තිස්ස දෙවේල

හැම තිස්සේම - නිරතුරුවම. දෙවේල යනු උදය හවසය.

සේරල

වැවක ස්වභාවයෙන් හැදෙන ඕලු, නෙළුම්, කෙකටිය ආදියේ අල. මෙම අල වර්ග ආහාරයටද ගනී.

අසමජ්ජාතියා

ජාතියෙන් අසමත් වූ තැනැත්තා. එනම් නිශ්චිත පියකු නැති එකා. වම්බිගේ පුතා යැයි කියමින් බැණ වදින්නේ මොහුටය. අවජාතකයා ලෙසද මොහු හඳුන්වයි.

ඉස්නං ලණුව

පාලනය නොකළ හැකි දඩබ්බර ගවයන් පාලනය කිරීම සඳහා ගවයාගේ අං දෙක මැදිවන සේ බඳින ලණුව.

ඉස්නන් තෙමනවා

වපුරන ලද කුඹුරේ ගොයම අඟලක් පමණ මතු වූ පසු පළමුවරට කුඹුරු බිම තෙමී යන්නට වතුර බැඳීම. කුඹුරේ වල් පැළ මතුවීම පාලනය කිරීම මෙහි අදහසයි.

හත්තිය

මිදුලේ ඉදිකර ඇති වී බිස්සට උඩින් වහලක් හැටියට කවාකාරව පිදුරුවලින් හදන වහල හත්තිය නමින් හැඳින්වේ. ‘හයියත්තිය’ යන වචනය සමඟද මෙය එකතුවී ඇත. හයියට දෙන රැකවරණය යන අදහස මෙහිදී දැක්වේ.

හුංගිය

ඉතාම කුඩා ගොයම් කොළය මෙනමින් හැඳින්වේ. මෙය වටමලුවටත් වඩා කුඩාය. කුඹුරේ තැනින් තැන තුනතුවල කුඩාවට ගොඩ ගසන ගොයම් කොළය.

තුනත්ත

කුඹුරේ නියරවල් තුනක් එකට එකතුවන තැන තුනත්ත නමින් හැඳින්වේ. තුන්+අත්ත “තුනත්ත ලෙස සැදී ඇත. පාරවල් තුනක් එකට එකතුවන තැනට තුංමංසල යයි කියති.

රඹහ

සැර නැති ළා අව්ව මෙනමින් හැඳින්වේ. වැහි වලාවක් අහසට සේන්දු වූ විට හිරු එළිය වැසී යාමෙන් රඹහ ඇති වේ.

කඩ සේලය

විසි රියනක් දිග රෙද්දට රෙදි කච්චිය යයි කියති. රෙදි කච්චියෙන් බාගයකට එනම් රියන් දහයකට කඩ සේලය යයි කියති.

පිළියම් පට්ටුව

කිසියම් කාර්යයකට වුවමනා යම් යම් උපාංග මෙනමින් හැඳින්වේ. “අඩුම කුඩුම” යන වචනයද මීට සමාන තේරුම් ඇති වචනයකි.

කෝපා

වසරක් ගෙවී ඊළඟට වසරට මුලපුරන පළමු දිනය ‘කෝණ’ ලෙස සැලකේ. අලුත් අවුරුදු දිනය කියන්නේද කෝණටය. කෝණ මංගල්‍යය ලෙස හඳුන්වන්නේ අලුත් අවුරුදු උත්සවයයි.

උඩැල්ල

උඩක එල්ලා තබන මල්ලක් වැනි උපකරණයකි. මෙය කිරිවැල්වලින් ‍හෝ තිඹිරිගසේ පට්ටාවලින් දැලක් සේ වියාගෙන බිත්තියක ඇණයක් ගසා එල්ලා මීපැණි, කිතුල්පැණි, ගිතෙල්, දුංතෙල් ආදිය භාජනවල දමා මෙහි එල්ලා තැබේ.

