නීතිය හමුවේ භික්ෂුව කියන්නේ පුද්ගලයෙක් විතරයි | දිනමිණ

නීතිය හමුවේ භික්ෂුව කියන්නේ පුද්ගලයෙක් විතරයි

ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමි බෞද්ධ සංස්කෘතික අධ්‍යයනාංශය බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ගලගොඩඅත්තේ හිමි සිරදඬුවම් නියමවීමත් සමඟ මෙරට භික්ෂූත්වය පිළිබඳ අලුත් කතිකාවතත් ඇති වී තිබේ. වත්මන් භික්ෂුවගේ විනය පිරිහි තිබේ ද භික්ෂූ විනය සම්බන්ධයෙන් සංඝ සමාජය කටයුතු කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය හැකි ද, නීතිය හා භික්ෂුව අතර සබඳතාව ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයනාංශයේ ආචාර්ය දුනුකේඋල්ලේ සාරානන්ද හිමිට ආරාධනා කළෙමු.

• විනය රැකුණොත් ශාසනයත් රැකෙනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන්. අතීතයේ පැවිදි දිවියට ආ අය අතරින් විනය කඩවීම් සිදුවුණේ ඉතා අල්ප වශයෙන්. ඒත් වත්මනේ තත්ත්වය වෙනස්. ඔබ වහන්සේ මේ කාරණය දකින්නේ කොහොම ද?

බුදු රජාණන් වහන්සේ ආරම්භක අවස්ථාවේ භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා කියලා කාණ්ඩ හතරක් පෙන්නලා දෙනවා. මුල්ම කාලයේ භික්ෂු ශාසනය විතරයි තිබුණේ. ඒ සමයේ විනය නීති රීති සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ නෑ. ශාසනයේ මුල් වසර 20ක පමණ කාලයේ දී ධර්මය පදනම් කරගෙන භික්ෂුව හික්මීමකට ලක්වුණා කියලයි සඳහන් වෙන්නේ. ඊට තියෙන හොඳම සාධකය තමයි දස ධර්ම සූත්‍රය. ඒකෙන් කියනවා භික්ෂුව කාරණා දහයක් යටතේ හික්මිය යුතුයි කියලා. ඒත්, ඒ කාරණය විනය ප්‍රඥප්තියක් නෙවෙයි. මුල් කාල සමාජයේ භික්ෂුව විනය කාරණාවලින් තොරව හික්මුණා කියලා සඳහන්. ගිහියෙක් භික්ෂුවක් වෙලා ශාසනයට ඇතුළු වෙන්නේ සියලු දුක් නිමාකරන්න. එදා අත්දැකිම් සමුදායක් හිමිකරගත් ගිහියන් පැවිදි වුණා. වර්තමාන සමාජයේ දක්නට ලැබෙන කාලීන ගැටලුව එකල සමාජයේ එතරම් මතු වුණේ නෑ. ප්‍රථම විනය ශික්ෂා පැනවෙන්නේ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්න අරගෙන වසර විස්සකට විතර පස්සෙ.

• ලාංකීය බෞද්ධ භික්ෂු සමාජයේ, අතීත විනය ශික්ෂාවන් රැකගන්න වත්මන් භික්ෂු සමාජයට නොහැකි වී තිබෙන බවක් පේනවා. හේතුව මොකක් ද?

ඒ කාරණය සම්බන්ධයෙන් මේ හේතුව යැයි නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඒ කාලයේ ශාසනයට ඇතුළු වූ භික්ෂුන් වහන්සේලාට ඒකීය අරමුණක් තිබුණා. මහණ කරනකොටම කියන්නේ දුක නැති කරන්න මහණ වෙනවාය කියලයි. එතැනදී මම ය, මාගේ ය කියන සංකල්පයක් තිබුණේ නෑ. ඒ නිසා මුල් කාලයේ භික්ෂුවට ගෘහස්ථ ජීවිතයේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න තිබුණේ නෑ. වර්තමාන භික්ෂුව පවත්නා සමාජයට බද්ධ වෙලා. භික්ෂුවත් දේශපාලනික, ආර්ථික, සමාජීය වශයෙන් සමාජානුයෝජනය වෙන කෙනෙක්.

