කොකා-කෝලා රතු කුරුස ගංවතුර සහන මෙහෙයුමක් | දිනමිණ

කොකා-කෝලා රතු කුරුස ගංවතුර සහන මෙහෙයුමක්

බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යබරලුව, මාබිම, බොල්ලෑගල, තෙල්වත්ත, පට්ටිවිල හා අඹරලුව ප්‍රදේශවල ප්‍රජා ගංවතුර සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම සඳහා කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගම්පහ ශාඛාව සමඟ එක් වූයේය.

මෑත ඇති වූ වර්ෂාවෙන් හා ගංවතුරින් මේ ප්‍රදේශ දැඩි ලෙස පීඩාවට පත් විය. බියගම ප්‍රජාව උදෙසා කොකා-කෝලා සමාගම සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය දියත් කළ ගංවතුර සහන මෙහෙයුම්වලින් ග්‍රාම නිලධාරි වසම් 5ක පදිංචි පවුල් සිය ගණනකට ප්‍රතිලාභ ලැබිණ. ගංවතුරින් පීඩාවට පත් වූ අයට පානීය ජලය, හදිසි වෛද්‍ය ප්‍රතිකාර හා ප්‍රථමාධාර සම්බන්ධයෙන් පැවති අවශ්‍යතා සැපිරීමට පියවර ගත් සමාගම පිරිසිදු, පානීය ජලය ලබා ගැනීමට අවස්ථාව සලසා දී එම පවුල් නැවත සාමාන්‍ය ජීවිතයට පිවිසීම කඩිනම් කිරීම සඳහා ළිං පිරිසිදු කිරීමේ කටයුත්ත ක්‍රියාත්මක කළේ ය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගම්පහ ශාඛාවේ විධායක නිලධාරි රුවන් අබේවර්ධන මහතා ගංවතුර සහන මෙහෙයුම් පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේය. ‘ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අවදානමට ලක් විය හැකි ප්‍රජාවන් නොකඩවා ඇද හැළුණු වර්ෂාව නිසා මෑත දී හට ගත් ගංවතුරින් නැවත වතාවක් පීඩාවට පත් වුණා. වාර්ෂිකව ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන විට පළමු පැය 24 තුළ අප දියත් කරන හදිසි සහන පරිශ්‍රමයන්ට නොකඩවා සහාය දීම පිළිබඳ කොකා-කෝලා සමාගමට අපි අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා.

තමන්ගේ කාලය කැප කරමින් අපේ කණ්ඩායම් සමඟ එක්ව ඔවුන් ස්වේච්ඡාවෙන් කරන වැඩ කටයුතු කිරීම අපි අවංකවම අගය කරනවා, ඒ වෙනුවෙන් අපේ කෘතඥතාව පළ කර සිටිනවා. බෝතල් කළ පානීය ජලය, හදිසි වෛද්‍ය සේවාවන් සහ ප්‍රථමාධාර ද්‍රව්‍ය කඩිනමින් බෙදා හරිමින් 2016 වසරේ සිටම ඔවුන් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. සමාගම තමන් විසින් ව්‍යාපාරික මෙහෙයුම් දියත් කෙරෙන ප්‍රජාවේ අවශ්‍යතා සැපිරීම සඳහා ස්ථිරසාරව කැපවී සිටින බව එයින් පිළිබිඹු වෙනවා.’

කොකා-කෝලා සමාගම පළමු අදියරේ දී ලීටර් 1 Kinley වතුර බෝතල් දහස් ගණනක්, හදිසි ප්‍රථමාධාර කට්ටල හා වෛද්‍ය සේවාවන් සම්පාදනය කිරීම සඳහා ඉතා ඉක්මනින් අනුමැතිය ලබා දුන්නේය. ගංවතුරට කොටුවී පීඩාවට පත්ව සිටි පිරිස්වලට පා ගමනින්, බෝට්ටුවලින් හා ඩබල්කැබ් රථවලින් ගොස් මේවා බෙදා හරින ලදි. දෙවන අදියරේ දී බියගම ප්‍රදේශයේ පිහිටි දූෂණයට ලක්ව ඇති ළිං හඳුනා ගත් වහාම ළිං පිරිසිදු කිරීමේ කඩිනම් වැඩසටහනක් සඳහා මුල පුරනු ලැබිණ.

 ගංවතුර සහන මෙහෙයුමේ දී බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් 5ක පිහිටි ළිං 300ක් පිරිසිදු කෙරුණු අතර, පවුල් හා නිවැසියන් 300කට අතිශයින්ම අවශ්‍ය කළ සහනයක් ඉන් සැලසිණ. ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගම්පහ ශාඛාවේ තාක්ෂණික සහාය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණ සහාය ඇතිව ළිං පිරිසිදු කිරීම, ඒවායේ විෂබීජ නැසීම හා ඒවා පිරිසිදු බව සහතික කිරීම මේ වැඩසටහනේ දී සිදු විය.

නව අදහස දක්වන්න