අමුතුබාන

කුඹුරේ සීසෑමේදී නගුලේ පතකඩය වියගහට තබා බඳින පොල්පට්ටිය අමුතු බාන ලෙස හැඳින්වේ. මෙයට “තංදෙ” යනුවෙන්ද කියනු ලැබේ.

පෙරැත්තය

ගොයම් කොළ බැඳීමට යොදාගන්නා හණ පට්ටාවලින් අඹරාගත් කොළ ලණුවේ මුලට ගහන ගැටය පෙ‍රැත්තය ලෙස හැඳින්වේ. නැවත නැවත යමකට බලකරනවිටද පෙරැත්ත කරනවා යැයි කියති.

නම්බු කරන්න බෑ

විශ්වාස කරන්න අමාරුයි. පිළිගන්න අමාරුයි යන තේරුමක් ඇති වචනයකි. “එයාගෙ කතාව අපට නම්බු කරන්න බෑ ආදී වශයෙන් මෙය යෙදේ.

බිතක්කනය

බිත්තියට යාව ඇති කොටස මෙනමින් හැඳින්වේ. මේ අයට වාඩිවෙන්න බිතක්කනේට පැදුරක් එළන්න. ආදී වශයෙන් මෙය ව්‍යවහාරයට එක්වේ.

කුලංදු කිරීම

වැවක ඇළක පොකුණක ජලය බොර කිරීම කුලංදු කිරීම යන්නෙන් අදහස් කෙරේ.

පාර අභාවට

පිළිවෙළකට තැන්පත්කමට සංවරශීලීව යන තේරුම ඇති වචනයකි. සුබා සෙයියාව යන වචනයද මීට සමානය. “යහපත් පැවැත්ම” මෙහි අදහසයි.

ඉලංගම් බෙදීම

වසරකට වරක් නිකින්නියේදී (අගෝස්තු) වැවේ මාළු ඇල්ලූ පසු වැව යටතේ වගාකරන කුඹුරු පංගුවල ප්‍රමාණයට කුඩමහං (මාළු) බෙදීම මෙයින් අදහස් කෙරේ.

හතර හපන්කම්

කැත්තට - උදැල්ලට පොරවට දැත්තට හුරුපුරුදුවීම හතර හපන්කම් ලෙස හැඳින්වේ. පෙරදා පිරිමි ජීවිතය සම්පූර්ණ වන්නට මේවායේ පළපුරුද්ද අත්‍යවශ්‍ය විය.

කටගහ පිරිම

තට ළගටම වතුර පිරීම මෙයින් අදහස් කෙරේ. කුලය කටගහ පිරිලා. ළිඳ කටගහ පිරිලා. වැව කටගහ පිරිලා ආදී වශයෙන් මෙම වචනය භාවිතයට යෙදී ඇත.

හක්කොළං කිරීම

අලිමංතලා දිගේ අලි ඇතුන් ගමන් කිරීමට හක්කොළං කිරීම යයි කියති. අලිමං තලාවක් යනු කැලයක් මැදින් ගමන් කිරීමට අලි ඇතුන් ඇබ්බැහි වී සිටින මාර්ගයයි.

බාගදාම

සමහරවිට සමහර වෙලාවට ඇතැම්විට යන තේරුම ඇති වචනයකි. බාගදා වහින්නත් පුළුවන්. බාගදා එන්නත් පුළුවන් ආදී වශයෙන් මේ වචනය ව්‍යවහාරයට එක්වී ඇත.

බින්න බැහීම

විවාහයෙන් පසු ස්වාමියා බිරියගේ නිවසේ පදිංචිවීම බින්න බැහීම යනුවෙන් අදහස් කෙරේ. බිරියගේ නිවසේ නැවතීමේ පොරොන්දුව යටතේ සිදුකරන විවාහ බින්න කසාදය ලෙස නම් කෙරේ.

සටහන බණ්ඩාර ඒකනායක

නව අදහස දක්වන්න