• බෞද්ධ රාජ්‍යයක් කියලා සඳහන්වන රටේ භික්ෂුන් වහන්සේලාට වත්මන් සමාජයෙන් චෝදනා රැසක් එල්ල වෙනවා. ඒ අතර දේශපාලන, ආර්ථික කාරණා ප්‍රධානයි. මේ තත්ත්වයට භික්ෂුන් වහන්සේලා පත් වුණේ ඇයි?

භික්ෂුව කියන්නේ ගිහි ජීවිතයට පරිභාහිර ජීවිතයක් ගත කරන කෙනෙක්. එදා භික්ෂුවට තිබුණේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන කාරණා හතර විතරයි. එදා බුදුන් වහන්සේ දේශනා කළේ භික්ෂුව කියන්නේ තුන් සිවුර සහ පාත්තරය පමණක් හිමි කෙනෙක් කියලයි. ඒ තරම් සැහැල්ලු කෙනාට එදා බාහිර සමාජයෙන් ගන්න දෙයක් තිබුණේ නෑ. ඔබ අහන්නේ, මේ සමාජයේ දී භික්ෂුව ඇයි මේ තරම් වෙනස් වුණේ කියලයි. එහෙම වුණේ අද ඊයේ නෙවෙයි. යටත් විජිත පාලන සමයේ විහාර සහ දේවාලගම් පනත් කියලා ක්‍රමවේදයක් ආරම්භ වුණා.

එතැනදී ආරාමගත සම්පත් පිළිබඳ සාමූහික ප්‍රතිපත්තිය නෛතික පැත්තකට ගෙන ගියා. එතැනදී බුද්ධ ප්‍රඥප්තිය ඉක්මවා ගොස් තනි පුද්ගලයෙක් කරා බලය කේන්ද්‍රගත වුණ තත්ත්වයක් ඇති වුණා. ඒකට ඉංග්‍රීසි ආණ්ඩුවට චෝදනා කරන්න බෑ. නමුත්, බුදු සමයේ මූලික න්‍යාය සංකල්පය, සාමූහික ප්‍රතිපත්තිය පුද්ගල ප්‍රතිපත්තියක් බවට පත් වුණා. මෙතැනින් පස්සේ භික්ෂූන් වහන්සේලා විහාර සහ දේවාලගම් පනතට අනුව හැඩගැහුණා. ඒ සමයේ ඉදලා ලංකාවේ භික්ෂු සමාජය යම් යම් වෙනස්වීම්වලට ලක් වුණා. ඊට පස්සේ පැවිදි සමාජය හා ගෘහස්ථ සමාජය සමාන තත්ත්වයකට ආවා. කාලයක් පුරා මෙහෙම ආපු භික්ෂු සමාජයට අද නීතිමය තත්ත්වයන්ට, රාජ්‍ය, දෙපාර්තමේන්තු තත්ත්වයන්ට අනුගත වෙන්න සිදු වෙලා.

• ඔබ වහන්සේ සඳහන් කරන විදිහට භික්ෂුන් වහන්සේලා ආරාම හා දේපළ රැක ගන්න වෙහෙසෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ අත්හැරීම පිළිබඳ ධර්ම කථිකාවක්. ඒ ගැන ඔබ වහන්සේගේ මතය කුමක් ද?

