මෙන්න හිට්ලර් | දිනමිණ

මෙන්න හිට්ලර්

දෙවන ලෝක සංග්‍රාමයෙන් මියගිය මිලියන 60ත් 85ත් අතර ලෝ වැසියන් පිරිසක් වෙනුවෙන් ඇඩොල්ෆ් හිට්ලර් වග කිවයුතු බව ඉතිහාස වාර්තාවල දැක්වේ. මේ නිසා ඔහුව මිනිමරුවකු, ම්ලේච්ඡ රණකාමියකු, සමූල ඝාතකයකු සහ ගුප්ත මිනිසකු හැටියට හැඳින්වූවාට වරදක් නැත. එමෙන්ම යුදෙව්වන් සහ සෙසු සුළු ජාතීන් අහේතුකව බුරුතු පිටින් විනාශ කර දැමීමට ක්‍රියා කළ උන්මත්තකයකු හැටියටත් ඔහුව හඳුන්වන්නට පුළුවන. මේ සා දරුණු සිතක් හිට්ලර් තුළ පහළ වුණේ ජන්මයෙනි. හිට්ලර් චරිතාපදානය කියවන ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන්නේ දෙමව්පියන්ගේ විසිරුණු දිවිය, හිට්ලර් නමැති නොහික්මුණු මිනිසා ගොඩනැඟෙන්නට තදින්ම බලපෑ බවකි.

පියාගේ ස්වභාවය

හිට්ලර්ගේ පෞරුෂය කෙරෙහි අප්‍රමාණ බලපෑම් ඇති කළ ඒ පරිසරය ගැන අපට කතාකරන්නට සිදුවන්නේ ඔහුගේ පියාගේ අවජාතක භාවය ද ඉස්සර කරගෙනය. හිට්ලර්ගේ පියා ඇලොයිස් හිට්ලර්ය. 1837දී ඇලෝයිස්ට උපත දුන්නේ ඒ වනවිටත් අවිවාහකව සිටි මාරියා ඇනා ස්චිකල්ගෘබර් නමැති ගැහැනියෙකි. පල්ලියේ භෞතිස්ම ලේඛනයේ ඇලොයිස්ගේ පියාගේ නම සටහන්ව තිබුණේ නැත. ඇලොයිස් හැඳින්වුණේ ස්චිකල්ගෘබර් වාසගමෙනි.

1842දී මාරියා ඇනා, යොහාන් ජෝර්ජ් හෙඩ්ලර් නමැත්තකු සමඟ විවාහ විණ. එනයින් ඇලොයිස් සුජාතකයකු බවට පත් කරගන්නට මාරියා ඇනාට කල් එළඹියේය. එහි ප්‍රතිඵලයක් හැටියට පල්ලියේ භෞතිස්ම ලේඛනයේ ඇලොයිස්ගේ පියා යන හිස් තැනෙහි යොහාන් ජෝර්ජ් හෙඩ්ලර් යනුවෙන් සඳහන් කෙරිණ. ජෝර්ජ් හෙඩ්ලර්ගේ නම ජෝර්ජ් හිට්ලර් හැටියට පල්ලියේ පූජකයා අතින් වෙනස් වී ලියැවී තිබීම පුදුම සහගත දෙයක් වූයේය. හෙඩ්ලර් වාසගම වෙනුවට හිට්ලර් වාසගම භාරගන්නට ඇලොයිස්ට සිදු වුණේ ඒ අත්වැරැද්ද නිසයි. හිට්ලර් යන වාසගමෙහි අරුත “පැල්පතක ජීවත් වන පුදගලයා” යන්නයි.

