ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව බිටුමන් නිෂ්පාදනය අරඹයි | දිනමිණ

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව බිටුමන් නිෂ්පාදනය අරඹයි

2019 වනවිට දේශීය සැපයුමෙන් 60%ක් සැපයීමේ උත්සහායක්

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට දැවැන්ත රුකුලක් වෙමින්, මෙරට එකම ඛනිජ තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුවේදී දේශීයව බිටුමන් නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

මේ පිළිබඳ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා මෙසේ පැවැසීය. ‘රටේ ඉදිකිරීම් කර්මාන්තයේ වේගවත් වර්ධනය සහ බිටුමන් සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් සපුගස්කන්ද පිරිපහදුවේදී බිටුමන් නිපදවීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. දේශීයව උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදනය නිපදවා, විදේශයන්ට ඇදී යාමට තිබූ විශාල මුදලක් රටට ඉතිරි කරමින් රටේ තිරසාර සංවර්ධනයට දායක වීම අපගේ ඉලක්කයයි.”

මෙලෙස දේශීයව බිටුමන් නිපදවීම ආරම්භ කළ පසු පිරිපහදු ක්‍රියාවලිය මෙන්ම සංස්ථාවේ ලාභදායීත්වය ද වැඩි දියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තරගකාරී මිලකට බිටුමන් ලබාදීමට හැකිවීම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සමාගම් හා ආයතනවලට අමුද්‍රව්‍ය සඳහා වැයවන වියදම් අවම වනු ඇත. පූර්ණ පහසුකම් සහිත රසායනාගාරයක් තිබීම සහ මනාව පුහුණුව ලත්, අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලයක් සිටීම නිසා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතිය සහිතව ලබාදීමේ හැකියාව පවතී. තව ද බිටුමන් නිෂ්පාදනය මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තම ඩීසල් නිෂ්පාදනය 15% කින් සහ දැවිතෙල් නිෂ්පාදනය 35% ත් 40% ත් අතර ප්‍රමාණයකින් වැඩි කළ හැකි වේ.

‘ආරම්භක අදියරේ දී දිනකට මෙට්‍රික් ටොන් 150ක් නිපදවමින් රටේ බිටුමන් ඉල්ලුමෙන් 40%ක් සපුරාලීම අපගේ ඉලක්කයයි. ඉදිරියේ දී පිරිපහදු පහසුකම් වැඩි දියුණු කරමින් මෙය මෙට්‍රික් ටොන් 225 දක්වා ඉහළ නංවා රටේ සමස්ත ඉල්ලුමෙන් 60%ක් දක්වා සපුරාලීමට අප අපේක්ෂා කරනවා. මෙමගින් අපට උසස් ප්‍රමිතියෙන් යුත් බිටුමන් තරගකාරී මිලකට ලබාදෙමින් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල යහපතක් සිදුකළ හැකිවාක් මෙන්ම බිටුමන් භාවිතය බහුලව සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට මහත් පිටුවහලක් සැපයීමටත් හැකියාව ලැබේවි.’ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවැසීය.

නව අදහස දක්වන්න