අනාගත පරපුරට ශාසනය උරුමකරන්න තමයි භික්ෂුව වෙහෙසෙන්නෙ. අපට ස්ථානයක් නොමැතිව කොහොම ද ධර්ම කරුණු ප්‍රචාරය කරන්නේ. අද වෙනකොට මේ සංස්ථාවට එන බෞද්ධ ග්‍රාහක පිරිස් ප්‍රමාණාත්මකව විශාල වශයෙන් අඩුවෙලයි තියෙන්නෙ. එහෙම වෙන්න ලාංකීය සමාජයට බලපාලා තියෙන කරුණු ගොඩක් තියෙනවා. එහෙම කියලා මේ ශාසනයේ සම්පත් අප රකින්නෙ නැතිව අනාගතයට දායාද කරන්නෙ මොනවද? ඒ නිසා තමයි නියම් හෝ අනියමින් මේ ස්ථාන රැක ගන්න භික්ෂු සමාජය කැප වෙලා ඉන්නෙ.

• අපේ සමහර භික්ෂුන් වහන්සේලා අන්‍ය ආගමික සිද්ධස්ථාන එක්ක ගැටුම් ඇති කරගත්තා, ඉඩකඩම් සම්බන්ධ ගැටුම් මෙන්ම අමාත්‍යාංශවලට ගිහින් කලහකාරි විදිහට හැසිරුණා. වාර්ගික ගැටුම් ඇති කරගත්තු අවස්ථාත් තියෙනවා. එහෙම කරන්නෙත් ශාසනය ආරක්ෂා කරන්න ද?

විහාර සතු දේපළ කියන්නේ, ලංකාවේ අතීත රජ දරුවන් විසින් පරිත්‍යාග කළ දේවල්. අප්‍රමාණ භක්තියකින් යුක්තව ලංකාද්විපය තුළ බුදු දහම රැකගන්න ඒ කාලේ හිටපු පාලකයෝ කටයුතු කළා. අපි ගත කරන සියවසේ බොහෝමයක් දේවල් වෙනස් වෙලා තියෙනවා. එතැනදී පුද්ගල සංගණන සහ ඉඩම් ප්‍රධානයි. අතීතයට වඩා වත්මනේ නෛතික තත්ත්වයන් වෙනස්. ඒ නිසාම ස්වාමීන්වහන්සේ නමක් අමාත්‍යාංශයකට ගියාම උන්වහන්සේගේ දැනුම ප්‍රමාණය අනුව යම් යම් කාරණා ගැටුම් බවට පත් වෙන්න පුළුවන්.

එතැන තියෙන්නේ අනවබෝධයේ ගැටලු. ලංකාව කියන්නේ බහුවාර්ගික රටක්, ආගමික නිදහස බුදුන් වහන්සේ උපරිම තහවුරු කරලා තියෙනවා. නමුත් ලංකාවේ දේශපාලනික ක්‍රියාකාරීත්වය තුළ ආගමික මධ්‍යස්ථාන සහ ආගමික ක්‍රියාකාරීන් සඳහා පොදු නිර්ණායකයක් නෑ. අද එක් එක් ආගම් සඳහා තියෙන ආයතන, දෙපාර්තමේන්තු කටයුතු කරන්නේ ඒ ඒ ආගම් සඳහා පමණයි. මේ රට බහුවාර්ගික රටක් නිසා මේ ආයතනවල ඒකාබද්ධතාවයක් තියෙන්න ඕන. අතීතයෙත් මේ රටේ විවිධ ජනවර්ග, විවිධ ආගම් තිබුණා. නමුත්, මේ තරම් ගැටුම් තිබුණේ නෑ.

• ඔබ වහන්සේ සඳහන් කළා ආගමික නිදහස උපරිමයෙන් දීලා තියෙන්නේ බුදුන් වහන්සේ කියලා. නමුත් උන්වහන්සේගේ අනුගාමිකයින් එක් එක් බලවේග, සංවිධාන හදාගෙන ගැටුම් ඇතිකරගත්තු අවස්ථා අප්‍රමාණයි. එහෙම වෙන්නෙ ඇයි?