ඔස්ට්‍රියා - හංගේරියා නගරයක් වූ බ්‍රෝනවූ ඈම් ඉන් හිදී ඇඩොල්ෆ් හිට්ලර් 1889 අප්‍රේල් 20දා උපත ලැබුවේය. ඔහුගේ මව ක්ලේරා පෝල්සෙල් නමැති කාන්තාවකි. ක්ලේරා, ඇලොයිස්ගේ තෙවන බිරියයි. ඇඩොල්ෆ් හිට්ලර්, ක්ලේරා, අලෝයිස්ට දාව බිහි කළ දරුවන් හය දෙනාගෙන් සිවු වැන්නාය. මේ කාලය වනවිට ඇලොයිස් ගත කළේ බෙහෙවින්ම කටුක දිවියකි. ක්ලේරා විවාහ කරගන්නට පළමුව අවස්ථා දෙකකදී ගැහැනුන් දෙදෙනෙකු සමඟ විවාහ වූ ඔහුට ඒ ගැහැනුන් දෙදෙනාම අකාලයේ මියයෑමේ වේදනාවන් විඳින්නට සිදුව තිබුණේය. ක්ලේරා සමඟ විවාහ වනවිට ඇලොයිස් පසුවුණේ පනස් දෙහැවිරිදි වියෙහි බව දැක්වේ. ඉතා තද සහ සැර පරුෂ ගති පැවතුම්වලින් හෙබි රේගු නිලධාරියකු වූ ඇලොයිස් එකල සැනසීමක් ලැබුවේ නම් ඒ මත්පැන් පානයෙන් පමණි.

ඔහු දරුවන් සමඟ හොඳ හිත වර්ධනය කරගන්නට සමත් පියකු නොවිණ. එනිසා දරුවෝ ඔහුගේ දණ්ඩනයන්ට යටත්ව වැඩුණහ. එය වඩාත්ම බලපෑවේ ඇඩොල්ෆ් හිට්ලර්ටය. පියා සහ ඔහු අතර ගැටුම තියුණු මට්ටමක පැවැතියේය. ඒ ගැටුම් අවසානයේදී ඇඩොල්ෆ් හිට්ලර්, සිය පියාගේ දැඩි දඬුවම්වලට යටත් වුණේ ඉතාමත් අවසනාවන්ත ලෙසිනි. කණස්සල්ල, අසංතෝෂය සහ වේදනාව තුළ නිරන්තරයෙන් කිමිදෙමින් ජීවත් වන්නට ඇඩොල්ෆ් හිට්ලර්ට සිදු විණ. ඒ අත්දැකීම් මෝරා යෑමෙන් ඇතිවුණු හැඟීම් ඇඩොල්ෆ්ගෙන් පසු කලෙක විමෝචනය වුණේ සමාජ හා බද්ධ වූ වෛරයක් හැටියට බැව් බොහෝ විචාරකයෝ පවසති. යුක්තිය, ශක්තිවන්තයාගේ පැත්තට නැඹුරු වී ක්‍රියාත්මක වන හැටි ඔහුට අවබෝධ වන්නට පටන් ගත්තේ ද ඉතා කුඩා කළ සිටමය.

ළමා කාලය

ඇලොයිස් සිය රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ගොවිතැනටත් මී මැසි පාලනයටත් වැටුණේ නිරායාසයෙනි. කුඩා ඇඩොල්ෆ් පියාගේ ඒ වැඩට හවුල් වෙමින් පාසල් ගමන ඇරඹුවේය. පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතුවෙමින් ඇඩොල්ෆ් පූජකයකු වන්නට සිහින මැව්වේ මේ කාලයේදීය. ප්‍රථමික අධ්‍යාපනයට ලබන අවධියේදී ඒ සිහිනය නිමා වන්නේ කලාකරුවකු වීමේ අධිෂ්ඨානයට මාරුවීමෙන් පසුවයි. ඔහු චිත්‍ර කර්මයෙහි දක්ෂයකු විණ. සිත්තුවම් මැවුම ඔහුගේ ප්‍රියතම විනෝදාංශ ද වූයේය. එහෙත් ඒ සුන්දර ලෝකය මවගේ සහ පියාගේ බලාපොරොත්තු හරහා, ඔහුගේ පය පා මුල කඩා වැටෙමින් තිබිණ.

