කෙ ටි ස ට හ න - පිය­වරු සහ පුත්තු | දිනමිණ

කෙ ටි ස ට හ න - පිය­වරු සහ පුත්තු

චිරාත් කාලයක පටන් ලෝකයේ පවතින සම්මතයක් වන්නේ, දරුවන් සහ මවුපියන් අතර ඇති සනාතන ගැටුම ය. විශේෂයෙන් ම පියා සහ පුතා අතර පවතින සම්බන්ධතාව හැම විට ම සුමට එකක් නො වේ. පියවරු නිසා දුක් විඳින දරුවන් සිටින අතර, දරුවන් නිසා දුක් විඳින පියවරු ද සිටිති. සමහර අවස්ථාවක දරුවන්ට ඉල්ලන හැම දේ ම ලබා දෙමින්, ඔවුන් ගේ නොපණත්කම් ගැන වචනයක් හෝ නොදොඩවන පියවරුන් සමාජයට ම සාපයක් වන බව ශ්‍රී ලාංකේය අප කවුරුත් පිළිගන්නා කරුණකි. එහෙත්, පියා ගේ කරුණාව යදින දරුවෝ එය නොලැබුණු කල, මරුවන් සේ හැසිරෙන අකාරය ද අපට අලූත් දෙයක් නො වේ.

මේ කතාව මගේ කණට වැටුණේ, ඩුබායි දේශයේ මගේ පුතා අධ්‍යාපනය ලබන විශ්විද්‍යාලයට ගිය අවස්ථාවක දී ය. මගේ පුතා ගේ කල්‍යාණ මිතුරා වූයේ විසිහය වියැති රහුල් ය. ඔහු ඩුබායි හි ජීවත් වන කෝටිපති ඉන්දියානු ව්‍යාපාරිකයකු ගේ පුතෙකි. ඔහුට බාල සොහොයුරෙක් වූ අතර, පියාගෙන් යහමින් මිල මුදල් සහ යාන වාහන මේ දෙදෙනාට ලැබේ. මා, රහුල්ගේ ගති සිරිත් නිරීක්ෂණය කරන විට වැටහී ගියේ, ඔහු කිසියම් වේදනාවකින් නිතර පෙළෙන බවකි. පැය දෙක තුනකට ඔහු දුම්වැටි හත අටක් පුළුස්සා දමන්නේ කිසි දු පැකිලීමකින් තොරව ය. මගේ පුතාට අනුව ඔහු මත්පැන්වලට ද දැඩි ලෙස ඇලූම් කරන්නෙකි.

කෙසේ වෙතත්, මගේ පුතාට ගැටලූවක් ඇති හැම විට ම පිහිටට පැමිණෙන්නේ ඔහු ය. මා, රහුල් සමඟ බොහෝ අවස්ථාවල දී කතා කර ඇති අතර, තමන් ගේ පියා ගැන කතා කිරීමෙන් ඔහු වැළකී සිටින බව මම තේරුම්ගෙන සිටියෙමි.

මගේ පුතාට අනුව ඉන්දියාවේ සිට ඔහු ගේ පියා ගේ හිතවතුන්, නෑදෑයන් පැමිණි විට, නිවෙසේ ඉඩ කඩ නැති නම්, රහුල්ට සිදු වන්නේ තම වාහනේ රාත්‍රිය ගත කරන්නට ය. ඔහු හෝ මල්ලී පියා සමඟ මාස ගණනකට වචන කීපයක් දොඩා නැති අවස්ථා වැඩි ය. එහෙත්, පියා ගේ නියෝග ඔවුන් වෙත සන්නිවේදනය කරන මව කියා සිටින්නේ, දරුවන් සවස හය වන විට නිවෙසේ සිටිය යුතු බව ය. එහෙත්, පියා නිවෙසට පැමිණෙන වේලාවක් දරුවෝ නො දනිති. දිනක් රහුල් සහ මල්ලී රෑ බෝවී නිවෙසට එන විට, ඔවුන් පිළිගත්තේ පියා ය.

”මම කියලා තියෙනවා ඔය ගොල්ලන්ට හවස හය වෙද්දි ගෙදර එන්න කියලා?” ඔහු ගෝරනාඩු කළේ ය.

” ඔබ අද නිවෙසේ ඉන්න බව අපි දන්නේ නැහැ. අනික අපට හවස හයට නිවෙසට එන්න කිසිම හේතුවක් නැහැ.” රහුල් පිළිතුරු දී ඇත.

”ඔයා කියන වේලාවට නිවෙසට එන්න අපට අවශ්‍යතාවක් නැහැ.” ඒ රහුල් ගේ මල්ලී ගේ හඬයි.

”ඒ ඇයි?” පියා මෙවර වඩාත් දැඩිව ප්‍රශ්න කර සිටියේ ය.

”අපිට වේලාවට ගෙදර එන්න කීවාට, තාත්තා කවදාවත් අපිට ඕන වේලාවට ගෙදර ආවේ නැහැ නේද?”

පියා නිරුත්තර විය.

රංජිත් ගුණ­රත්න

 

නව අදහස දක්වන්න