මම නම් වශයෙන් කියන්නෙ නෑ. එහෙම කියන්න හොඳත් නෑ. භික්ෂුන් වහන්සේලාට තියෙන ප්‍රධාන ගැටලුව තමයි, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම ලෙස බුද්ධාගම බවට සැලකීම. ඒ නිසා අන්‍ය ආගම්වලට සැලකිය යුතුයි කියලා කියැවෙනවා. අපි කවුරුත් තර්ක කරන්නේ නෑ සුළු ආගම්වල පිරිස් ප්‍රධාන ආගමේ අයට ගරු කරන්න ඕන කියලා. අපි කියන්නේ, මේ දෙපැත්තම තියෙන්නෙ ඕන. ප්‍රධාන ආගමට ගරු කරනවා වගේම සුළු ආගම්වලටත් ගරු කරන්න ඕන. ඒ වගේම ඒ ඒ ආගම්වල කණ්ඩායම් වෙනත් ආගම්වල කණ්ඩායම් එහෙට මෙහෙට බඳවා ගැනීම් නොකළ යුතුයි. මේවා තමයි ගැටුම්. සමස්ත ආගමික කණ්ඩායම් ස්වාධීනව කටයුතු කරනවා යැයි සිතන්නට ඕන. ආගමික සහජීවනය ඇති නොවී ආණ්ඩු දහයක් පත්වුණත් මේ ගැටුම් වළක්වන්න බෑ.

• අද වෙනකොට භික්ෂුන්වහන්සේලාට විවිධ චෝදනා එල්ල වෙලා සිරගත වෙලත් ඉන්නවා. හැබැයි චීවරය දාගත්තු භික්ෂුවකගේ විනය පිළිබඳ කටයුතු කරන්න ඒ ඒ සංඝ සභාවලට පුළුවන්. භික්ෂුන් වහන්සේලාට ඕනෑ ආකාරයට හැසිරෙන්න ඉඩ දීලා සංඝ සභා නිහඬ ඇයි?

භික්ෂූන් කියන්නේ මහ සමාජයේ උප කුලකයක්. අනෙකුත් ආගමික නායකයනුත් එහෙමයි. අපි කවුරුත් රාජ්‍යයේ නීතියට යටත්. ව්‍යවස්ථාදායක, විධායකය, අධිකරණය කියන සංකල්පයත් එක්ක තමයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. භික්ෂුන් වහන්සේලා කවුද වැරැදි කරන්නේ කියන එක නෙවෙයි වැදගත්, වැරැදි නිවැරැදි කරගැනීමයි වැදගත්. පුද්ගල බද්ධව නීති සම්පාදනය කරන්න බෑ. පොදුවේ නීති සම්පාදනය වෙන්න ඕන. පවත්නා නීති රාමුව තුළ භික්ෂුන් වහන්සේ නමක් කියන්නෙත් පුද්ගලයෙක් විතරයි. වරදට දඬුවම් කිරීම කිසිම ගැටලුවක් නෑ. ඒක අපි පිළිගන්නවා. නමුත් මෙතැන වරදක් වෙලා තියෙනවා.

භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමේ දී, ඒ අවස්ථාවට ප්‍රතිචාර නොදක්වා, වර්තමානයේ එක් පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක කරනකොට ඊට ප්‍රතිචාර දැක්වීම අපේ ප්‍රමාදයක්. අද වෙනකොට භික්ෂුන් වහන්සේලා පහළොස් නමක් සිරගත කරලා කියලා කියනවා. එහෙමනම් භික්ෂු සංස්ථාවට වැරැදීමක් වෙලා තියෙනවා. පළවෙනි භික්ෂුවගේ චීවරය ඉවත් කරනකොටම අපි ප්‍රශ්නය කතා කළා නම් අද මේ ප්‍රශ්නය මතු වෙන්නෙ නෑ.