දැඩි ආගමික භක්තියකින් පසුවුණු මව තම පුතා කලාකරුවකු වනවා දක්නට කොහෙත්ම කැමති වූයේ නැත. පියාට වුවමණා වුයේ තමන් මෙන්ම තම පුතාත් රේගුවට රිංගා ගනු දකින්නටයි. එතුළ ඇඩොල්ෆ්ව උසස් නිලධාරියකු වනවා දකින්නටත් ඒ තාත්තා කැමැත්තෙන් පසු වූයේය. ඇඩොල්ෆ්ගේ බලවත් විරෝධය මධ්‍යයේ පියාගේ අභිලාෂය වෙනුවෙන් ඔහුව අධ්‍යාපනයේ ඒ මේ අත හැරවූයේය. එය ඇඩොල්ෆ්ට කෙසේවත් ඔරොත්තු නොදෙන තරම් විණ. එතැන් පටන් ඇඩොල්ෆ් ක්‍රියාකළේ දඩබ්බරයකු සහ හිතුවක්කාරයකු හැටියටය.

දෙමව්පියන්ට පමණක් නොව ගුරුවරුන්ටත් ඔහුව ආම්බාන් කරන්නට බැරි විණ. ඒ සියලු වැඩිහිටියන්ට එරෙහිව ඔහු කැරලි ගසන්නට පටන් ගත්තේය. මධ්‍යසාර සහ දුම්පානය ඔහුගේ ජීවිතයේ කොටසක් විණ. කලහකාරී චර්යාව සහ අධ්‍යාපනය කෙරෙහි ඇති මන්දොත්සාහීභාවය නිසා පමණක් නොව දෛවයේ කුරිරු බව නිසාද ඇඩොල්ෆ්ට බොහෝ දේ අහිමි වී යමින් තිබුණේය. පහළොස් වැනි විය ඉක්මවන්නට පළමුව පියා, ඇඩොල්ෆ්ගේ ජීවන මඟෙන් සදහටම ඈත් විණ. තාත්තාගේ මරණයත් සමඟම අධ්‍යාපනයට සමුදුන් ඇඩොල්ෆ් වියානා නුවරට පැමිණයේ චිත්‍ර කලාව අධ්‍යනය කිරීමේ සිහිනය සැබෑ කරගන්නට බලාගෙනය.

උපන් බිම අමතක වීම

එහෙත් ඔහුගේ හැකියාවන් ගැලපෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා බැව් වියානා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බලධාරීහු එක හඬින් කියා සිටියහ. නිසි අධ්‍යාපනයක් නොලබා තිබූ බැවින් ඇඩොල්ෆ්ගේ සුදුසුකම් ගෘහ නිර්මාණ කලාව ඉගෙන ගන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන් ඇඩොල්ෆ්ට සිය මවගේ සදාකාලික සමුගැන්මට 1907දී මුහුණ දෙන්නට සිදු විණ. තාත්තාගේ සොච්චම් විශ්‍රාම වැටුපෙන් යැපීමේ වරප්‍රසදය මවගේ මරණයත් සමඟම ඇඩොල්ෆ්ට අහිමි විණ. දන්නා කියන හැටියට චිත්‍ර අඳිමින්ද, කම්කරුවකු හැටියට සේවය කරමින්ද වියානා නුවර ජීවිතයට අනුගත වන්නට ඇඩොල්ෆ් හිට්ලර්ට සිදු විය.

සිය ඔස්ට්‍රියා සම්භවය අමතක කර ජර්මනියට පක්ෂපාතීත්වය පෙන්වන්නට ඇඩොල්ෆ් පටන් ගත්තේ මේ කාලයේදීය. එහිදී ඔහු පළමුවෙන්ම කළේ ඔස්ට්‍රියා ජාතික ගීය ගැයීම අත්හැර දැමීමයි. ඒ වෙනුවට ඔහු ජර්මානු ජාතික ගීය ගැයීම තෝරා ගත්තේය.

