එන්ටර්ප්‍රයිස් ණය යෝජනාවේ පොලියේ විශාල ප්‍රමාණයක් ගෙවන්නේ රජයයි | දිනමිණ

එන්ටර්ප්‍රයිස් ණය යෝජනාවේ පොලියේ විශාල ප්‍රමාණයක් ගෙවන්නේ රජයයි

රක්ෂණ ශ්‍රියන්ත

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සැලසුම් කර ඇත්තේ ගොවි ජනතාවට, ධීවර කර්මාන්තය, පශු සම්පත් නිෂ්පාදකයන්, ගෙවතු වගාකරුවන්, අත්කම් ඇඟළුම් නිෂ්පාදකයන්ට වගේම සංචාරක ක්ෂේත්‍රය ආදී අංශ ගණනාවක් ආවරණය වන ආකරයට බවත්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 750ක් දක්වා ණය ලබාදෙන වැඩ සටහන් පහළොවකට වඩා මෙතුළින් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා කියා සිටියේය.

තරුණ තරුණියන් විශාල පිරිසක් විශ්වවිද්‍යාලයට නැතහොත් උසස් අධ්‍යාපනයට ඇතුළුවීමට නොහැකිව ඔවුන්ගේ දක්ෂතා හැකියාවන් ව්‍යවසායක සිහින වලට අතහිත දිමට කිසිවකු නොමැතිව සිටියත් මේ ව්‍යාපාරය හරහා ඔවුන්ගේ හැකියාවන් අනුව ව්‍යවසායකයන් බවට පත් කිරිමට රජය ඉදිරිපත් වී සිටින බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මෙසේ පැවසූවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව් පැවති “එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහනේ ණය යෝජනා ක්‍රම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ තුළින් ලබාදෙන ණයවල පොලියෙන් විශාල ප්‍රමාණයක් රජය විසින් ගෙවන අතර මේ වසරේ පමණක් ඒ වෙනුවෙන් රුපියල් බිලියන පහක් වෙන්කළ බව කියා සිටී ඇමැතිවරයා නව ව්‍යවසායකයන් ස්වශක්තියෙන් නැගි සිටිමින් තම ව්‍යාපාර ස්ථාවර තත්ත්වයකට පත්වන තුරු සම්පුර්ණයෙන් රජය අතහිත ලබාදෙන බවද කියා සිටියේය.

ඕනෑම ව්‍යාපාරයකට ඉදිරිපත්වන කාන්තාවන්ට රජය විසින් ලබාදෙන ණය සහනයට තවත් සියයට දහයක් අමතරව ලබාදෙන අතර හමුදාවේ ආබාධිතව සිටින ජනතාවට මේ ණය යටතේ තවත් සියයට දහයක වැඩි පොලී සහනයක් ලබාදෙන බවද කිය.

මේ වැඩසටහනට සමගාමිව ගම්පෙරළිය නමින් කඩිනම් ග්‍රාම සංවර්ධන වැඩපිළිවෙළක් හඳුන්වාදෙන අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතුකර ගනිමින් මහා සංවර්ධන සංග්‍රාමයක් සිදුකිරිමට කටයුතු කරන්නේ යැයිද ඇමැතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන ග්‍රාම ශක්ති වැඩපිළිවෙළත්, අග්‍රාමාත්‍යවරයා විසින් රට පුරා දියත් කර ඇති ග්‍රාම්‍ය මාර්ග අලුත්වැඩියා කිරිම වැඩපිළිවෙළත්, නිවාස සංවර්ධන වැඩසටහනත් ඇතුළත් කර ගනිමින් මේ සංවර්ධන සංග්‍රාමය ඉදිරියට ගෙන යන බවද කියා සිටියේය.

මේ වසරට ගම්පෙරළිය වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 64ක් වෙන් කර ඇති අතර මේ තුළින් සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් මිලියන 200ක් නිශ්චිත කාර්යන් සඳහා ලබාදෙනවා සේම අංශ 12ක් යටතේ ගම්වල සංවර්ධනය දියත් කරන්නේයැයිද ඒ යටතේ වැව් 4000ක් මීලග වසර දෙක තුළදී ප්‍රතිසංස්කරණය කරන්නේ යැයිද කියා සිටියේය.

නව අදහස දක්වන්න