• සතියක් චීවරය ඉවත් කර සිටීමෙන් භික්ෂූත්වය අහිමි වන්නේ යැයි බොහෝ දෙනෙක් පෙන්වා දෙනවා. සුමංගල හිමි යාපනය බන්ධනාගාරයට යැව්වට පස්සේ උන්වහන්සේ චීවරය ඉවත් කිරීම ප්‍රතික්ෂේප කළා. සිරගත කළ භික්ෂුන් වහන්සේලාගේ භික්ෂූත්වයටත් මේ කාරණය බලපානවා ද?

නීතිමය රාමුව තුළ දී චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු කියන්න තරම් අපි ප්‍රාමාණික බුද්ධිමතුන් නොවන්නට පුළුවන්. නමුත් භික්ෂුන් වහන්සේලාගේ දෝෂ සහගත අවස්ථාවලදී, භික්ෂු සමාජය මුල් අවස්ථාවේදීම මේ ගැන සාකච්ඡා කළා නම්, මේ ප්‍රශ්නය මේ තරම් දුර යන්නෙ නෑ. චීවරය හැර යන්න භික්ෂූන් වහන්සේ නමකට පුළුවන්. ඒක චීවරය හැර යාමක්. නමුත් පැවිදි කරන ලද ස්වාමීන්වහන්සේටවත් චීවරය ඉවත් කරන්න බෑ. ඔබ අහනවා සතියක් චීවරය නැතිව හිටියොත් භික්ෂු භාවය අහිමි වෙනවද කියලා. එහෙම චීවරය නැතිව කවුරුත් සතියක් ඉන්නෙ නෑ. සිරගත කිරීම කියන්නේ කෘත්‍රිම දෙයක්. ප්‍රායෝගික බුදු දහමේ දී සිවුර නැතිව කිසිවෙක් දින හතක් ඉන්නෙ නෑ. මෙතැනදී වෙලා තියෙන්නේ රාජ්‍ය නීතියේ වරදකට හසු වී තිබෙනවා නම්, ඊට අනුගත වීමක්.

• ඇති වෙලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා මහා නායක හාමුදුරුවන් හා සාකච්ඡා කරන්නේ යැයි කියනවා. භික්ෂුන්ගේ වැරැදි සම්බන්ධයෙන් දඬුවම් කිරීමට සුදුසු මාර්ගය තෝරාගන්න තියෙන අවස්ථාව මේක නේද?

රාජ්‍ය නායකයා මහ නායක හිමිවරු එක්ක කතා කරන දේවල් ගැන කතා කරන්න මම කැමැති නෑ. ඒක දේශපාලනික කාරණයක්. කොහොම නමුත්, භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්ති සමුදායක් පිළිබඳ මහා නායක හිමිවරුන් වහා තීරණයක් ගත යුතුයි. ඊට හොඳ නිදසුන තමයි තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා සඳහා තිබෙන අධිකරණ පද්ධතිය. භික්ෂුන් වහන්සේ නමකට වරදක් වුණොත් පහළ සිට ඉහළට යන්න ඒ තුළින් පුළුවන්. අපි අපේ රටේ තියෙන දුර්වලතාවය වෙනුවෙන් නිකායන් හි මහා නායක හාමුදුරුවරුන්ගෙන් කාරුණික ආයාචනයක් කරනවා. ශාසනයේ ඇතිවන ප්‍රාථමික ගැටලු අප විසින්ම විසඳාගෙන අප විසින්ම දඬුවම් කළ හැකි ක්‍රමයකට යා යුතුයි. එහෙම නොවුණොත් අපේ බෞද්ධ ජනතාව අපි කෙරේ කලකිරෙනවා විතරක් නෙවෙයි, අනාගතයටත් මෙහෙම ගියොත් ශාසනය ලොකු අර්බුදවලට ලක් වෙන්න පුළුවන්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - නිරෝෂ් බටේපොළ


නව අදහස දක්වන්න

Or log in with...