වියනා නුවර සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ බලාපොරොත්තුව සුන්වීමෙන් පසු ඇඩොල්ෆ්ගේ හිත හමුදා සේවය දෙසට නැවෙමින් තිබිණ. එවක ඔහු විසුවේ ජර්මනියේ මියුනිච්හි බව දැක්වේ. ලෝකය එකම එක ගිනි ගොඩක් කරමින් පළමු ලෝක යුධය ආරම්භ වන්නේ මේ සමයේදීය. වියානා නුවරට වී අපිළිවෙලැති “බොහිමියන්” ජීවිතයක් ගතකරමින් සිටි ඇඩොල්ෆ්, බැවේරියානු හමුදාවේ ස්වේච්ඡා සේවයට අවසානයේදී එක් විණ. අප්‍රමාණ දඩබ්බරකම් යටි හිතේ සඟවාගෙන සිටි ඇඩොල්ෆ් හමුදා සේවයට බැඳීම, ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් විය. සංග්‍රාම භූමිය තුළ වීරත්වයම පෙන්නුම් කළ බැවින් ඇඩොල්ෆ් හිට්ලර් සම්මාන පිට සම්මාන දිනා ගත්තේය. යුද කාලයේදී විටින් විට ලත් තුවාල, ජයග්‍රහණ, ඇගයීම්, සම්මාන මෙන්ම ඔහු කළ වීර ක්‍රියා අවසානයේදී ජර්මනිය කෙරෙහි ඇති දේශප්‍රේමය වර්ධනය වන්නට හොඳ පසුබිමක් සකසා තිබිණ.

55 වන සාමාජිකයා ලෙස හිට්ලර්, ජර්මානු සේවක පක්ෂයෙහි සාමාජිකත්වය 1919දී ලබාගැනීම ඔහුගේ ක්‍රියාකාරී දේශපාලන පිවිසුම සනිටුහන් කරන්නක් වූයේය. මේ කාලය වනවිට හිට්ලර් දක්ෂ කතිකයෙක් බවටත් පත්ව සිටියේය. දේශපාලනය තුළ දිගු ගමනක් යන්නට එය ඔහුට අගනා අත්වැලක් විණ. එසේ වුවත් ඔහු ඉතිහාසය පුරාම සම්මතයට එරෙහිව කටයුතු කළ මිනිසකු බැව් අපට අමතක කළ නොහැකිය. හමුදා සේවයෙන් ඉවත්ව සිටි හෙතෙම 1921දී ජර්මානු කම්කරු පක්ෂයේ නායකත්වය ලබාගෙන, එවක ජර්මනියේ පැවැති රජයට එරෙහිව 1923දී කැරලි ගසන්නට පටන් ගත්තේය. එනිසා ඔහුව පස් වසරකට සිරගත කෙරිණ. කෙසේ වුවත් හෙතෙම නව මසක් වැනි කෙටි කලකින් නිදහස් විණ. එකී කෙටි කාලය තුළ සිරගෙදර සිට ඔහු “මේයින් කාම්ෆ්” හෙවත් “මගේ අරගලය” නමැති සිය ස්වයං චරිතාපදාන කෘතිය නිම කළේය.

ජර්මානු කම්කරු පක්ෂයේ නම ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය හෙවත් නාසි පක්ෂය යනුවෙන් ඒ වනවිට වෙනස් කර තිබිණ. රතු පසුබිමෙහි සුදු මතු වුණු වෘත්තයකින් වට කෙරුණු කළු පැහැ ස්වස්තික සලකුණ නිර්මාණය කෙරුණේ ද හිට්ලර් අතිනි. මේ පසුබිම තුළ 1933 පැවැති මැතිවරණයෙන් පසු හිට්ලර්ට ජර්මනියේ චාන්සලර් ධුරයට තේරී පත් වන්නට අවස්ථාව ලැබිණ. 1945 වනතුරු හෙතෙම එකී තනතුරෙහි කටයුතු කළේය. හිට්ලර්, චාන්සලර් ධුරයට පත්වන විට ජර්මනියේ ජනාධිපති ධුරය හෙබ වූයේ පෝල් වොන් හින්ඩෙන්බර්ග්ය. මේ මහළු ජනාධිපතිවරයාගේ මරණයෙන් පසු චාන්සලර් හිට්ලර්, ජනාධිපති බලතල තමන් වෙත පවරා ගනිමින් ප්‍රබල තැනකට ළඟා විණ.

ඉතාමත් තරුණ අවධියේ සිටම හිට්ලර්ගේ සිත තුළ තිබුණු යුදෙව්වන් කෙරෙහි වූ විරෝධය මහා වෛරයක් බවට පත්වන්නේ ද මේ කාලයේදීමය. මේ පාපකාරී සිතුවිලි වර්ධනය උච්චතම ස්ථානයකට පැමිණෙන්නේ යුදෙව්වන්ගෙන් තොර ජර්මානු අධිරාජ්‍යයක් බිහි කිරීමේ කෘරතර සිහිනයක් ඔහු තුළ ඉතිරි කරමිනි. මාක්ස් වාදය සහ වර්සායි ගිවිසුම ඔහුගේ කෝපය අවුළුවාලනන්ට සමත් පිදුරු විණ. පෑන් ජර්මානු සංකල්පය, අන්තගාමී ජාතික මමත්වය සහ කොමියුනිස්ට් විරෝධය මතු කරමින් හෙතෙම නව දේශපාලන ප්‍රචාරණ වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබුණේය. මේ වැඩපිළිවෙල හරහා ආකර්ෂණිය අන්දමින් කතා පවත්වමින් මහජනතාව මුලා කිරීමේ ප්‍රයෝගය හැර වෙනත් ලෙසකින් ජනමතය වෙනස් කළ නොහැකි බව ඔහු අවබෝධ කරගෙන සිටියේය.

දේශපාලන මතවාද ජනතාව කරා රැගෙන යෑමට ජනමාධ්‍ය ඉහළ මට්ටමෙන් යොදාගත් නායකයකු ලෝක ඉතිහාසයේ වේ නම් ඒ ගෞරවය හිමි විය යුත්තේ හිට්ලර්ටය. ජෝසෙප් ගොබෙල්ස් නමැති අමාත්‍යවරයා යොදාගෙන ඔහු මාධ්‍ය සදාචාරය අමු අමුවේ උල්ලංඝනය කරමින් තමන්ට හිතවාදී ජනමතයක් ගොඩනැඟූවේය. එතුළ ප්‍රජාතන්ත්‍රවාදය ජර්මානු බිමෙන් පලා ගොස් තිබිණ. පුවත්පත් නිදහස සහ මත පළ කිරීමේ හා මත දැරීමේ නිදහස ජර්මනිය තුළ මර්ධනය වී තිබුණේය.

ඔහුගේ පාලනය යටතේ ජර්මනියේ සෙසු දේශපාලන පක්ෂ තහනම් කෙරිණ. එස්.එස් හමුදාව සහ ගෙස්ටාපෝ රහස් සංවිධානය ස්ථාපනය කෙරිණ. මේ ආයතන මඟින් මනුෂ්‍යයන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන ලදී. උතුම් ජර්මානු ජාතියක් බිහිකිරීම ගැන මතක් කර ජනතාව මුලා කර තිබූ බැවින් මනුෂ්‍ය ඝාතනවලට හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමට හෝ එරෙහිව ජනතා නැඟිටීමක් එහි දක්නට නොලැබිණ. කොමියුනිස්ට් වාදය පාගා නැත්තටම නැති කරන්නට හිට්ලර් දඟලන දැඟලිල්ල දුටු බටහිර ධනවාදී රාජ්‍යය, හිට්ලර් වළකන්නට හෝ ඔහුව විවේචනය කරන්නට හෝ ගියේද නැත. මේ නිසා හිට්ලර් නමැති මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය ගසට පොත්ත සේ යුරෝපය තුළ සවි විණ.

අධිරාජ්‍යවාදී සිහිනය

බලයට පැමිණ වසර හයක් වැනි කෙටි කාලයක් තුළ හිට්ලර් ජර්මනිය එස් එස් හමුදාව ගැස්ටෆෝව ගොඩනඟමින් කෘරකම්වලින් බලවත් තැනකට පමුණුවා තිබුණේය. ඒ හරහා හෙතෙම වධකාගාර පිහිටුවා ගෙන ලක්ෂ ගණන් ජනයා ඝතනය කරන්නට අණ දෙමින් සිටියේය. අවුට්විට්ස්, බර්ගර් බෙල්සන්, බෙල්ෂෙග්, සොමිබොර් යනු එවැනි වධකාගාර කිහිපයකි. මේ විනාශකාරී ක්‍රියාදාමයන් ඔස්සේ දෙවැනි ලෝක යුද්ධයටත් පාර කැපෙමින් පැවතියේය.

1939 සැප්තම්බර් පළමුවෙනිදා බටහිර දිග පෝලන්තය ජර්මානු ආක්‍රමණවලට යටත් වීමත් සමඟම ලෝකය එකම එක යුද පිටියක් බවට පත් විණ. පෝලන්තය ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ජර්මනියට විරුද්ධව ඉදිරියට ආවේය. ජර්මන් හමුදාවෝ පෝලන්ත බලය පරාජයට පත් කළහ. ඒ සමඟම නෝර්වේ, බෙල්ජියම, ඩෙන්මාර්කය, ඕලන්දය පමණක් නොව ප්‍රංශයේ පැරිස් නුවරත් අල්ලා ගනිමින් හිට්ලර් තමන්ගේ බලය පෙන්වීය. බ්‍රිතාන්‍ය ආදී රටවල් තම තමන් සතු යුද, ගුවන් සහ නාවුක ශක්තිය ප්‍රබල ලෙස ඉදිරියට රැගෙන ආවෙන් යුරෝපය තුළ ඉතා දරුණු සටන් ඇවිලිණ. මේ සටන් මධ්‍යයේ හිට්ලර් රුසියාව ආක්‍රමණ කිරීමත් සැලසුම් කළේය. ඔහුට වැරදුණේ එතැනය.

රුසියා හමුදා උපායශීලිව ජර්මානු හමුදා පරාජය කරමින් ඉදිරියට එන්නට පටන් ගත්හ. ජර්මානු හමුදාවට රුසියාව තුළ ඉදිරියට යෑමක් ගැන සිතන්නටත් බැරි විණ. තම හමුදාවන් පරාජය වන බව හිට්ලර්ට අවසන් මොහොත වනතුරුත් තේරුම් ගත නොහැකි වූයේය. ඒ අනෙකක් නිසා නොව, ඔහුගේ සිතෙහි පැවැති වෛරී සිතුවිලි නිසයි.

1945 අප්‍රේල් මාසය වනවිට හිට්ලර්ට භූගත බංකරයක සැඟවී සිටීම හැර අන් දෙයක් ඉතිරී වී නොතිබිණ. චාන්සලර් මන්දිරයේ භූගත බංකරය තුළදී ඇඩොල්ෆ් හිට්ලර් අන්තිමටම තමන්ට වෙඩි තබාගෙන සිය දිවි තොර කරගත්තේ ය. ඒ වූ කලී වෛරී සිතුවිලි සමුච්චයක් ලෝකයා හමුවේ මුදාහරිමින් කළ මහා මනුෂ්‍යය සංහාරයක අවසානයයි. නමුත් ඒ වන විට ලෝක ජනතාවට මිලියන 60 ත් 85 ත් අතර සංඛ්‍යාවකින් ඒ සඳහා වන්දි ගෙවන්නට සිදු වි තිබේ.

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න